Tuesday, December 27, 2011

අරුන්දතීට යෙහෙළියක්....

ආරුන්දතීගෙ කන්තෝරුවට අළුතින් පත්වීම් ලැබිලා කීප දෙනෙක්ම ආවා.පිරිමි ළමයි දෙන්නෙක්, ගැහැණු ළමයි තුන් දෙනෙක් අරුන්දතී සේවය කරන අංශයටත් ආවා.
ඒ ගෑණු ළමයි අතරින් එක්කෙනෙක් ඉක්මනින්ම අරුන්දතීගෙ යෙහෙළියක් උණා. ප්‍රසන්න හිනාවකුයි සිරියාවන්ත මූණකුයි තියෙන එයා මධූ. මධූ ඇත්තටම හිතුවට වඩා හොඳට යෙහෙළියක් විදියට අරුන්දතීට ගැලපුනා. හුඟක් යාළුවෝ යෙහෙළියෝ හිටපු අරුන්දතීගෙ යාළුවන්ගෙන් 50% කටත් වඩා අය පොත් කියෙව්වා. ඒත් අරුන්දතී කැමති විදියේ පොත් කියවන අය එතන නෑ. හුඟ දෙනෙක් කියවන්නේ මල් පොත්. එහෙම නැත්නම් කිසිම තේරුමක් නැති සරළ ආදර කතා. ඒත් අරුන්දතී කැමති " The sun Also risen" ,The Gad-fly , Eva Luna , The Other Side Of Mid Night , The Love Of Time In Cholera , Lajja , Lady Chatterlies Lover , අම්මා , සැබෑ මිනිසෙකුගේ කතාවක් ,ගුරු ගීතය වගේ පොත් වලට.

ඇත්තටම මධූ මේ පොත් කියවලා තිබුණා විතරක් නෙවෙයි ඒ පොත් වලට ආසා කරපු නිසා එකතු කරලා තියාගෙනත් තිබුණා. ඒ වගේම ඕනෙම වෙලාවකදි, ඕනෙම කෙනෙක් ඉල්ලන උදව්වක්, තමන්ට පුළුවන් දෙයක් නම් , බෑ නොකියා කරලා දෙන එකත් මධූගෙ පුරුද්දක්.

අනිත් අයට වඩා හොඳ ඉංග්‍රීසි දැනුමක් එක්ක උගත් කමකුත් තිබ්බ මධූ ඒ  බව කාටවත් කියා පාන්ට වත් ඒ නිසා ඔළුව උදුම්මා ගන්ටවත් ගියේ නෑ.
අරුන්දතී වගේම මධුත් අයිස් ක්‍රීම් , චොක්ලට් , චොක්ලට් කේක් කිවුවොත් පණ ඇරලා.කන්ට නම් අපි ඉතින් ඕනෑ වෙලාවක ලෑස්ති නේ. 

ලැබෙන ඕනෙම දෙයක් සතුටින් හිනාවෙන් සැහැල්ලුවෙන් බාර ගන්න මධුත් හැම වෙලාවෙම තමන්ගෙ නිදහසට ප්‍රිය කරපු නිසාම අනුන්ගෙ අදහස් වලට තමන්ගෙ අදහස් බලෙන් ඔබ්බන්න ගියෙත් නෑ. ඒ වගේම ඕනෙම බැරෑරුම් අවස්ථාවක් විහිළුවට හරවගෙන හිනා වෙන්න මධූට තියෙන හැකියාවට තමයි අරුන්දතී හුඟාක්ම කැමතිත්...

මලිත්තිගෙ කතා....(බිල්ලෙක්)


  මලිත්ති අත්තම්මයි අත්තප්පච්චියි එක්ක පිළිමතලාවෙ පොඩි අත්තප්පච්චිලාගෙ ගෙදර ගියා. මේ සීතල දවස් වල පාන්දරම හුළං වැදි වැදී ගිහින් , අම්මා එපා කියලා කෑ ගහද්දිම මලිත්ති අය්යලා අක්කලා එක්ක පතහෙන් නෑවා.හැන්දෑවෙ ගෙදර යනකොටත් මලිත්තිට හෙම්බිරිස්සාව හැදෙන්ට ඇවිත්. පහුවදා උදේ වෙනකොට මලිත්තිට හුස්ම ගන්නත් අමාරුයි.ඉතින් තාත්තා අම්මටත් බැන බැන මලිත්තිව එක්කන් ගියා බෙහෙත් ගන්ට චැනල් සෙන්ටර් එකට.


බෙහෙත් ගන්ට කට්ටිය ගොඩයි.හැමෝම තම තමන්ගෙ වෙළාව එනකන් අංක පිලිවෙළට වාඩි වෙළා ඉන්නවා.අම්මාට මලිත්තිත් එක්ක බෙහෙත් ගන්ට පෝලිමේ ඉන්ට කියලා අප්පච්චි එළියට වෙළා හිටියා. දැං ඉතිං මලිත්තිත් අම්මා ලඟ පුටුවේ වාඩි වෙළා ඉන්නවා බෙහෙත් ගන්ට.


ඔන්න ඉතිං එතකොටම මලිත්ති ලඟ පුටුවෙන් වාඩි උනේ බෙහෙත් ගන්ට ආපු මුස්ලිම් ජාතික කාන්තාවක්. එයාගෙ ස්වාමි පුරුෂයා එක්කම. දන්නවනෙ ඉතින් මුස්ලිම් කාන්තාවෝ අඳින විදිය.කළු පාට අබායා එකයි, ඔලුවත් කළු ස්කාෆ් එකකින් වහගෙන ඇස් දෙක විතරයි පේන්නේ. ඒත් ඉතින් එයාගෙ හස්බන්ඩ් නම් ඩෙනිම් කලිසමක් ඇඳලා සන් ග්ලාස් දාලා හරිම මොඩ්.


මේ ජෝඩුව දැක්කා විතරයි මලිත්ති ඉඳගෙන හිටපු පුටුවෙන් උඩ විසි වෙලා වගේ නැගිටලා අම්මගෙ උකුළට පැන්නේ


" අපෙ අම්මා , අපෙ අම්මා... මෙන්න බිල්ලෙක් ඇවිත් " කියාගෙනමයි.


ඒක ඇහුණු අර කාන්තාවගෙ ස්වාමි පුරුෂයා බැළුවෙ මලිත්තිගෙ අම්මා දිහා.අම්මට කර කියා ගන්ට දෙයක් නෑ.වටේ හිටිය හැමෝම මලිත්ති දිහා බලාගෙන. මලිත්ති මේ මහ නුවර නගරෙ ඉදලා මුස්ලිම් කාන්තාවො ඕනෙ තරම් දැකලා තියෙනවා. එහෙම තියෙද්දි අද මොකද මේ කියලා අම්මටත් හිතා ගන්ට බෑ. ඒ කොහොම උනත් මලිත්ති තවත් මොනවා හරි කියලා පෙරළියක් ඇති කරන්ට කලින් ලස්සන පුංචි නර්ස් ඇන්ටි කෙනෙක් ඇවිත් ,දොස්තර මහත්තය ලඟට යන්ට මලිත්තිගෙ අංකය කතා කරපු නිසා අම්මා දෙය්යන්ට පින් දි දී මලිත්තිත් වඩාගෙන නැගිට්ටා දොස්තර මහත්තය ලඟට යන්ට..


මම මේ කතාව ලිවුවේ කාටවත් අපහාසයක් කරන්ට එහෙම නෙවෙයි ඔන්න.කවුරුවත් වරදවලා වටහා ගන්ට නම් එපා............

Thursday, December 15, 2011

නල කුමරුට........























දමයන්තිය මම ස්වයංවර මංගල්ලේ
නල කුමරුණි කෝ ඔබ තාමත් නෑනේ
මාලා දාමේ සුවදැති මල් ඇමිණේ
මෙතරම් පිරිසක මා ඔබමයි සෙව්වේ......


හංස තුඩින් ගෙන ආ පෙම් පණිවිඩයේ
නුඹ නොදැකයි මා මෙළෙස පෙමින් බැදුණේ
සක්විති රජවරු කොතරම් දෙවිවරු පැතුවත් හිත මාගේ
පළඳන්නේ මම නුඹටයි මල් දාමේ......


දමයන්තිය මම ස්වයංවර මංගල්ලේ
තාමත් නුඹ නෑ නෙතට පෙනෙන මානේ
පෙම් හසුනේ නුඹෙ වදන් නැවත සිහිවේ
වෙළාව ලංවේ හදත් බියෙන් සසැළේ....


ඔය රුව දුටුවම හුරු පුරුදුයි වාගේ
නෙතු රැවටෙන් නෑ නුඹ හිමිකරු මාගේ
පළඳමි සතොසින්  මල් දම, මගේ ප්‍රේමේ
පිළිගනු මැන දැන් මා සදහට ඔබගේ......

Wednesday, December 14, 2011

මලිත්තීගේ කතන්දර.......(වැලි තලප)





















ඔන්න දවසක් මලිත්තිගෙ අත්තම්මයි, අත්තප්පච්චියි ලෑස්ති උණා පිළිමතලාවෙ ඉන්න අත්තප්පච්චිගෙ මල්ලිගෙ ගෙදර යන්ට. ඒ කියන්නේ මලිත්තිගෙ පොඩි අත්තප්පච්චිගෙ ගෙදර.
ඉතිං එහෙම ගමනක් යනකොට හිස් අතින් අත් දෙක වන වනා යන්ටත් බෑ නොවැ. එහෙම යන එක අපේ ගම් රටවල් වල ඇත්තන්ගෙ සිරිතකුත් නෙවෙයිනෙ. අත්තම්මා සූදානම් උනේ වැලිතලප හදන්ට. වැලිතලප වලට පොඩි අත්තප්පච්චි හුඟාක් ආසා බව අත්තම්මා දන්නවා. ඉතිං ඔන්න අත්තම්මට උදවුවෙන්ට ඕනෑ නිසා මලිත්තිගෙ අම්මත් මලිත්තිවත් එක්ක ගෙන ආත්තම්මලාගෙ ගෙදර ගියා. 
වැලිතලප හදනවා කිවුවාම ආසාවෙ බෑ මලිත්තිටත්. එයා මීට කලින් කවදාවත් වැලිතලප නම් කාල නෑ.


" ආත්තම්මේ මාත් උදවු කරන්ටද ? "


මලිත්ති හෙමින් සැරේ අත්තම්මගෙන් ඇහුවා...


" මගෙ පුතා තාම පුංචියිනෙ... පුතාට පුළුවනි තව ටිකක් ලොකු උනහම වැලිතලප හදන්ට. එතකල් මේ පුටුවෙන් ඉඳගෙන ආත්තම්මා වැලිතලප හදන හැටි බලන් ඉන්ටකෝ..."


ආත්තම්මා එහෙම කිවුවේ මලිත්තිගෙ හැටි දන්න හින්දා. ආත්තම්මයි අම්මයි එකතු වෙලා ඊයෙ හවස දියේ දාපු පිටි කෙටුවා. පිටි හැළුවා.ඊට පස්සේ ඒකට ලුණුයි පොල් ටිකකුයි දාලා පුංචි පිට්ටු කැට වගේ හිටින්ට හීනියට අනාගත්තා. ඊට පස්සේ කිතුල් පැණි පදමට උණු කලා.ඒකටම එනසාල් කරාඹු නැටි ටිකකුත් එකතු කලා. හීනියට අනාගත්තු පිටිත් පැණි එකටම එකතු කරලා හොඳට කළවම් කළා. පදම අතට දැනෙනකොට පත්කොළ වට්ටියට තුනී කරපු වැලිපිට්ටු තලපය අත්තම්මා ලස්සන කිරිබත් කැට හැඩේට කැපුවා.


මලිත්ති හොඳට මේ දේවල් දිහා බලා හිටියේ කිසි කතාවක් බහක් නැතුව. අම්මා නිවුණු වැලිතලප කෑලි පන්කොල පෙට්ටියේ අහුරන අතරේ ආත්තම්මා ගියා අත්තප්පච්චිට වත්ත උඩහ ගහෙන් අලිපේර ගෙඩි ටිකකුත් කඩා ගත්තොත් හොඳයි කියලා මතක් කරන්ට. ඒ අතරෙදි මලිත්තිත් නැගිටලා ඉස්සරහ මිදුලට ගියේ රෝස මල් පිපිලද බලන්ටයි, සමනල්ලු ඇවිත්ද කියලා බලන්ටයි. 


අම්මත් ඉකමනට වැඩ ටික ඉවර කරලා වත්ත පහල පීල්ලට නාන්ට යන්ට සූදානම් උණා. අම්මා මලිත්තිට නාන්ට යන්ට කතා නොකළෙ ඊයෙ පෙරේදා ඉඳලා මලිත්තිට පොඩි සෙම ගතියක් තිබුණු නිසයි. එහෙම එකේ පීල්ලෙන් සීතල වතුර නාවලා ළමයගෙ ලෙඩ වැඩි කරන්ට අම්මා කැමති උණේ නෑ. ඒත් මලිත්ති දැක්කොත් අම්මා යනවා එයත් පීල්ලට යන්ට පොරකනවා. ඒ හින්දා අම්මා මලිත්තිට හොරෙන්ම ගේ පිටිපස්සේ අඩිපාර දිගේ පීල්ලට ගියා. අම්මා උඩහට යනකොට අත්තප්පච්චි එනවා අලිපේර කඩපු කෙක්කත් අරන්.


" අපෙ අප්පච්චී, කෝ අම්මා? " 


මලිත්තිගෙ අම්මා එහෙම ඇහුවෙ මලිත්ති තනියම ඉස්සරහ මිදුලේ කියලා මතක් වෙලයි. මලිත්ති දිහා හැම වෙලාවෙම කවුරු හරි ඇහැ ගහ ගෙන ඉන්ටම ඕනෑ. නැත්තම් මොකක් හරි දඟ වැඩක් කරනවා. නැත්තම් තුවාලයක් කරගන්නවා. අත්තම්මා නම් කියන්නේ...


" මේකි නම් කෙල්ලෙක් නෙවෙයි. ගිය ආත්මේ කොල්ලෙක්ද කොහෙද "    කියලයි. එහෙම කියන්නේ ආදරේට. තරහකට එහෙම නෙවී.


" අම්මා ඔය ගෙනියන්ට තව අඩුම කුඩුම එකතු කරනවා නෙව. දැන් ඒවි මයෙ පුතේ "


" අප්පච්චි එහෙමනම් පොඩ්ඩක් මලිත්ති දිහා ඇහැ ගහගෙන ඉන්ට. මම පීල්ලට ගිහින් එන්නම් " 


එහෙම කියපු අම්මා ඉක්මනින එන්න හිතා ගෙන ඉක්මනට ඉක්මනට පීල්ල පැත්තට ගියා. අම්මා නාලා එනකොට කුස්සියේ එක කළබලයයි. අම්මා බැළුවේ අහල පහල මලිත්ති ඉන්නවද කියලයි. ම්හු... නෑ... එහෙනම් මොකද මේ කළබලේ? අනේ .... අම්මා ලස්සනට පන්කොළ පෙට්ටියට අහුරලා ගිය වැලිතලප කෑලි පුරාම හීනි සුදු වැලි ගොඩයි.


" මේ මොකද මේ? "  අම්මා ඔළුවේ අත තියා ගත්තා. අම්මට නම් දැක්ක ගමන් හිතුණා අහල පහළ පේන්ට නොහිටියත් මේ නම් මලිත්තිගෙ වැඩක් කියලා.


"ඉතින් උදේ වරුවක මහන්සිය අපතේ" අත්තම්මත් දුක් උණා.


එතකොටම පිටිපස්සෙ දොරින් කුස්සියට ආවෙ මලිත්තී.


" ඇයි ආත්තම්මේ? "  මලිත්ති ඇහුවෙ අම්මගෙයි ආත්තම්මාගෙයි දෙන්නගෙම මූණු මාරුවෙන් මාරුවට බලන ගමන්.


" කවුද පුතේ මේ වැලිතලප පෙට්ටියට වැලි දැම්මේ ? " ආත්තම්මා ඇහුවේ බොහොම කරුණාවෙන්.


" මමයි දැම්මේ... ආත්තම්මයි අම්මයි වැලිතලප වලට ඔක්කොම දේවල් දැම්මට වැලි දාන්න අමතක උණානේ. ඉතිං එතකොට ඒවා වැලිතලප වෙන්නේ කොහොමද? ඒ නිසයි මම දැන් වත් ඒකට වැලි දැම්මේ..... "  මලිත්ති හුරතල් තාලෙට කිවුවා.


" ඒක තමයි... වැලි වලට වැලිතලප එක්ක සම්බන්ධයක් නෑ කියලා මගෙ පුතාට ආත්තම්මා කියලා දුන්නේ නෑනේ වැලිතලප හදන්ට පටන් ගද්දී. ඉතිං මගෙ පුතා, පුතා දන්න විදියට ආත්තම්මට උදවු කළා. බලන් යනකොට ඒකෙ ඇති වැරැද්දකුත් නැහැනේ. "


පැත්තකට වෙළා සිද්ධිය බලාගෙන හිටිය අත්තප්පච්චි කිවුවා.


" අය්යෝ ... මම හිතුවා මෙයා මොකක් හරි දඟයක් කරයි කියලා..." අම්මා රහසින් කුටු කුටු ගෑවා.


" දැන් කමක් නෑ මැණිකේ... මැණිකේ ආයෙ මොකුත් හදන්ට කරදර වෙන්ට ඕනෑ නෑ. ඔය වත්තෙන් එකතු කර ගත්ත දේවල් වලට අමතරව තව කඩෙන් කේක් ගෙඩියක් අරන් යමු "


අත්තප්පච්චි එහෙම කිවුවත්, එහෙම යන එක ආත්තම්මගෙ හිතට හොද නෑ. ඒ නිසා එයා තල ටිකක් වත් හදන්නම් කියලා තල පෙඟෙන්න දැම්මා. තල කැරලි හදන එක ඒ තරම් අමාරු දෙයක් නොවන නිසාත්, තවත් සැරයක් මලිත්ති ලඟ තියා ගත්තොත් තවත් අකර තැබ්බෙකට මූණ දෙන්න වෙන බවත් දන්න අම්මා, අත්තම්මටයි , අත්තප්පච්චිටයි වැඳලා, පොඩි අප්පච්ච්ලාගෙ ගෙදර යන්න හෙට උදෙන්ම එන්නම් කියලා, මලිත්තිවත් අරන් ගෙදර ආවෙ මලිත්තිගෙ දඟ වැඩේ නිසා ආත්තම්මට වුණ කරදරේ ගැන හිත හිතා මයි.......

Tuesday, December 13, 2011

අවිවාහක මවකගෙන්.....

දිස්න දෙන තරු නෙතු අයාගෙන
සිඟිති අතැඟිලි මිට මොලෝගෙන
රෝස පෙති මුවඟින් සිනා සෙන
හීනයක් වැනි නුඹේ ලස්සන.......


මෙලෙක් බව දැනේ, රෝස පෙත්තක
පොහොට්ටුව වගේ මල් කිනිත්තක
පිපෙන්නට එපා පාත අත්තක
පිපීයන් නුඹ ගහ උඩම ඉත්තක......


නුඹේ පියතුම නොමැති වරදට
නුඹව ලනු බෑ කහල ගොඩකට
නුඹයි සම්පත මගේ දිවියට
පියත් මම නුඹෙ මවත් මම හෙට......


දමා ගිය මුත් මගේ කරුමෙට
එපා වෛරය නුඹේ පියාහට
වැඩුණු මිනිසෙකු වේවි නුඹ හෙට
නොබා දිරි ගෙන යන්න ඉහලට.....


කුණු සොයන්නේ තව අනුන් ගැන
කුණු තියන අය බවම දැනගෙන
ඉවසීම තව තව වඩාගෙන
පුතේ නුඹ නැගිටින්න දිරි ගෙන......


ලොවේ නුඹ හට සිනා සෙන දන
වැටෙයි නුඹ පාමුලට වැඳගෙන
ලොවට ඉහලින්  වැජඹෙනා දින
නොවී පසුබට, ලොව දිනාගෙන.....

Sunday, December 11, 2011

වැස්සකට ඇරයුමක්....














මගේ කඳුළු හංග ගන්න
ලොවට හොරෙන් මට හඬන්න
මහ වැස්සේ මට තෙමෙන්න
වැහැපන් වැහි කළු කරගෙන....


එපා විදුලි එළි කොටන්ට
ගුගුරා අසෙනිය කොටන්ට
වියලී ගිය බිම තෙමන්න
වැහැපන් වැහි කළු කරගෙන.........


ලබා වැස්ස බෙදන පහස
හඬා වැටී ලොවට රහස
වැස්සට පසු අහස විලස
නගන්න හැකි මට මඳහස.......

Saturday, December 10, 2011

දස්කොන් - ප්‍රමිලා

දස්කොන් අදිකාරම්ගේ සහ ප්‍රමිලා බිසවගේ ප්‍රේම කතාව අසම්මත ප්‍රේමයක් නිසා ඒ ප්‍රේමය වැරැද්දක් විදියට දකිනවා බොහෝ දෙනෙක්. අසම්මත ප්‍රේමයක් කියන්නේ බොහොම වටිනා කමින් අඩු දෙයක් නේ ලංකාවෙ සංස්කෘතිය ඇතුලෙදී. මගේ පුද්ගලික අදහස තමයි ආදරයටත් සීමා මායිම් නෑ කියන එක. අනිත් එක මම මේ පෝස්ට් එක ලියන්ටත් හිතුවෙ, මම ප්‍රමිලා දේවියගෙයි දස්කොන් අධිකාරමගෙයි ප්‍රේමය ගැන ලියපු කවි දෙකට මුහුණුපොත ඇතුලේ මට හම්බ වුණු විවිධ ප්‍රතිචාර නිසයි....


සිංහල මිනිසුන්ගේ කටවහරට හුරු වූ විදියට දස්කොන් කියලා හැඳින්නුවට දස්කොන් ගෙ ඇත්ත නම ගැස්කොන්. පේදෲ ගැස්කොන්, ඕලන්ද ජාතිකයෙකකේ කියන්නේ ලන්දේසි ජාතිකයෙක්.


දස්කොන්ගේ පියා,  ලංකාවේ වෙරලට පාවී ආපු ප්‍රංශ නැවක නාවිකයෙක්. දෙවැනි රාජසිංහ රජු විසින් මේ නැවියන් අල්ලා සිර කෙරුනු ලැබූ අතර කාලයකට පසු ඔවුන්ට නිදහස ලැබුණා. එවිට මේ ගැස්කොන් උඩරට ප්‍රදේශයට සංක්‍රමණය වෙලා එහි සිටි පෘතුගීසි කාන්තාවක් හා විවාහ වුනා. මේ දෙපළට ලැබුනු දරුවා තමයි  අපේ මේ කතාවෙ කතානායකයා පේදෲ ගැස්කොන්.


දෙවැනි රාජසිංහ රජ පුත් ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ කුමාරයා සමග කුඩාකල සිටම මිතුරු වූ දස්කොන්ට පසුව මේ කුමරා රජ වූ විට අදිකාරම් තනතුරකුත් ලැබුනා.කතාවට කියන්නේ නම් මේ ගැස්කොන් අධිකාරමයි නරේන්ද්‍රසිංහ රජ්ජුරුවොයි අතරේ සමරිසි සබඳකමක් තිබුනා කියලයි. ඒ හේතුව නිසාම රජ වාසලට නිතර යන්න එන්න පටන්ගත්තු ගැස්කොන්ට ප්‍රමිලා හමුවීමෙන් පස්සේ ඔවුන් අතර  සබඳකමක් ඇතිවුනා කියලා තමයි කියන්නේ.  කවියෙක් වුනු දස්කොන් දක්ශ කවියෙක්ලු.ඒ නිසාම කවිකමට උපන් හපන්කම් තිබුණු ප්‍රමිලා බිසවගෙ හිත ඔහුට බැඳුණු බවයි කියවෙන්නේ.




ඔය උඩරට පැත්තේ කතාවක් තියෙනවා තාමත්, මම අහලා තියෙනවා ප්‍රමිලා දේවිය හා දස්කොන් ලියූ පෙම් කවි වල ගණ දෝශ තිබුණු නිසා දස්කොන් අධිකාරමට වස් වැදුණා කියලා. ඒ නිසාලු රාජ උදහසට ලක් වෙන්ට ඒ ඇත්තට සිද්ධ උණේ....


ඇත්ත නැත්ත කොහොම වෙතත්  තවත් කතාවක් තියෙනවා නරේන්ද්‍රසිංහ රජු මිය ගොස් ඇත්තේද ලිංගිකව සම්ප්‍රේෂණය වන උපදංශ  (සිෆිලස්) රෝගයෙන් බවටත්. 


ඉතින් දස්කොන් එක්ක ප්‍රේමයෙන් බැඳෙන්ට ප්‍රමිලාටත් මොන මොනවා හරි හේතුත් තියෙන්ට නැතෑ.හැබැයි ඉතිං සමහරු කියනවා දස්කොන් අධිකාරමත් ඒ වගෙයි කියලා. ඒ කියන්නේ දස්කොන් අධිකාරමත් ස්ත්‍රීන් බොහෝමයක් සමග සම්බන්ධතා පැවත්වූ සල්ලාලයෙක් කියලා.රජු දස්කොන් අධිකාරම ප්‍රමිලා බිසව එක්ක පවත්තපු ප්‍රේම සම්බන්ධය දැන සිටි බවත්, අධිකාරම හා රජු අතර තිබූ මිත්‍රත්වය එහෙම නැත්තම් සමරිසි සම්බන්ධය නිසා රජු එය නොදන්නා ලෙස පසු වූවත්, රාජ සබාවෙහිටපු උඩරට රදල වරුන්ගෙ කුමන්ත්‍රණ නිසා රජු දස්කොන් කෙරෙහි හිත බිදගත් බවත්, කුමන්ත්‍රණ කරුවන් විසින් දස්කොන් අධිකාරම හා ප්‍රමිලා දේවිය එකිනෙකාට ලියපු විදියට සකස් කරපු තල්පත්  රජතුමාට අහුවෙන විදියට තැබූ බවත් තවත් කතාවකින් කියවෙනවා.


ඉන්පසු කොහොම කොහොම හරි මේ කතාව අවසන් වෙන්නේ දස්කොන් අදිකාරම හිසගසා දැමීමෙන් මරණයට පත් කිරීමෙන්.ඇත්තටම ඉතිං රජතුමාට තරහ යන තරමටම මේ දෙන්නගේ කාව්‍ය නිර්මාණ කාව්‍යාත්මක පෙම් හසුන් වෙන්ටත් ඇති නේද?


අනේ මන්දා ඇත්තටම මේ දෙන්නා අතර සම්බන්ධයක් තිබුණනම්, ලෝකෙටම පේන්න, මාළිඟාවෙ හැමෝමත් දැන ගෙන නරේන්ද්‍රසිංහ රජුටත් ආරංචි වෙන්න තරම් ප්‍රසිද්ධියේ මේ දෙන්නා කවි ලියා ගනීවිද? මට නම් ඒක ප්‍රශ්නයක්.


තවත් කතාවක කියැවෙනවා රජ බිසවට ඇති වෙච්ච රෝගයක් සඳහා ප්‍රතිකර්ම විදියට බලි යාගයක් පවත්වන්න සූදානම් කරලා බිසවගේ නිරුවත් බලි රූපයක් නිර්මාණය කෙරෙව්වලු නිර්මාණ ශිල්පියෙක් ලවා. වැඩ අධීක්ෂණය කරන්න ආපු අදිකාරම් මේ රූපයේ රහස් ප්‍රදේශයේ ඇති ලපයක් සලකුණු කෙරෙව්වාලු. පසුව රජතුමා රූපය දුටු විට තමා පමණක් දන්නා ලපයක් බලි රූපයට ආවේ කොහෙන්දැයි සොයාබැලීමේදී අදිකාරම්තුමා දස්කොන් අධිකාරම හා ප්‍රමිලා දේවියගේ සබඳකම හෙලි උණාලු.
ඒකෙන් බොහොම කෝපයට පත් රජතුමා දස්කොන් අධිකාරම හිසගසා මරා දමන්නට අණ කළාලු.



තවත් කතාවක් තමයි, මේ කාලයේ රාජසභාවේ හිටපු විදේශිකයෝ සිංහල රදලයන්ට, සංඝයාවහන්සේලාට විරුද්ධව කුමන්ත්‍රණ කල නිසා සිංහල රදලවරුන්, සංඝයාවහන්සේලා විදේශිකයන්ගෙන් පලි ගන්නට මාන බැලුවා. දස්කොන් අධිකාරම රජතුමාගෙ හිත දිනාගෙන හිටපු නිසා ඒකට ඊර්ෂ්‍යා කරපු රදලවරු ටිකකුත් රාජ සභාවෙ හිටියා.මෙන්න මේ අයගෙ කුමන්ත්‍රණයක් නිසා දස්කොන්ගේත් ප්‍රමිලාගේත් අසම්මත ආදරේ රජතුමාගේ කණට ගියා කියලා තමයි කියවෙන්නේ. අර මුලින් කියපු බලි රූපෙ කතාවත් දස්කොන් අධිකාරමට අටවපු උගුලක් කියලයි කියන්නේ රදළවරුන්ගේ උපදෙස් පිට....


කොහොම කොහොම හරි සිද්ධිය අවසන් උණෙ දස්කොන් අදිකාරම හිසගසා මරණයට පත් කිරීමෙන්. ඉන් පස්සේ ප්‍රමිලාට මොනවා උණාද කියලා කොහෙවත් සදහන් වෙලා තියෙනවා මට නම් දකින්ට ලැබිලා නැහැ.


ඒ වගේම ප්‍රමිලා දස්කොන්ට ලියුවා කියන කවි හෝ දස්කොන් ප්‍රමිලාට ලියුවා කියන කවි නම් මම කියවලා නැහැ.ඒවා තාම කියවන්ට පුළුවන් තත්වෙන් සුරක්ශිතව තියෙනවාද, නැත්නම් කට වහරේ පවතිනවාද ඒවා ගැන නම් මොකුත් මේ අරුන්දතී දන්නේ නෑ.
ඔය කිවුවෙත් මම අහලා තියෙන කරුණු ටිකක් විතරයි.....

Friday, December 9, 2011

මලිත්තිගෙ කතා...


මලිත්ති අවුරුදු තුනක තුන හමාරක විතර පොඩි ගෑණු ලමයෙක්... හරිම දඟ මල්ලක්...
හරිම හුරතල් සුදුම සුදු බෝලයක් වගෙ පොඩිත්තියක්....


මලිත්ති හිටියෙ ආච්චි මම්මලාගෙ ගෙදර. ඒ කියන්නේ තාත්තගෙ අම්මලාගෙ ගෙදර. එහෙත් හුඟක් කට්ටිය හිටියා. ආච්චිමම්මා, සීයා, පුංචි මම්මා, බාප්පා, ලොකු අම්මා තමා එහෙ හිටියේ.


ඉතිං මලිත්තිගෙ තාත්තා වැඩ කරපු කන්තෝරුව තිබුණෙ කොළඹ නිසා, එයා නම් ගෙදර ආවෙ සතියකට සැරයයි. මලිත්ති අම්මත් එක්ක ආච්චිමම්මලාගෙ ගෙදර පදිංචිවෙලා හිටියේ.


ඒ වගේම අම්මගෙ මහ ගෙදර තිබුණෙත් ඊට හුඟක් කිට්ටුවෙන් හන්දා දවල්ට එහෙ යන්ටත් මලිත්තිට පුළුවන් උණා.එහෙ අත්තම්මයි,අත්තප්පච්චියි දෙන්නත් මලිත්තිට හුඟක් ආදරෙයි.


අම්මා, අත්තප්පච්චිලාගෙ විරුද්ධත්වයත් නොතකා තාත්තාට ආදරේ කරපු නිසා පහු පහු වෙනකොට අත්තප්පච්චිලත් තමන්ගෙ විරෝධතාවය ඉල්ලා අස් කර ගත්තේ තමන්ගෙ එකම දුවගෙ හිත රිදවන්ට බැරි කමටයි.


ඒ උණත් ඉතිං තාත්තාගෙ හිතින් නම් පරණ කහට තාමත් අත හැරිලා නැති පාටයි. නැත්තම් ඉතිං අච්චර සෙනඟක් ඉන්න මහ ගෙදරම පදිංචි වේවිද, අර තරම් විසාල ගෙදරක අත්තම්මයි, අත්තප්පච්චියි දෙන්න විතරක් තනියම ඉඳිද්දී.


එහෙම උණා නං, අම්මාට නෑනලා එක්ක රණ්ඩු සරුවල් ඇති කර ගන්න වත්, ආච්චි මම්මාගෙන් ඇණුම් පද අහන්නවත් ඕනෙ වෙන එකක් නැහැනේ.... හැබැයි ඉතිං අම්මා නම් ඔය කොයි එකත් දරා ගෙන හිටියේ අප්පච්චිට තියෙන ආදරේ හන්දමයි.


ඔහොරිය අඳින අත්තම්මගෙයි, ලුංගිය අඳින ආච්චි මම්මගෙයි වෙනස පුංචි උණත් මලිත්තිට හොඳට තේරුණා. ආත්තම්මා කොහොමත් කරුණාවයි. ආච්චිමම්මත් අම්මට නපුරු උණාට මලිත්තිට පණ වගේ ආදරෙයි.


මලිත්තිගෙ අම්මා බුද්ධාගමේ උණාට තාත්තා කතෝලික ආගමේ. මලිත්තිටත් ආච්චි මම්මලා පුරුදු කළෙ පල්ලි යන්න විතරයි. මලිත්ති ගියෙත් පල්ලියේ මොන්ටිසෝරියටයි. ඒකෙ ඉන්න සිස්ටර්ලා, ටීචර්ලත් හරිම හොඳයි.මලිත්තිට ආදරෙයි.


මලිත්තිගෙ කටකාරකමයි, දඟකාරකමයි නිසත් මලිත්ති හරිම ජනප්‍රියයි මොන්ටිසෝරිය පුරාම. මලිත්ති ගැන නම් කියන්න දේවල් ගොඩයි.


දවසක් මලිත්ති ආත්තම්මගෙන් , ආත්තම්මගෙ කණ්නාඩි දෙක ඉල්ලලා හරිම පොරේ. ආත්තම්ම මලිත්තිගෙ සෙල්ලම් කණ්නාඩි දෙක එයාට දීලා එයාව සනසවන්ට හැදුවත් මලිත්ති නෙවෙයි රැවටුනේ. එයා අත්තම්මාගෙ කණ්නාඩි දෙකම ඉල්ලලා අඬන්ට පටන් ගත්තා කෑ ගගහා.නළව ගන්ටම බෑ.ආත්තම්මට ඒපාර කේන්තිත් එක්ක.


"කට වහ ගත්තේ නැත්තම් දෙනවා දෙකක් මම දන්නවද හුරතලේ යන්ටත් එක්ක"


අත්තම්මා සැර දැම්මා මලිත්තිට. ඒ පාර මලිත්ති කට වහගත්තා.
අත්තම්ම හිතුවා බයට වෙන්ට ඇති කියලා. නමුත් ඊලඟ මොහොතේ මලිත්ති අඬන්ට ගත්තේ අර ඉස්සරලා ඇඬුවා වගෙ දෙගුණයක් සද්දේට. අත්තම්මා පුදුම උණා.මලිත්ති දැන් අඬන්නේ කණ්නාඩි දෙක ඉල්ලලා නෙවෙයි.


"ආත්තම්මා අර දෙනවාකියපු දෙක දෙන්ට...."


එහෙම කිය කියා තමයි මලිත්ති දැන් අඬන්නේ... ආත්තම්මට හොඳටම හිනා.


මේ වගෙ මලිත්තිගෙ කතන්දර තව ගොඩක් තියෙනවා....

දස්කොන්ගෙන් ප්‍රමිලාට......
























පුරහඳ මුහුණ සඟවා පපුතුරේ වෙළී
සුසුමක් උණුහුමට තවරා දෙතොලෙ රැඳී
ඉවසුම් නැතිව කොපුලත කඳුළක් තැවරී
සිල් සිත බිඳුණි සිටි නුඹ නමටම පේවී.....


තහනම් උණත් ප්‍රේමය නුඹ නමට බැඳී
දිවි දෙන්නට උණත් උපදින සසර යළී
අතහැර නොයමි යළි ඔබවම පතා එමී
කෙළෙසක බඳින්නද මන්මත් හිතට බැමී.......


රුව දුටු දිනම හදවත ඔබ වෙත යාවී
බැඳි පෙම නිසා යන්නට සිදු විය වෙන්වී
මම යන ගමන යළි එන්නට බැරි වේවී
හෙට සිට ඉතින් නුඹ තනි වෙනවා දේවී......


කඳුළැලි ගලනු දැක නුඹෙ නෙතඟට බෝවී
මගෙ හිත රිදෙනවා නුඹ තනි වෙන බව සිහිවී
ප්‍රමිලා නොහඬන්න පෙම්බර සීදේවී
උපදින මතු භවෙත් මම ඔබගෙමයි දේවී.......

සරෝජා 01


සරෝජා ඇනා මාරියා ෆර්ඩිනෑන්ඩස්....සහෝදරියන් තිදෙනෙක් හා සහෝදරයෙක් ඉන්න පවුලේ වැඩිමල්ම දරුවා.ඒ හින්දා එයාට පවුලේ වගකීම් වලින් නම් අඩුවක් තිබුණේ නෑ.


මම එයාව අඳුන ගන්නකොට එයාගෙ වයස අවුරුදු 15 ක් විතර ඇති. හරිම අහිංසක සරෝජාට කේන්ති යන්නේ හරිම කලාතුරකින් තමයි.ඒ වෙනකොටත් කුස්සියේ අත් උදවුවට අම්මත් එක්ක හරි හරියට වැඩ කරපු සරෝජා තමයි බෑ නොකියා නංගිලා මල්ලිලාගෙත් වැඩ කලේ.


තාත්තා...නෑ සරෝජාගෙ පප්පා වැඩ කළේ ස්ටේෂන් මාස්ටර් කෙනෙක් විදියට.මම්මා නම් ගෙදර ඉඳන් ළමයින්ගෙ වැඩ කටයුතු බලා කියා ගත්තා.අනේ මන්දා..ඇත්තටම එහෙම කිවුවට මොකද සරෝජා තමයි නංගිලා මල්ලිලා ටික ඔක්කොම බලා කියා ගත්තේ.අම්මටත් ඉතින් සමාජ සේවා කටයුතුයි, පල්ලියෙ වැඩයි හින්දා තමන්ගෙ ළමයි ටික හදා වඩා ගන්නත් වෙලාවක් නැති උණා නේ.


සරෝජලාගෙ පවුල, අහල පහල අය හැඳින්නුවේ බර්ගර් පවුල කියලයි.ඇත්තටම එයාලගෙ පප්පා හම්බ කරන පඩිය සෝබන වැඩ වලටයි,අදින්න පළඳින්නයි,කෑමටයි ඇති පදං අත දිග හැරලා වියදම් කලා මිසක් ඉතුරු කිරිල්ලක් ගැන මම්මටයි පප්පටයි මතක් උණේවත් නැති ගානයි.
අනිත් අතට ඉතිං ලමයි පස් දෙනෙකුට කන්න අඳින්න,ස්කෝලෙ යන්න වියදම් කළහම ඉතුරු කරන්න කියලා කීයක්වත් ඉතුරු නොවුණ එකත් පුදුමයක් නෙවෙයිනේ...


මොනවා උණත් සරෝජා නංගිලා මල්ලිලාගෙ වැඩ, ගෙදර වැඩ කරන ගමන් තමන්ගෙ පාසල් වැඩ කටයුතුත් හොදට කරගත්තා.
ඉරිදට මම්මත් එක්ක නංගිලා මල්ලිලාත් අඬගහගෙන පල්ලිත් ගියා.ඒ වගේම මම්මත් එක්ක මාර්කට් එකට, එළවළු ගේන්නත් ගියා.


මම මේ ඔයාලට කියන්න හදන්නේ අන්න ඒ සරෝජාගේ... සරෝජා ෆර්ඩිනෑන්ඩ්ස් ගේ ජීවිත කතාව......
දුක විතරක් නෙවෙයි සතුටත් එයාගෙ ජීවිතේ තිබුණා......අපි කියවලාම බලමු නේද.....?

Thursday, December 8, 2011

වසන්තයේ දවසක්......
























වසත් කළෙක මන මදිරා
පැහැද දිළෙන ලොව අරුණා
උදා ගිරෙන් හිරු පිපෙනා
පොළව සිඹින හිරු කිරණා...


මිහිලිය මත දුල නෙතිනා
සිහිල් පවන ගත වෙළෙනා
පිපී දිලෙන මල් මතිනා
ගුම් නද දේ වන බඹරා....


නිලට නිලේ ඇද හැළෙනා
මන බඳිනා දිය දහරා
සුර දෙව් ලිය ගත වසනා
දුහුල් සළුව සේ දිසෙනා......


කීචි බීචී ගී ගයනා
කුරුළු රෑන් තුරු මතිනා
පියඹා යන 'යුරු සොබනා
සිතුවම් වැනි හද ඇඳෙනා....


තුරු පත් මත දඟ කරනා
සුදු සඳ රැස් දිය දහරා
ගෙනේ හදට රස කරුණා
සොබා අසිරි සිරි මවනා......

Wednesday, December 7, 2011

ප්‍රමිලා දේවියගෙන් දස්කොන් අධිකාරමට.............


සබඳ නුඹ දස්කොන් සකී
බිසෝ ප්‍රමිලා මම වෙමී
ප්‍රේමයද තහනම් වදනකී
නමුත් කෙළෙසක හැඟුම් සිඳිනෙමී.....


හොර රහසේ බඳි ප්‍රේමය ලොවට වැහී
අඳුරු ලොවට සඳ එළියක් වගේ වුණී
අහිමිව ගියා නුඹ හිමි වූ එක සැනිණී
ප්‍රේමය විස වුණිද දස්කොන් හිමි සඳුනී.........


නුඹ හන්දා උණු කඳුළැල් ගලනු දැනී
මතකය මවයි උණුසුම අපි එක්ව විඳී
සක්මන් මළුව පාළුයි අද නැතුව අපී
මං හින්දා දිවි දෙනවද අහිමි හිමී........?

Tuesday, December 6, 2011

අහිමි ප්‍රේමය....




































කැළුම් දෙවමින් අසිරි විහිදන
නේක පැහැ විදුළි එළි මල් පිපෙන
උත්සව ශාලා කොණක ගිළිහුණ
ලිලී මල මම හොරෙන් වැළපෙන.....


නග්ගවා පෝරු පිට, තැලි පිළිද අන්දන
තෙමා දෑඟිලි රන් හුයෙන් බැඳ, මුඳු පළන්දන
මොහොත ඇවිදින් සුභ නැකත උදාවන
ඇතෙක් බර වස්තුවද ගෙන ඇය වඩින......


ආසිරිත් සිලෝ ගී පද ගැයෙන
දිස්න දෙන පාට එළි අතර, විසිරුණ
කැමරා එළිද වහ වහා දැල්වෙන
කිම අරුම මම මැරි මැරී විඳවන.....


හීනයක් සේ හිතේ කැටි වුණ
මතක හිත ආපස්සටම අද්දන
මගේ හිත දැවි දැවී විඳවන
නමුදු මම ඉමි සිනාසීගෙන....


ප්‍රේමයම මදි නිසා, ජීවිතේ ගෙනියන්න
ඇතෙක් බර වස්තුවත් අරන් ඔබවෙත එන්න
නොහැකි වූ නිසා මට සිදු වුණෙන් වෙන් වෙන්න
ඇය ඇවිත්, ඉඩ කඩම් දේපළත් ගෙන සොඳින.....


පතන්නම් පෙර සේම, උදාවන ඉදිරි දින
ලැබේවා නුඹෙ දිවියට සියළු දෙවි රැකවරණ
නොඒවා සෝ තැවුල් කිසි දිනෙක, හිත රිදෙන
වාසනා වී දිනේවා යුග දිවිය, අද උදාවන.......  

Thursday, December 1, 2011

සමාජ ශාලා නළඟන


සලෙළ දන නෙතු අස
ගැස්සෙනා ඉඟ, ළැම හස
අඩක් නොවැසුණු ගත මිස
කෙසේ පෙනෙනුද  ඇගෙ ආත්මය....

ජීවිතය දරුණු කළ
දිළිඳුකම, අගහිග
වියළී ගිය තන අග
කිරි කොහිද පුතු හට.......

නොමඟ ගිය හිමි සඳ
බලා එන්නට සපිරි ගෙදරට
යන්න කෝ කාසි අත මිට
කාගෙ පිහිටක් වේද හට........

විදුලිය සේම දිදුලන
ගිනි සිළුව සේ සසැලෙන
ගත සරාගික හැඩ තල
එයයි ඇය සතු එකම වත්කම........

පාරවා රඟ මඩල - නිරුවතම මිල කරන
රඟන රංගනය තුල - සරාගී බව සොයන
බීමතින් වෙළෙවි දන - ඉන ඉහත් අතගා බලන
ලජ්ජාව පසෙක ලා - උගස් කල ජීවිතය.....

තනපටය තුල එබූ මොණර කොළ ලඟ
යළි යළිත් පිරිසිදේ ජීවිතය මේ ලෙසට
සන්තෝසමත් නරක නෑ නොවෙද
වැටුපටත් අමතරව වෙරිමතින් වුව බෙදන........

ඉඩෝරෙට අහු වෙච්ච ජීවිතය කර්කශව
තෙමාලන්නට සිහිල් වැස්සකුත් නැති කලට
දරාගන්නට නොහැකි තැන අගහිග,
මෙයයි ලද එකම වෘත්තිය..............