Wednesday, December 14, 2011

මලිත්තීගේ කතන්දර.......(වැලි තලප)





















ඔන්න දවසක් මලිත්තිගෙ අත්තම්මයි, අත්තප්පච්චියි ලෑස්ති උණා පිළිමතලාවෙ ඉන්න අත්තප්පච්චිගෙ මල්ලිගෙ ගෙදර යන්ට. ඒ කියන්නේ මලිත්තිගෙ පොඩි අත්තප්පච්චිගෙ ගෙදර.
ඉතිං එහෙම ගමනක් යනකොට හිස් අතින් අත් දෙක වන වනා යන්ටත් බෑ නොවැ. එහෙම යන එක අපේ ගම් රටවල් වල ඇත්තන්ගෙ සිරිතකුත් නෙවෙයිනෙ. අත්තම්මා සූදානම් උනේ වැලිතලප හදන්ට. වැලිතලප වලට පොඩි අත්තප්පච්චි හුඟාක් ආසා බව අත්තම්මා දන්නවා. ඉතිං ඔන්න අත්තම්මට උදවුවෙන්ට ඕනෑ නිසා මලිත්තිගෙ අම්මත් මලිත්තිවත් එක්ක ගෙන ආත්තම්මලාගෙ ගෙදර ගියා. 
වැලිතලප හදනවා කිවුවාම ආසාවෙ බෑ මලිත්තිටත්. එයා මීට කලින් කවදාවත් වැලිතලප නම් කාල නෑ.


" ආත්තම්මේ මාත් උදවු කරන්ටද ? "


මලිත්ති හෙමින් සැරේ අත්තම්මගෙන් ඇහුවා...


" මගෙ පුතා තාම පුංචියිනෙ... පුතාට පුළුවනි තව ටිකක් ලොකු උනහම වැලිතලප හදන්ට. එතකල් මේ පුටුවෙන් ඉඳගෙන ආත්තම්මා වැලිතලප හදන හැටි බලන් ඉන්ටකෝ..."


ආත්තම්මා එහෙම කිවුවේ මලිත්තිගෙ හැටි දන්න හින්දා. ආත්තම්මයි අම්මයි එකතු වෙලා ඊයෙ හවස දියේ දාපු පිටි කෙටුවා. පිටි හැළුවා.ඊට පස්සේ ඒකට ලුණුයි පොල් ටිකකුයි දාලා පුංචි පිට්ටු කැට වගේ හිටින්ට හීනියට අනාගත්තා. ඊට පස්සේ කිතුල් පැණි පදමට උණු කලා.ඒකටම එනසාල් කරාඹු නැටි ටිකකුත් එකතු කලා. හීනියට අනාගත්තු පිටිත් පැණි එකටම එකතු කරලා හොඳට කළවම් කළා. පදම අතට දැනෙනකොට පත්කොළ වට්ටියට තුනී කරපු වැලිපිට්ටු තලපය අත්තම්මා ලස්සන කිරිබත් කැට හැඩේට කැපුවා.


මලිත්ති හොඳට මේ දේවල් දිහා බලා හිටියේ කිසි කතාවක් බහක් නැතුව. අම්මා නිවුණු වැලිතලප කෑලි පන්කොල පෙට්ටියේ අහුරන අතරේ ආත්තම්මා ගියා අත්තප්පච්චිට වත්ත උඩහ ගහෙන් අලිපේර ගෙඩි ටිකකුත් කඩා ගත්තොත් හොඳයි කියලා මතක් කරන්ට. ඒ අතරෙදි මලිත්තිත් නැගිටලා ඉස්සරහ මිදුලට ගියේ රෝස මල් පිපිලද බලන්ටයි, සමනල්ලු ඇවිත්ද කියලා බලන්ටයි. 


අම්මත් ඉකමනට වැඩ ටික ඉවර කරලා වත්ත පහල පීල්ලට නාන්ට යන්ට සූදානම් උණා. අම්මා මලිත්තිට නාන්ට යන්ට කතා නොකළෙ ඊයෙ පෙරේදා ඉඳලා මලිත්තිට පොඩි සෙම ගතියක් තිබුණු නිසයි. එහෙම එකේ පීල්ලෙන් සීතල වතුර නාවලා ළමයගෙ ලෙඩ වැඩි කරන්ට අම්මා කැමති උණේ නෑ. ඒත් මලිත්ති දැක්කොත් අම්මා යනවා එයත් පීල්ලට යන්ට පොරකනවා. ඒ හින්දා අම්මා මලිත්තිට හොරෙන්ම ගේ පිටිපස්සේ අඩිපාර දිගේ පීල්ලට ගියා. අම්මා උඩහට යනකොට අත්තප්පච්චි එනවා අලිපේර කඩපු කෙක්කත් අරන්.


" අපෙ අප්පච්චී, කෝ අම්මා? " 


මලිත්තිගෙ අම්මා එහෙම ඇහුවෙ මලිත්ති තනියම ඉස්සරහ මිදුලේ කියලා මතක් වෙලයි. මලිත්ති දිහා හැම වෙලාවෙම කවුරු හරි ඇහැ ගහ ගෙන ඉන්ටම ඕනෑ. නැත්තම් මොකක් හරි දඟ වැඩක් කරනවා. නැත්තම් තුවාලයක් කරගන්නවා. අත්තම්මා නම් කියන්නේ...


" මේකි නම් කෙල්ලෙක් නෙවෙයි. ගිය ආත්මේ කොල්ලෙක්ද කොහෙද "    කියලයි. එහෙම කියන්නේ ආදරේට. තරහකට එහෙම නෙවී.


" අම්මා ඔය ගෙනියන්ට තව අඩුම කුඩුම එකතු කරනවා නෙව. දැන් ඒවි මයෙ පුතේ "


" අප්පච්චි එහෙමනම් පොඩ්ඩක් මලිත්ති දිහා ඇහැ ගහගෙන ඉන්ට. මම පීල්ලට ගිහින් එන්නම් " 


එහෙම කියපු අම්මා ඉක්මනින එන්න හිතා ගෙන ඉක්මනට ඉක්මනට පීල්ල පැත්තට ගියා. අම්මා නාලා එනකොට කුස්සියේ එක කළබලයයි. අම්මා බැළුවේ අහල පහල මලිත්ති ඉන්නවද කියලයි. ම්හු... නෑ... එහෙනම් මොකද මේ කළබලේ? අනේ .... අම්මා ලස්සනට පන්කොළ පෙට්ටියට අහුරලා ගිය වැලිතලප කෑලි පුරාම හීනි සුදු වැලි ගොඩයි.


" මේ මොකද මේ? "  අම්මා ඔළුවේ අත තියා ගත්තා. අම්මට නම් දැක්ක ගමන් හිතුණා අහල පහළ පේන්ට නොහිටියත් මේ නම් මලිත්තිගෙ වැඩක් කියලා.


"ඉතින් උදේ වරුවක මහන්සිය අපතේ" අත්තම්මත් දුක් උණා.


එතකොටම පිටිපස්සෙ දොරින් කුස්සියට ආවෙ මලිත්තී.


" ඇයි ආත්තම්මේ? "  මලිත්ති ඇහුවෙ අම්මගෙයි ආත්තම්මාගෙයි දෙන්නගෙම මූණු මාරුවෙන් මාරුවට බලන ගමන්.


" කවුද පුතේ මේ වැලිතලප පෙට්ටියට වැලි දැම්මේ ? " ආත්තම්මා ඇහුවේ බොහොම කරුණාවෙන්.


" මමයි දැම්මේ... ආත්තම්මයි අම්මයි වැලිතලප වලට ඔක්කොම දේවල් දැම්මට වැලි දාන්න අමතක උණානේ. ඉතිං එතකොට ඒවා වැලිතලප වෙන්නේ කොහොමද? ඒ නිසයි මම දැන් වත් ඒකට වැලි දැම්මේ..... "  මලිත්ති හුරතල් තාලෙට කිවුවා.


" ඒක තමයි... වැලි වලට වැලිතලප එක්ක සම්බන්ධයක් නෑ කියලා මගෙ පුතාට ආත්තම්මා කියලා දුන්නේ නෑනේ වැලිතලප හදන්ට පටන් ගද්දී. ඉතිං මගෙ පුතා, පුතා දන්න විදියට ආත්තම්මට උදවු කළා. බලන් යනකොට ඒකෙ ඇති වැරැද්දකුත් නැහැනේ. "


පැත්තකට වෙළා සිද්ධිය බලාගෙන හිටිය අත්තප්පච්චි කිවුවා.


" අය්යෝ ... මම හිතුවා මෙයා මොකක් හරි දඟයක් කරයි කියලා..." අම්මා රහසින් කුටු කුටු ගෑවා.


" දැන් කමක් නෑ මැණිකේ... මැණිකේ ආයෙ මොකුත් හදන්ට කරදර වෙන්ට ඕනෑ නෑ. ඔය වත්තෙන් එකතු කර ගත්ත දේවල් වලට අමතරව තව කඩෙන් කේක් ගෙඩියක් අරන් යමු "


අත්තප්පච්චි එහෙම කිවුවත්, එහෙම යන එක ආත්තම්මගෙ හිතට හොද නෑ. ඒ නිසා එයා තල ටිකක් වත් හදන්නම් කියලා තල පෙඟෙන්න දැම්මා. තල කැරලි හදන එක ඒ තරම් අමාරු දෙයක් නොවන නිසාත්, තවත් සැරයක් මලිත්ති ලඟ තියා ගත්තොත් තවත් අකර තැබ්බෙකට මූණ දෙන්න වෙන බවත් දන්න අම්මා, අත්තම්මටයි , අත්තප්පච්චිටයි වැඳලා, පොඩි අප්පච්ච්ලාගෙ ගෙදර යන්න හෙට උදෙන්ම එන්නම් කියලා, මලිත්තිවත් අරන් ගෙදර ආවෙ මලිත්තිගෙ දඟ වැඩේ නිසා ආත්තම්මට වුණ කරදරේ ගැන හිත හිතා මයි.......

4 comments:

  1. ආවූ... මම හරි ආසයි ඒ පුංචි මලිත්ති ට....

    ReplyDelete
  2. ම්ම්ම්ම් .... පවනි මාත් ආසයි...:D

    ReplyDelete
  3. මලිති මාර ලමයෙක් නේ.
    ඒ මලිතියි කියන්නේ මේ අරුන්දතියටම දෑ.

    ReplyDelete
  4. හපොයි නෑ... අරුන්දතීගෙ අම්මා කියනවා පුංචි දවස් වල ඉඳලම අරුන්දතී නම් ඒ තරම් දඟ නෑ කියලා...

    ReplyDelete