Wednesday, March 26, 2014

පරණ දේවල්

මේ පින්තූර ටික මම බ්ලොග් එකට දාන්නේ ඔයාලා දැකලා නෑ කියලා හිතාගෙනම නෙවෙයි. මම දන්නවා ඔයාලා වැඩි දෙනෙක් මේ දේවල් දැකලා විතරක් නෙවෙයි පාවිච්චි කරලත් තියෙනවා කියලා.. ඒ උනත් දැනටත් අපේ ගෙදර තියෙන වැඩි භාවිතයක් නැති දේවල් ටිකක පින්තූර අරන් තියාගන්න මට හිතුනේ මගේ පොඩ්ඩි තව කාලෙකට පස්සෙ මේවගේ විස්තර ඇහුවොත් පෙන්නන්න ඔය දේවල් තියෙයිද කියලා සැක හන්දා... බලන්නකෝ එහෙනම්.....
ඇඹුල් කැත්ත

ඇඹුල් කැත්ත


වප්පිහිය

පොල් බිඳින කැත්ත

හිරමනය

පෙට්‍රෝල් මැක්ස් ලාම්පුව

ලන්තෑරුම

කොළොම්බුව




Monday, March 24, 2014

මලිත්තිගේ කතා - බිත්තියේ චිත්‍ර

         
මලිත්තිට අලුත් අදහසක් ඇවිත්. බිත්තිය පාට කරන්න හිතිලා පාට පාටින්. එයාට එහෙම හිතුනේ නම් ටීවී එකේ යන හච් 3G ඇඩ් එක දැකල මගෙ හිතේ. කොහොම උනත් අත්තප්පච්චි අලුතින් පාට කරපු බිත්තිය ආයෙමත් පාට පාටින් පාට කරන රාජකාරිය මලිත්ති පටන් ගත්තා. මෙයා මේ කරන වැඩේ ගෙදර අනිත් අය දැක්කත්, එපා කියලා කියන එක හොද දෙයක් නොවන නිසා කට්ටියම සද්ද නැතුව හිටියා. ඒ උනත් ඉතින් බිත්තිය අපරාදෙනේ. ඒ මදිවට තමන්ගෙ අත දික් කරන්න පුලුවන් තරම් උසට බිත්තිය පාට කරපු මලිත්ති ඉල්ලීමකුත් ඉදිරිපත් කලා.

"අනේ මාව උස්සලා අල්ලන් ඉන්නකෝ ඉතුරු ටික පාට කරන්න...."

ඒ ඉල්ලීමත් එක්කම තැන් තැන් වලට වෙලා හොරෙන් මලිත්තිගේ වැඩේ බලන් හිටිය ඔක්කොමලා එකපාරටම අතුරුදන් වෙලා ගිය හන්දා මලිත්තිට සිද්ධ උනා ඉතුරු ටික පාට කරන අදහස දැනට අතහැර ගන්න.

කොහොමහරි ඉතින් පහුවදා උදේ නැගිටලා ඇඳ අයිනේ ඉඳගෙන කකුල් හොල්ල හොල්ලා හිටපු මලිත්තිව දැකපු අත්තප්පච්චිත් මලිත්ති ලඟින් ඉඳ ගත්තා.

" පුතේ... අද නම් ඔන්න බිත්තිය පාට කරන්න එපා හොඳද? අපරාදෙනේ අලුතින් පාට කරපු බිත්තිය කැත වෙනවනේ " අත්තප්පච්චි කිවුවා.

බොහොම බැරෑරුම් විදියට අත්තප්පච්චි දිහා බලලා ඔලුව හොල්ලපු මලිත්ති මෙහෙම කිවුවා.

"හා.... එහෙනම් මම අද පාට කරන්නේ නැතුව හෙට පාට කරන්නම්කෝ ඉතුරු ටික...."

Friday, March 8, 2013

මාරුව...


මට මේ කතාව ලියන්න හිතුනේ වෙනී ලියලා තිබුණු දෙයියෝ සාක්කි ! පෝස්ට් එක දැකලයි. හැබැයි ඉතින් ස්ත්‍රීවාදයවත්, සම තැන ඉල්ලීම වත් මේ කතාවට ඇතුලත් නැහැ ඔන්න  :D.

                         ************************
එකමත් එක කාලෙක හිටියලු ගමරාල කෙනෙකුයි, ගම හාමිනේ කෙනෙකුයි. ඉතින් ගමරාල මහන්සි වෙලා කුඹුරු වැඩ කරනවා. අස්වනු ගන්න කාලෙට තවත් වැඩියෙන් මහන්සි වෙලා වැඩ කරනවා.කුඹුරු වැඩ නැති කාලෙට හේන් ගොවිතැන කරනවා. කොහොම කොහොම හරි අඩුපාඩුවක් නැතුව ලමයි තුන් දෙනාටයි, තමන්ගෙ මායියටයි බඩ කට පිරෙන්න තුන් වේල සරි කරලා , ඇදූම් පැළඳුම් එහෙමත් අරන් දෙනවා. ගම හාමිනේ ළමයින්ගේ වැඩ කටයුතු බලාකියාගෙන ගෙදර දොරේ වැඩ කටයුතු කරගෙන ඉන්නවා.

ඒ කාලේ, මේ කාලේ කියලා වෙනසක් නෑනේ ඉතින් මේ ස්වාමිපුරුෂයන්ගේ ගති ලක්ෂණ වල. ඒ හින්දා මේ ගමරාලටත් හිතුණා මම මේ තරම් මහන්සි වෙලා වැඩ කරනවා. ගම හාමිනේ මොනවද කරන්නේ ගෙදරට වෙලා ඉන්නවා. හෙට ඉඳන් කුඹුරු වැඩත් පටන් ගන්නවා. මටත් ගෑණු කෙනෙක් උණා නම් ගෙදරට වෙලා සුවාමිපුරුෂයා හම්බ කරලා දෙන දෙයක් කාලා පාඩුවේ ඉන්න තිබුණා නේද කියලා. කොහොම කොහොම හරි වෙහෙස මහන්සිය වැඩි කමටයි, හිතේ නොරිස්සුමටයි ගමරාලට මේ කතාව  , ගම මහගේ එක්ක කියවුණා. ගම මහගේත් ඇරියේ නෑ කතාව. එකපාරටම 

" එහෙනම් හෙට ඔහේ ගෙදරට වෙලා ගෙදර වැඩ කරගෙන ලමයි බලාගන්නවා. මම යන්නම් කුඹුරු කොටන්න කියලා" කියපි.

"මේවයේ අමාරුව ගෑණිටත් දැනෙන්න එපායැ.ඔන්න ඔහේ හෙට ගිහින් වැඩ කරපුදෙන් අමාරුව දැනෙන්නත් එක්ක.වරුවක් වැඩ කරනකොට එපාවෙලා ගෙදර ඒවි" කියලා හිතපු ගමරාල එකඟ උණා ඊලඟ දවසේ ඉඳන් දෙන්නගේ වැඩපොල මාරුකරගෙන කරන්න.

ඔන්න ඉතින් පහුවදාට එළි වෙලා ගමරාල ඇහැරලා බලද්දි, ගම මහගේ තමන්ට විතරක් රොටියක් පුච්චගෙන, උදැල්ලත් අරන් කුඹුරට ගිහින්. ගමරාල දැන් ගෙදර වැඩ කරන්න ඕනෑ. මෙහෙම හිතලා නැගිටලා මුලුතැන් ගේ දිහාට යද්දිම තමන්ගේ අතදරුවා ඇහැරිලා අධන්න පටන් ගත්තා බඩගිණි වෙලා කිරි ඉල්ලලා. ඉක්මනින් ළමයා නලවගන්න ඕනෑ හන්දා එළදෙන වත්ත පල්ලෙහයින් ලෙහාගෙන ඇවිත් කුස්සිය ඉස්සරහා පලයක් බාලා හදලා තිබ්බ මඩුවේ කණුවක ගැට ගැහුවා. කිරි ටිකක් දොවලා ලිපට කරන තුරුත් ළමයගේ ඇඩිල්ල නැවතුණේ නැති හන්දා කිරි එක ලිපේ තියද්දිම ගියා ලමයා නලවන්න. ඒ අතරෙදි වත්ත පල්ලෙහා ඉඳන් තමන්ගේ පැටියා කෑ ගහන හඬ ඇහුණ එළදෙන කළබල වෙලා වත්ත පහලට දුවන්න දැඟළුවා.අඩපට්ටලේට හිර කරලා තිබ්බ කණූව පිදුරු වහලත් එක්ක කඩා වැටෙද්දී එලදෙන පැනලා දිව්වා. දැන් ගමරාල වහල හදන්නත් ඕනෑ. පැනලා ගියපු එළදෙන අල්ලන්නත් ඕනෑ. ඒ ඔක්කොටම කලින් ළමයා නලවන්නත් ඕනෑ. ඊලඟට ගුරු ගෙදර යන ලොකු ලමයා ඇහැරවලා කන්න මොකුත් හදලා එයාව පිටත් කරන්නත් ඕනෑ. ඊට බාල දෙවෙනි ලමයා නැගිටින්න කලින් අතදරුවට කවා පොවා ගන්නත් ඕණෑ. ඔය අහු අස්සේ වෙනදටත් කලින් අවදි වෙච්ච දෙවෙනි දරුවා කුස්සියට ගිහින් උතුරන කිරි එක දැකලා ඒකට අත දාලා බැලුවා. ගමරාල අත දරුවත් කිහිල්ලේ ගහගෙන එක පිම්මට කුස්සියට ආවේ දෙවෙනි ළමයගෙ මර හඬදීම ඇහිලා. අත දරුවත් කිහිල්ලේ ගහගෙනම කෝමාරිකා පඳුරෙන් කොලයක් කඩා ගත්තු ගමරාළ ඒක දරුවගෙ දිය බුබුළු නැඟිච්ච අතේ ගෑවා. ලොකු ලමයා නැඟිටලා ගුරු ගෙදර යන්නේ නැද්ද කියලා අහමින් කනුකුනු ගාන්න පටන් ගත්තේ ඔය අතරෙදියි. පොඩි දරුවා නලවා ගන්නත් විදියක් නෑ කිරි නොදුන්න නිසා බඩගින්න වැඩිකමට ළමයාට අඬා ගන්නත් බැරිතරමයි. තාම උයලත්, උයන්න හිතලත් නෑ. ලිඳ ලඟ තියෙන රෙදි සෝදන පනිට්ටුව පුරවලා ලමයි තුන්දෙනාගේ කිළුටු ඇඳුණුත්, තියෙන බව ගමරාල දැක්කේ ලිපේ තියන්න වතුර කලයක් ගන්න ලිඳ ලඟට ගියාමයි.

දැන් නම් ගමරාලට හීන් දාඩිය නෙවෙයි, මහ දාඩියත් දාලා. අත දරුවත් කිහිල්ලේ ගහගෙන , අනිත් දරුවගේ අතිනුත් අල්ලගෙන ගමරාල ගියා කුඹුරට. යනකොට වගේ වගක් නැතුව කුඹුර කොටනවා.

" අනේ යෝදියේ මම කුඹුර කොටා ගන්නම්. හොඳ එකී වගේ මේ ලමයි දෙන්නත් අරගෙන උඹ පලයන් ගෙදර" ගමරාල ඇඟට පතට නොදැනී ගම මහගේට කිවුවා. කට කොණකින් හිනාවෙච්ච ගම හාමිනේ ලඟ තිබුණු ඇලෙන් මුහුණ අතපය සෝදගෙන ළමයත් වඩාගෙන දෙවෙනි දරුවගෙත් අතින් අල්ලගෙන ගෙදර ගියා. සැනසුම් සුසුමක් හෙලපු ගමරාල කුඹුරට බැස්සේ වෙනදාටත් වඩා උනන්දුවෙන්...

                      ************************

හි... හි ඊට පස්සේ මොනා වෙන්න ඇද්ද? ගම හාමිනේ මොන තරම් මහන්සියක් වෙන්න ඇද්ද ගමරාල යකා නටලා වගේ තිබ්බ ගේ පිළිවෙලක් කර ගන්න. අනිත් වැඩ කරන්න. හප්පා.. අර ලියන්නගේ පෝස්ට් එකේ තිබුන " උඹ වෙලාම බලපන්කෝ" කියන කතාව නම් ඇත්තක්ම තමයි. කාන්තාවන් ගැන විතරක් නෙවෙයි, වෙන ඕනෑම කෙනෙක් කරන වැඩක් හැමවෙලාවෙම තව කෙනෙකුට පේන්නේ තමන් කරන වැඩේට වඩා ලේසි වැඩක් විදියටයි.  ඒත් ඒ වැඩය තමන්ට කරන්න සිද්ධ උණොත් තමයි තමන් කර කර හිටපු කාර්යය ගැනත් හරි අවබෝධයක් හුඟ දෙනෙකුට ලැබෙන්නේ....

Tuesday, February 19, 2013

පොලිස් කතාවක්...

එදා විලච්චි ගිය දවසේ පරණ කතා ටිකක් අහන්න ලැබුණා කියලා කිවුවනේ මම. මේත් එයින් කතාවක්. හැබැයි ඇත්තටම මේ කියන සිද්ධිය සිද්ධ උණා කියලා මිසක් රස කරන්න මේකට දාල තියෙන කතා ඇත්තද මම දන්නේ නෑ. අහපු දැකපු අය නම් කියනව ඇත්ත කියලා. මේ සිද්ධිය වෙලා තියෙන්නේ 1997 අවුරුද්දේ.. අනුරාධපුර පොලිස් ස්ථානයේ.

අනුරාධපුර පොලිස් ස්ථානය තියෙන්නේ කච්චේරිය ඉස්සරහා. ටවුන් එක මැද හරියෙ වගේ. සේනානායක මාවත පොලිසිය ඉස්සරහින්, පිටිපස්සෙන් රේල් පාර. රේල් පාරට එහා පැත්තේ පොලිසියේ නිල නිවාස. එතනින් එහා තමයි සේරම වගේ ස්කෝල ටික තියෙන්නේ. ඒ කාලේ පොලිස් ස්ටේෂන් එක ඇතුලෙමයි පොලිස් අධිකාරි කාර්යාලය තිබිලා තියෙන්නේ. පොලිසියේ ප්‍රධාන ගොඩ නැගිල්ලට එහා ගොඩ නැගිල්ලක උඩ තට්ටුවේ. 

ඔන්න එක දවසක් පොලිසිය ඇතුලෙ එක දිගට වෙඩි සද්ද ඇහෙනවලු. කට්ටිය හැමෝම කලබල වෙලා. ඔන්න ඒ අස්සේ කතාවක් යනවලු පොලිසියට කොටි ගහනවා කියලා. ඒ දවස්වල කොටි කළබලත් තිබුණු දවස් නිසා හැමෝම (පොලිස් නිලධාරින්ද ඇතුළුව) හොඳටම කළබල වෙලා. පණ බේර ගන්නයි ට්‍රයි එක. පොලිසියේ මහත්තුරුයි, වැඩ කරගන්න ඇවිත් හිටපු අයයි සී සී කඩ දුවනවලු. වටේ පිටේ ඔෆිස්වල අයත් එහෙමලු. සමහර පොලිස් නිලධාරින් නිල ඇඳුමින් තමන් පොලිසියේ කියලා දැන ගනියි කියලා බයට ඇඳුම් ගලව ගලවා දුවනවලු ගෙවල් අස්සෙන් තාප්ප උඩින් රේල් පාර දිගේ එහෙම. ඔය දුවපු කීප දෙනෙක් කාන්තා විද්‍යාලය ඇතුලටත් රිංගලා වැඩ කර කර හිටි බාස්ලා එක්ක බදාමත් ඇනුවා කියලයි ආරංචිය..

පොලිස් අධිකාරි කාර්යාලය ඇතුලෙත් එක ගිණි විජ්ජුම්බරයක්ලු. එක මහත්තයෙක් පණ බේර ගන්න හිතාගෙන නැග්ගලු ෆයිල් කබඩ් එකක් දිගේ සිවිලිමට. නැගලා බලද්දි එයාටත් කලින් වයසක චීෆ් ක්ලාර්ක් මහත්තයා නැගලා ඉඳගෙන ඉන්නවලු සිවිලිමේ. මෙයාව දැක්ක ගමන් ඇහුවලු "ආ.. උඹත් ආවද?"  කියලා. එක නෝනා කෙනෙක් ජනේලෙන් වහලයක් උඩට පැනලා ක්වාටර්ස් එකට දිව්වලු. එතන වහල හුඟක් පාතයිලු. බහින්න නගින්න පුලුවන්ලු එතන තියෙන කණ්ඩියකට අඩිය තියලා. එත් කලබලේට එයාගෙත් කකුල ලිස්සලා, ගෙදර ගිහින් බලපුවාම කකුලෙ ඇටේ පුපුරලාලු.එයා අදටත් ඇවිදිදි කොර ගහනවා. ඒක නම් මම දැකලා තියෙනවා.තව නෝනා කෙනෙක් මේසේ යට හැංගිලාලු. ඔලුව මේසේ යට, පස්ස කෑල්ල එළියේ. හරියට පැස්බරා වැලි යට ඔළුව ගහගන්නවා වාගේ.මට නම් මැවිලත් පෙනුණා කතාව අහද්දී.තව ඔෆිස් එකක සරප් නෝනා කෙනෙක් දුවලා තියෙන්නේ සල්ලි පෙට්ටියත් මේසෙ උඩ ඇරලා දාලලු.

තවත් කට්ටියක් දුවගෙන ගියාලු පිටිපස්සේ කම්බි වැටෙන් රේල් පාරට  පැනලා කොහෙ හරි දුවලා පණ බේර ගන්න. ඒ දුවපු කෙනෙක් ඒ ගැන මාත් එක්ක කිව්වේ මෙහෙමයි.

" දුවගෙන ඇවිත් කම්බියක් පාගලා අනිත් පොට ඉස්සුවා එහා පැත්තට පනින්න හිතා ගෙන . ඒත් මොන... පැන ගන්න බැරි උණා සෑහෙන වෙලාවක් යනකන්. අපි කම්බිය උස්සනකොට එකෙක් සිං ගාලා ගියා.ඒට පස්සේ තව එකෙක් ගියා. ඒටත් පස්සේ තව එකෙක්. අපිට පෙනුණෙ යනව කියලා විතරයි. අපිට පස්සෙන දුවගෙන ආපු අය වේගෙ වත් අඩු නොකර කම්බියෙන් පැනලා ගියේ. අපිට උණෙ කම්බිය උස්සන් ඉන්නයි සෑහෙන වෙලාවක්"

තව ඔතන හිටිය උසස් පොලිස් නිලධාරියෙකුත් දුවගෙන ගිහින් පිටිපස්සේ නවත්තලා තිබ්බ ලොරියක ට්‍රේලරේකට වෙලා හැංගුණාලු. නිකන්ම නෙවෙයි "හා..හා.. ඔය ලමයි මෙතන මොකද කරන්නේ යන්න යන්න" කියලා එතන හැංගිලා හිටපු අනිත් කට්ටියවත් එළවලා. හැබැයි ඉතින් මතක් කරන්න ඕනෙ අපේ පොලිස්පතිතුමාව. එතුමා තමයිලු ඒ දවස් වල අනුරාධපුර කොට්ඨා‍ශය භාර ජේ‍ෂ්ඨ පොලිස් අධිකාරි තුමා විදියට රාජකාරි කරලා තියෙන්නේ. එතුමා හිටියෙත් අර කියපු පොලිසිය ඇතුලේ පොලිස් අධිකාරි කාර්යාලයේ. "කිසි කෙනෙක් දුවන්නත් එපා. හෙල්ලෙන්නේ නැතුව ඉන්න " කියලා නියෝග කරපු එතුමා තමන්ගෙ පිස්තෝලෙත් අරන් බිත්තිය අයින දිගේම ගියාලු ප්‍රධාන ගොඩනැගිල්ල ඉස්සරහා ගේට් එක ලඟට. ගිහින් වෙඩි තියන්න පටන් ගනිද්දිම වගේ පොලිසියට පැනලා වෙඩි තිබ්බ පුද්ගලයා දුවගෙන යන්න පටන් ගත්තලු පාර දිගේ මහ රෝහල දිහාට. නිකන්ම නෙමේ වටේ පිටේ හිටිය පොලිස් නිලධාරින්ටත් වෙඩි තිය තියා. කොහොම කොහොම හරි අනුරාධපුර උසාවිය ඉස්සරහදි මේ පුද්ගලයට පොලිස් නිලධාරින් විසින් වෙඩි තැබීම නිසා මේ පුද්ගලයා ජීවිතක්ෂයට පත් උණා. මේසිද්ධියෙන් අනුරාධපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරපු ග්‍රාම ආරක්ෂක නිළධාරිනියක් මරණයට පත් උණා. මට මතක විදියට නම් අනිත් කීප දෙනෙකුට තුවාල සිද්ධ උණා ඇරෙන්න වෙනත් ජීවිත හානි සිදු උණේ නෑ..

පස්සෙ ඉතින් බලනකොට මේකට කොටි ත්‍රස්තවාදින් සම්බන්ධ නෑ. මේ වෙඩි තියපු පුද්ගලයා හමුදා නිලධාරියෙක්. මේ පුද්ගලයාට විරුද්ධව කාන්තාවක් පොලිසියට පැමිණිලි කරලා තියෙනවා ඒ පුද්ගලයා තමාට ලිංගික අතවරයක් කළ බවට. ඉන් පසුව පොලිසිය විසින් එම කාන්තාව අනුරාධපුර මහරෝහලට යොමු කරලා තියෙනවා වෛද්‍ය වාර්තා ලබා ගැනීමට. ඒ පැමිනිල්ල විභාග කිරීම සඳහා මේ හමුදා නිලධාරියාව පොලිසියට ගෙනත් තිබුනේ ඔහු සේවය කළ කඳවුරේ සිටම, යුද හමුදා නිල ඇඳුමින්මයි. ඔහුගෙන් ඒ පිළිබඳව කට උත්තර ගනිද්දි පොලිසියේ සුළු පැමිණිලි අං‍ශය ඇතුලත ඔහුට සමච්චල් වචනද භාවිතා උනාලු. එක නිලධාරිනියක් කිව්වලු" අට පාස් අය ආමි එකට ගත්තාම ඔය වගේ දේවල් වෙන එක අහන්නත් දෙයක්ද"  කියලත්. නිල ඇදිමින් හිටි සෙබළාට මාංචු දාල තිබිලත් නැහැ. ඔහු ඉල්ලිමක් කරලා තියෙනවා ඔහුගෙ නිල ඇඳුම මාරු කර ගත යුතුයි කියලා. ඒ ලැබුණු අවසරයෙන් තමා ගෙන ආ ජීප් රථය අසලට ගිය ඔහු එහි තිබූ තම රාජකාරි ගිණි අවිය රැගෙන කෙළින්ම ගොස් ඇත්තේ පොලිසියේ අපරාධ අංශයටයි. තමාට සමච්චල් කළ නිලධාරින් ඔහුගේ ඉලක්කය උණාලු. තමන්ට වෙඩිතියන එක වලක්වා ගන්නට හැම පැත්තටම වෙඩි තියමින් ඔහු උත්සාහ කලේ මහරෝහලට ගොස් එහි නේවාසිකව සිටි පැමිනිල්ල දැමූ කාන්තාව ද මරා තමගේ ද දිවි නසා ගන්නලු. ඒත් ඊට පෙර එම හමුදා නිලධාරියා පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත් උණා. 

ඒත් ..මේ කතාවේ සලකා බැලිය යුතු කොටස  මෙයයි. එම හමුදා සෙබළාට විරුද්ධව පැමිණිල්ල දැමුවා යැයි කියන කාන්තාව තම රැකියාව ලෙස ලෝකයේ පැරණිම රස්සාව කරණ කෙනෙක්ලු. යුද හමුදා අතරමැදි කඳවුරක් අනුරාධපුරයේ තිබෙන නිසා මේ වගේ අය අනුරාධපුරයේ ටිකක් වැඩියිලු. මේ හමුදා සෙබළාත් කීප වතාවක්ම මීට පෙරත් නිවාඩු යන එන අතරමගදී මේ කාන්තාව හමුවී තියෙනවාලු. අවසන්වරට හමුවූ අවස්ථාවේ මෙම කාන්තාව, මේ සෙබළාගේ පසුම්බිය, මාසික වැටුප සම්පූර්ණයෙන්ම ඇතුලත්ව තිබියදී සොරා ගත් බවත්, ඒ පිළිබඳ විමසීමේදී ඇතිවූ ගැටුම දුර දිග යාම නිසා අදාල කාන්තාව විසින් තමා කළ වරද වසා ගැනීම සඳහා සෙබළාට විරුද්ධව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ පැමිනිල්ලක් දැමූ බවත් තමයි කියැවෙන්නේ..

මේ ඔක්කොම සිද්ධ උණාට පස්සේ පරිසරය ටික ටික සංසුන් වෙද්දී, දුවපු කට්ටිය එකා දෙන්නා එනවලු ආපහු පොලිසිය ඇතුලට. පොලිසියේ අය විතරක් නෙවෙයි ඔෆිස් එකේ අයත් එනවලු එහෙම. ඒ වෙද්දී ගේට්ටුවේ මුරට හිටිය රාලහාමිලා එහෙම වෙනස් කරලා අළුත් අය දාලලු මුරට. ඒ නිසා මේ ආපහු එන අය පොලිසියේ උණත් අනන්‍ය තාව තහවුරු කරලා තමා ඇතුලට යන්න ඕනේ. ඔන්න ඉතින් ඔය විදියට දුවපු එක මහත්තයෙකුත් එනවලු ආපහු. වැටවල් වලින් පැනලා දිව්වා උනාට ඉතින් ගේට්ටුවෙන්ම ඇතුලට යන්න එපැයි. මෙයා ආපහු එද්දි මුරට හිටිය අය වෙනස් වෙලා. ඒත් ඉතින් "බය වෙන්න දෙයක් නෑ අයිඩින්ටිය ක්ලිප් කරල තියෙනවනේ ෂර්ට් කොලර් එකේ. ඒක පෙන්නන්න විතරයි තියෙන්නේ ඇතුලට යන්න පුලුවන්". මෙහෙම හිතපු මේ මහත්තයා වැඩි හොඳට ක්ලිප් එක කොළර් එකෙන් ගලවලා අරගෙන ගේට්ටුවේ රාළහාමිට උස්සලා පෙන්නුවා. "මම මේ ඔෆිස් එකේ වැඩ කරන්නේ" කියලා. අනේ ඉතින් මොන තරම් සීරියස් මූඩ් එකක හිටියත් ගේට්ටුවේ හිටිය රාලහාමිලා දෙන්නටම හිනාව නවත්ත ගන්න බැරි උනාලු. එතකොටයි මහත්තයා බලලා තියෙන්නේ ඇයි හිනාවෙන්නේ කියලා. බලද්දි, දුවනකොට අයිඩින්ටිය වැටිලා. ක්ලිප් එක විතරයි ෂර්ට් කොලර් එකේ ඇමිණිලා තිබිලා තියෙන්නේ..

මේ කතාව මම "ලු" ප්‍රත්‍යයෙන් කිවුවේ මේ කිසි දෙයක් මම දැකපු නැති හින්දයි. අහපු දේවල් විතරයි මේ....

Friday, February 8, 2013

විලච්චි ගියෙමි


මේ තමයි අනුරාධපුර ඉඳන් විලච්චියට යන පාර
හදිසියෙම රාජකාරි කටයුත්තකට විලච්චියට යන්න සිද්ධ උණා. විලච්චිය කියලා පහසුවට කිවුවට හරිම නාමය තමයි මහ විලච්චිය කියන්නේ. මම මීට කලින් ඇත්තටම මහ විලච්චියට ගිහින් නැහැ. ආ.. ඔව් ඔව් දැයට කිරුලට ගියා තමා, ඒත් ඉතින් ඒක තිබ්බේ ඔයාමඩුවෙනෙ. අපි ගියේ මහවිලච්චිය පොලිසියට.යනකනුත් මට හිතිලා තිබ්බේ නෑ මෙහෙම පෝස්ට් එකක් දාන්න. ගියාට පස්සේ අහපු කතාවක් නිසයි හිතුනේ මේක ලියන්න ඕනෙ කියලා.

අනුරාධපුර නගරයේ ඉදලා 32  දුරින් තමයි මහවිලච්චිය තියෙන්නේ. අනේ ඉතින් දෙය්යන්ගෙ පිහිටයි බස් නම් වැහි වැහැලා. උදේ හතේ ඉඳන් බස් හෝල්ට් එකේ හිටියත් බස් එකක් එනකොට වෙලාව 8ත් පහුවෙලා. ඒකත් ඉතින් මඟ දිගට කොට කොටා , ගෙවල් ගානේ නවත්ත නවත්තා විලච්චියට යනකොට වෙලාව 9.30යි. විලච්චිය පේමඩුව හන්දියෙන් බැහැලා ඇතුලට කිලෝමීටරයක් තරම් දුර යනකොට තමයි මහ විලච්චිය පොලිසිය හම්බ වෙන්නේ. හරිම නිස්කලංක පරිසරයක්. ඒත් මට නම් හිතුනේ හැම දාම නං මේ වගේ පරිසරයක ඉන්න බැරි වෙයි කියලයි.පාර අයිනට වෙන්න එක යායට ගෙවල් තිබුණත්  ඇතුලට යන්න යන්න ගෙවල් තියෙන්නෙ විශාල වතු මැද එකකට එකක් හරි දුරින්. අතරින් පතර කැළෑවත් තියෙනවා. හිතට බයක් දැණුණා වැඩිය මිනිස්සු පේන්නත් නොහිටි හින්දා.

                මේ තමයි ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම පේන දර්ශනය

කොහොමින් කොහොම හරි පොලිසිය ගේට්ටුවෙන් ඇතුල් වෙද්දිම දැක්ක බුදු මැදුරක් එක්ක තිබ්බ සුවිසල් බෝධිය හිතට ගෙනාවෙ හරිම සිසිලසක්. ගේට්ටුවෙන් ඇතුළු වෙද්දී වම් අත පැත්තේ ටිකක් දුරින් තමයි ළමා හා කාන්තා කාර්යාංශ ගොඩ නැගිල්ල පිහිටුවලා තිබ්බේ. පොලිසිය ආරම්භ කරලා තියෙන්නේ 1975 වර්ෂයේ. වත්ත අක්කර 12ක්. නිල නිවාස 12ක් පොලිස් නිලධාරින්ගෙ බැරැක්කය, තවත් ගොඩ නැගිලි කිහිපයක් තිබ්බා. පිරිසිදුයි.පිළිවෙලයි.

 ඉතින් කොහොමින් කොහොම හරි අපි ගියපු රාජකාරි වැඩේ ඉෂ්ට සිද්ධ කර ගන්නත් පොලිස් නිලධාරින්ගේ සහයෝගය අපිට උපරිමයෙන් ලැබුණා. ඒ වැඩ කටයුතු ඉවර වෙලා කෑම බීම එහෙමත් ගත්තට පස්සේ මට හිතුණා ගිහින් කාන්තා කාර්යාංශයටත් පොඩ්ඩක් ඔලුව දාලා බලන්න. ඉතින් පොලිස් නිලධාරියෙක් හා මේ පැත්ත ගැන හොඳට විස්තර දන්න අපේ කාර්යාලයෙම මහත්මයෙක් එක්ක කතා කරමින් ඒ පැත්තට යද්දි පරණ සිද්ධි කීපයක්ම ඇදිලා ආවා. ඒ නිසයි මට මේ ලිපිය ලියන්නත් හිතුනේ. 

දැනටත් පොලිසිය තියෙන පැත්ත ටිකක් කැළෑව. වැඩිය මිනිස්සු ගැවසෙන්නේ නෑ. පාරවල් තියෙනවා. පොලිසියට ඇතුළු වෙන්න තිබුණු පරණ ගේට්ටුව දැන් වහලා දාලයි තියෙන්නේ. කාන්තා කාර්යාං‍ශය තියෙන්නේ ඒ ගේට්ටුව ලඟමයි. ඒ අහල පහල තියෙනවා ලොකු පළු ගස් කීපයකුත්. ඉස්සර 1985 විතර කොටි කලබල තිබ්බ කාලේ මේ පැත්තෙත් කැළෑවල ත්‍රස්තවාදින් හිටියලු. මිනිස්සුත් බයෙන් බයෙන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒ දවස් වල ඔය පරණ ගේට්ටුව තමයි පාවිච්චි කරල තියෙන්නේ.රෑට ඔය ගේට්ටුව ඉස්සරහම තියෙන පළු ගහේ හොඳ එළිය තියෙන ෆ්ලෑෂර් එකක් හයි කරලා තිබුනළු පළාතම හොඳට පේන්න. එක දවසක් ත්‍රස්තවාදින් කීප දෙනෙක් ඇවිත් තියෙනවා පොලිසිය විනාශ කරන්න. බෝම්බයක් හයි කරලා මුළු පොලිසියම පුපුරුවා හරින්නයි සැලසුම තිබිලා තියෙන්නේ. කොටි කිහිප දෙනෙක් බෝම්බයට අයිති රිමොට් එක තියාගෙන ටව්න් එකේ ඉන්නත්, කොටි දෙදෙනෙක් බෝම්බය ගෙනිහින් පොලිසියේ රඳවලා හොරෙන්ම පිටවෙලා තමන් ආරක්ෂා වෙන තරම් දුරකට ඇවිත් අහසට වෙඩිල්ලක් තියන්නත් තමයි සැලසුම් කරලා තියෙන්නේ. වෙඩිල්ල තමයි සංඥාව. එතකොට ටවුන් එකේ ඉන්න අයට පුලුවන් ඒ මොහොතෙම රිමොට් එකේ බොත්තම ඔබලා මුළු පොලිසියම විනාශ කරලා දාන්න.


ඉතින් පොලිසියට එන්න ආව කොටි දෙන්නට පොලිසිය තියෙන තැන ගැන එහෙමටම අවබෝධයක් තිබිලා නෑ. ගමේ කසිප්පු විකුණන තැනකට ගිහින් හොඳට  බීලා. එතන හිටපු මිනිස්සු දෙන්නේකුත් පාර පෙන්නන්න අඬ ගහගෙන තමයි මේ කොටි දෙන්නා ඇවිත් තියෙන්නේ, බෝම්බෙ ගෙනත් තියෙන්නේ එක ත්‍රස්තවාදියෙක් ඉනේ බැඳගෙනයි. පොලිසියට ලංවෙනකොට අර පළු ගහේ තිබ්බ ෆ්ලෑෂර් එක නිසා එතන මුර කුටියේ හිටිය රාලහාමිලාට මේ අය පෙනිලා තියෙනවා පැහැදිලිව. කෑ ගහලා නවතින්න කිවුවට නැවතුනේ නැති නිසාත්, සැකයක් ඇති උණ නිසාත් එක රාලහාමි කෙනෙක් වෙඩිතියලා තියෙනවා මේ කට්ටියට. ඒ වෙලාවෙ ගමේ මිනිස්සු දෙන්නා පැනලා දිව්වත් පොලිසිය කිට්ටුවට ඇවිත් හිටපු ත්‍රස්තවාදින් දෙන්නා ආපහු හැරිලා නෑ. ඒත්... අර රාලහාමි තියපු වෙඩිල්ල තමන්ගෙ සංඥාව කියලා හිතපු අනිත් කොටි රිමොට් එක ක්‍රියා කරවලා. බෝම්බේ තියන්න ආව ත්‍රස්තවාදින්ගෙ කෑලි පළු ගහ උඩත් තිබුණා කියලයි පොලිසියේ අය කියන්නේ. පොලිසියේ කාටවත් තුවාලයක් වත් වෙලා නෑ.

මට නම් හිතුනේ කළ කළ දේ පළ පළ දේ කියන්නේ මේ වගේ දේවල් වලටයි කියලා.



වසා දමා ඇති පරණ ගේට්ටුව (ඔන්න ඔය පළු ගහේ තමයි ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු වල කෑලි රැදීලා තිබ්බා කියන්නේ
                                                                

මේ පළු ගහේ තමයි අර කියපු ෆ්ලෑෂර් එක හයි කරලා තිබිලා තියෙන්නේ

ළමා හා කාන්තා කාර්යාංශය මහ විලච්චිය පොලිස් ස්ථානය

මම ඇහුවා කාන්තා කාර්යාංශෙ හිටපු නිලධාරිනියකගෙන්,

 "මෙහෙ හොරු එහෙම නැද්ද? පාළුයිනෙ හැම තැනම."

" හොරු නම් එහෙමටම නෑ මිස්"

" ඔයාලට පැමිණිලි ගොඩක් එනවද කාන්තා කාර්යාංශෙට?මොනවගේ ඒවද එන්නේ?"

" හොරු නම් ඒ තරම් නෑ මිස්, ඒත් මෙහෙ පාළු නිසාද මන්දා ස්ත්‍රී දූෂණ ලමා අපචාර වගේ දේවල් නම් ඉස්සර හුඟක් ආවා. දැන් නම් අඩුයි. මාසෙකට එකක් දෙකක් වගේ තමයි එන්නේ"

අප්පේ ඉතින් මාසෙකට දෙකක්? මදෑ නේද? මේවට පිළියම් නැද්ද මන්දා. මිනිස්සු  තිරිසන් මානසිකත්වයෙන් මිදිලා මනුස්ස තත්වයට එනකල් ඉතින් මේවා මෙහෙමම තියෙයි. මොන විදියේ නීති තිබුණත් වැඩක් නෑ.

තව කතා කීපයක්ම ඇදිලා ආවා.ඒවා පස්සේ කියන්නම්කෝ. මම ලියපු දිගම පෝස්ට් එක මේකද කොහෙද. කට්ටියට බෝරිං උනාද මන්දා.


පැරණි මුරපොලේ පාදම
පැරණී ගේට්ටුව වෙත පිවිසෙන මාර්ගය