Tuesday, February 19, 2013

පොලිස් කතාවක්...

එදා විලච්චි ගිය දවසේ පරණ කතා ටිකක් අහන්න ලැබුණා කියලා කිවුවනේ මම. මේත් එයින් කතාවක්. හැබැයි ඇත්තටම මේ කියන සිද්ධිය සිද්ධ උණා කියලා මිසක් රස කරන්න මේකට දාල තියෙන කතා ඇත්තද මම දන්නේ නෑ. අහපු දැකපු අය නම් කියනව ඇත්ත කියලා. මේ සිද්ධිය වෙලා තියෙන්නේ 1997 අවුරුද්දේ.. අනුරාධපුර පොලිස් ස්ථානයේ.

අනුරාධපුර පොලිස් ස්ථානය තියෙන්නේ කච්චේරිය ඉස්සරහා. ටවුන් එක මැද හරියෙ වගේ. සේනානායක මාවත පොලිසිය ඉස්සරහින්, පිටිපස්සෙන් රේල් පාර. රේල් පාරට එහා පැත්තේ පොලිසියේ නිල නිවාස. එතනින් එහා තමයි සේරම වගේ ස්කෝල ටික තියෙන්නේ. ඒ කාලේ පොලිස් ස්ටේෂන් එක ඇතුලෙමයි පොලිස් අධිකාරි කාර්යාලය තිබිලා තියෙන්නේ. පොලිසියේ ප්‍රධාන ගොඩ නැගිල්ලට එහා ගොඩ නැගිල්ලක උඩ තට්ටුවේ. 

ඔන්න එක දවසක් පොලිසිය ඇතුලෙ එක දිගට වෙඩි සද්ද ඇහෙනවලු. කට්ටිය හැමෝම කලබල වෙලා. ඔන්න ඒ අස්සේ කතාවක් යනවලු පොලිසියට කොටි ගහනවා කියලා. ඒ දවස්වල කොටි කළබලත් තිබුණු දවස් නිසා හැමෝම (පොලිස් නිලධාරින්ද ඇතුළුව) හොඳටම කළබල වෙලා. පණ බේර ගන්නයි ට්‍රයි එක. පොලිසියේ මහත්තුරුයි, වැඩ කරගන්න ඇවිත් හිටපු අයයි සී සී කඩ දුවනවලු. වටේ පිටේ ඔෆිස්වල අයත් එහෙමලු. සමහර පොලිස් නිලධාරින් නිල ඇඳුමින් තමන් පොලිසියේ කියලා දැන ගනියි කියලා බයට ඇඳුම් ගලව ගලවා දුවනවලු ගෙවල් අස්සෙන් තාප්ප උඩින් රේල් පාර දිගේ එහෙම. ඔය දුවපු කීප දෙනෙක් කාන්තා විද්‍යාලය ඇතුලටත් රිංගලා වැඩ කර කර හිටි බාස්ලා එක්ක බදාමත් ඇනුවා කියලයි ආරංචිය..

පොලිස් අධිකාරි කාර්යාලය ඇතුලෙත් එක ගිණි විජ්ජුම්බරයක්ලු. එක මහත්තයෙක් පණ බේර ගන්න හිතාගෙන නැග්ගලු ෆයිල් කබඩ් එකක් දිගේ සිවිලිමට. නැගලා බලද්දි එයාටත් කලින් වයසක චීෆ් ක්ලාර්ක් මහත්තයා නැගලා ඉඳගෙන ඉන්නවලු සිවිලිමේ. මෙයාව දැක්ක ගමන් ඇහුවලු "ආ.. උඹත් ආවද?"  කියලා. එක නෝනා කෙනෙක් ජනේලෙන් වහලයක් උඩට පැනලා ක්වාටර්ස් එකට දිව්වලු. එතන වහල හුඟක් පාතයිලු. බහින්න නගින්න පුලුවන්ලු එතන තියෙන කණ්ඩියකට අඩිය තියලා. එත් කලබලේට එයාගෙත් කකුල ලිස්සලා, ගෙදර ගිහින් බලපුවාම කකුලෙ ඇටේ පුපුරලාලු.එයා අදටත් ඇවිදිදි කොර ගහනවා. ඒක නම් මම දැකලා තියෙනවා.තව නෝනා කෙනෙක් මේසේ යට හැංගිලාලු. ඔලුව මේසේ යට, පස්ස කෑල්ල එළියේ. හරියට පැස්බරා වැලි යට ඔළුව ගහගන්නවා වාගේ.මට නම් මැවිලත් පෙනුණා කතාව අහද්දී.තව ඔෆිස් එකක සරප් නෝනා කෙනෙක් දුවලා තියෙන්නේ සල්ලි පෙට්ටියත් මේසෙ උඩ ඇරලා දාලලු.

තවත් කට්ටියක් දුවගෙන ගියාලු පිටිපස්සේ කම්බි වැටෙන් රේල් පාරට  පැනලා කොහෙ හරි දුවලා පණ බේර ගන්න. ඒ දුවපු කෙනෙක් ඒ ගැන මාත් එක්ක කිව්වේ මෙහෙමයි.

" දුවගෙන ඇවිත් කම්බියක් පාගලා අනිත් පොට ඉස්සුවා එහා පැත්තට පනින්න හිතා ගෙන . ඒත් මොන... පැන ගන්න බැරි උණා සෑහෙන වෙලාවක් යනකන්. අපි කම්බිය උස්සනකොට එකෙක් සිං ගාලා ගියා.ඒට පස්සේ තව එකෙක් ගියා. ඒටත් පස්සේ තව එකෙක්. අපිට පෙනුණෙ යනව කියලා විතරයි. අපිට පස්සෙන දුවගෙන ආපු අය වේගෙ වත් අඩු නොකර කම්බියෙන් පැනලා ගියේ. අපිට උණෙ කම්බිය උස්සන් ඉන්නයි සෑහෙන වෙලාවක්"

තව ඔතන හිටිය උසස් පොලිස් නිලධාරියෙකුත් දුවගෙන ගිහින් පිටිපස්සේ නවත්තලා තිබ්බ ලොරියක ට්‍රේලරේකට වෙලා හැංගුණාලු. නිකන්ම නෙවෙයි "හා..හා.. ඔය ලමයි මෙතන මොකද කරන්නේ යන්න යන්න" කියලා එතන හැංගිලා හිටපු අනිත් කට්ටියවත් එළවලා. හැබැයි ඉතින් මතක් කරන්න ඕනෙ අපේ පොලිස්පතිතුමාව. එතුමා තමයිලු ඒ දවස් වල අනුරාධපුර කොට්ඨා‍ශය භාර ජේ‍ෂ්ඨ පොලිස් අධිකාරි තුමා විදියට රාජකාරි කරලා තියෙන්නේ. එතුමා හිටියෙත් අර කියපු පොලිසිය ඇතුලේ පොලිස් අධිකාරි කාර්යාලයේ. "කිසි කෙනෙක් දුවන්නත් එපා. හෙල්ලෙන්නේ නැතුව ඉන්න " කියලා නියෝග කරපු එතුමා තමන්ගෙ පිස්තෝලෙත් අරන් බිත්තිය අයින දිගේම ගියාලු ප්‍රධාන ගොඩනැගිල්ල ඉස්සරහා ගේට් එක ලඟට. ගිහින් වෙඩි තියන්න පටන් ගනිද්දිම වගේ පොලිසියට පැනලා වෙඩි තිබ්බ පුද්ගලයා දුවගෙන යන්න පටන් ගත්තලු පාර දිගේ මහ රෝහල දිහාට. නිකන්ම නෙමේ වටේ පිටේ හිටිය පොලිස් නිලධාරින්ටත් වෙඩි තිය තියා. කොහොම කොහොම හරි අනුරාධපුර උසාවිය ඉස්සරහදි මේ පුද්ගලයට පොලිස් නිලධාරින් විසින් වෙඩි තැබීම නිසා මේ පුද්ගලයා ජීවිතක්ෂයට පත් උණා. මේසිද්ධියෙන් අනුරාධපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරපු ග්‍රාම ආරක්ෂක නිළධාරිනියක් මරණයට පත් උණා. මට මතක විදියට නම් අනිත් කීප දෙනෙකුට තුවාල සිද්ධ උණා ඇරෙන්න වෙනත් ජීවිත හානි සිදු උණේ නෑ..

පස්සෙ ඉතින් බලනකොට මේකට කොටි ත්‍රස්තවාදින් සම්බන්ධ නෑ. මේ වෙඩි තියපු පුද්ගලයා හමුදා නිලධාරියෙක්. මේ පුද්ගලයාට විරුද්ධව කාන්තාවක් පොලිසියට පැමිණිලි කරලා තියෙනවා ඒ පුද්ගලයා තමාට ලිංගික අතවරයක් කළ බවට. ඉන් පසුව පොලිසිය විසින් එම කාන්තාව අනුරාධපුර මහරෝහලට යොමු කරලා තියෙනවා වෛද්‍ය වාර්තා ලබා ගැනීමට. ඒ පැමිනිල්ල විභාග කිරීම සඳහා මේ හමුදා නිලධාරියාව පොලිසියට ගෙනත් තිබුනේ ඔහු සේවය කළ කඳවුරේ සිටම, යුද හමුදා නිල ඇඳුමින්මයි. ඔහුගෙන් ඒ පිළිබඳව කට උත්තර ගනිද්දි පොලිසියේ සුළු පැමිණිලි අං‍ශය ඇතුලත ඔහුට සමච්චල් වචනද භාවිතා උනාලු. එක නිලධාරිනියක් කිව්වලු" අට පාස් අය ආමි එකට ගත්තාම ඔය වගේ දේවල් වෙන එක අහන්නත් දෙයක්ද"  කියලත්. නිල ඇදිමින් හිටි සෙබළාට මාංචු දාල තිබිලත් නැහැ. ඔහු ඉල්ලිමක් කරලා තියෙනවා ඔහුගෙ නිල ඇඳුම මාරු කර ගත යුතුයි කියලා. ඒ ලැබුණු අවසරයෙන් තමා ගෙන ආ ජීප් රථය අසලට ගිය ඔහු එහි තිබූ තම රාජකාරි ගිණි අවිය රැගෙන කෙළින්ම ගොස් ඇත්තේ පොලිසියේ අපරාධ අංශයටයි. තමාට සමච්චල් කළ නිලධාරින් ඔහුගේ ඉලක්කය උණාලු. තමන්ට වෙඩිතියන එක වලක්වා ගන්නට හැම පැත්තටම වෙඩි තියමින් ඔහු උත්සාහ කලේ මහරෝහලට ගොස් එහි නේවාසිකව සිටි පැමිනිල්ල දැමූ කාන්තාව ද මරා තමගේ ද දිවි නසා ගන්නලු. ඒත් ඊට පෙර එම හමුදා නිලධාරියා පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත් උණා. 

ඒත් ..මේ කතාවේ සලකා බැලිය යුතු කොටස  මෙයයි. එම හමුදා සෙබළාට විරුද්ධව පැමිණිල්ල දැමුවා යැයි කියන කාන්තාව තම රැකියාව ලෙස ලෝකයේ පැරණිම රස්සාව කරණ කෙනෙක්ලු. යුද හමුදා අතරමැදි කඳවුරක් අනුරාධපුරයේ තිබෙන නිසා මේ වගේ අය අනුරාධපුරයේ ටිකක් වැඩියිලු. මේ හමුදා සෙබළාත් කීප වතාවක්ම මීට පෙරත් නිවාඩු යන එන අතරමගදී මේ කාන්තාව හමුවී තියෙනවාලු. අවසන්වරට හමුවූ අවස්ථාවේ මෙම කාන්තාව, මේ සෙබළාගේ පසුම්බිය, මාසික වැටුප සම්පූර්ණයෙන්ම ඇතුලත්ව තිබියදී සොරා ගත් බවත්, ඒ පිළිබඳ විමසීමේදී ඇතිවූ ගැටුම දුර දිග යාම නිසා අදාල කාන්තාව විසින් තමා කළ වරද වසා ගැනීම සඳහා සෙබළාට විරුද්ධව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ පැමිනිල්ලක් දැමූ බවත් තමයි කියැවෙන්නේ..

මේ ඔක්කොම සිද්ධ උණාට පස්සේ පරිසරය ටික ටික සංසුන් වෙද්දී, දුවපු කට්ටිය එකා දෙන්නා එනවලු ආපහු පොලිසිය ඇතුලට. පොලිසියේ අය විතරක් නෙවෙයි ඔෆිස් එකේ අයත් එනවලු එහෙම. ඒ වෙද්දී ගේට්ටුවේ මුරට හිටිය රාලහාමිලා එහෙම වෙනස් කරලා අළුත් අය දාලලු මුරට. ඒ නිසා මේ ආපහු එන අය පොලිසියේ උණත් අනන්‍ය තාව තහවුරු කරලා තමා ඇතුලට යන්න ඕනේ. ඔන්න ඉතින් ඔය විදියට දුවපු එක මහත්තයෙකුත් එනවලු ආපහු. වැටවල් වලින් පැනලා දිව්වා උනාට ඉතින් ගේට්ටුවෙන්ම ඇතුලට යන්න එපැයි. මෙයා ආපහු එද්දි මුරට හිටිය අය වෙනස් වෙලා. ඒත් ඉතින් "බය වෙන්න දෙයක් නෑ අයිඩින්ටිය ක්ලිප් කරල තියෙනවනේ ෂර්ට් කොලර් එකේ. ඒක පෙන්නන්න විතරයි තියෙන්නේ ඇතුලට යන්න පුලුවන්". මෙහෙම හිතපු මේ මහත්තයා වැඩි හොඳට ක්ලිප් එක කොළර් එකෙන් ගලවලා අරගෙන ගේට්ටුවේ රාළහාමිට උස්සලා පෙන්නුවා. "මම මේ ඔෆිස් එකේ වැඩ කරන්නේ" කියලා. අනේ ඉතින් මොන තරම් සීරියස් මූඩ් එකක හිටියත් ගේට්ටුවේ හිටිය රාලහාමිලා දෙන්නටම හිනාව නවත්ත ගන්න බැරි උනාලු. එතකොටයි මහත්තයා බලලා තියෙන්නේ ඇයි හිනාවෙන්නේ කියලා. බලද්දි, දුවනකොට අයිඩින්ටිය වැටිලා. ක්ලිප් එක විතරයි ෂර්ට් කොලර් එකේ ඇමිණිලා තිබිලා තියෙන්නේ..

මේ කතාව මම "ලු" ප්‍රත්‍යයෙන් කිවුවේ මේ කිසි දෙයක් මම දැකපු නැති හින්දයි. අහපු දේවල් විතරයි මේ....

34 comments:

  1. මේ ඔයාට ශුවර්ද ඉස්කෝල ඔක්කොම තියෙන්නේ පොලිසිය පිටිපස්සේ කියලා ආ.... :D

    ReplyDelete
    Replies
    1. ආ..ආ.. ඔක්කොම කිවුවට ඔක්කොමත්ම නෙවෙයි ඉතින් :P එකක් දෙකක් වෙන වෙන තැන් වලත් තියෙනවා :D

      Delete
  2. කතාව 'ලු' උනාට නියමෙට ලියල තියෙනව, වැඩේ මැවිලා පේන්නම... හිනාවෙලා පණ ගියා... දැන් මෙහෙම හිනා උනාට ඒ කාලෙ ඔහොම දෙයක් අපට උනා නම් අපිත් දුවයි සාරි කරේ තියාගෙන... කොයි මිනිහත් පණට ආදරෙයිනෙ... අර කම්බි වැට අල්ලන් හිටිය සිද්දිය තමයි නියම... :D

    එච්චර විනාසයක් වෙන්න මුල් වුනු සිද්දිය ඇහුවම නම් හිතට දැනුනෙ කළකිරීමක්....

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් මියුරු අපි දැන් ඕක අහලා හිනා උණාට අපිත් හිටියනම් එහෙම ඒ දවස්වල කවුද දන්නේ ඔයිට වැඩිය විකාරයක් කරයිද කියලා මරණ බයට...

      Delete
  3. මට යාන්තම් මතකයි ඔය සිද්ධිය. ඕකත් අහන්න දෙයක්ද. සෙන්ට්‍රල් බෑන්ක් එකට බෝම්බ දාන්න ඉස්සෙල්ල උන් වෙඩි තිබ්බා නේ. කොටුව හොස්පිටල් ස්ට්‍රීට් එකේ හිටපු කොස්සෝ දිව්වේ ලන්කට් පිටින්.

    ReplyDelete
    Replies
    1. මෙහෙත් දිව්වේ එහෙමලු අනේ....

      Delete
  4. මරණ බය කාටත් පොදුයි නේ. ඒත් මේ කතාව ඇත්තක් නම්... හිතන්න දේ කොච්චර තියනව ද ඒක ඇතුලේ.

    ReplyDelete
    Replies
    1. වැරදි කාරයෝ ගොඩක් ඉන්නවා මේ කතාවේ...

      Delete
  5. කොහොම මරණ බයක් දැනෙන්න ඇතිද...හි හි හි

    ReplyDelete
    Replies
    1. ඒකනේ... කොහොම හරි පණ බේරගන්න එකයි ඉස්කෝලෙ ගිය ලමයි ගැනයි තමා හැමෝටම හිතිලා තියෙන්නේ... අපිත් එතකොට ඉස්කෝලෙ යනවා.

      Delete
  6. විලිලැජ්ජාවයි සංතෝසෙ බෑ.

    ReplyDelete
    Replies
    1. දැන් තමයි හිනා යන්නේ... ඒක විඳපු අයට ඒ වෙලාවෙ කොහොම දැනෙන්න ඇද්ද?

      Delete
  7. හම්බේ කොයි බයත් මරණ බයට පරාදයිනේ. මට මතක් වුනේ ශ්‍රී මහා බෝධියට කොටි ගහනකොට මිනිස්සු දුවපු හැටි

    ReplyDelete
    Replies
    1. ආ.. ඔයත් හිටියද ඒ කාලේ? නැත්නම් වීඩියෝ දැක්කද? :O

      Delete
  8. පරණ කතාවක් බොහොම අගේට ලියලා තියනවා..ඇත්තටම අපි ඒ වගේ යුගයක් පසු කළා යන්න අද අමතක කරලා ඉන්න එක මොනතරම් වැරදිද?

    ReplyDelete
    Replies
    1. සිංහල මිනිස්සුන්ට හැම දෙයක්ම ඉක්මනින් අමතක වෙනවලුනේ. ඒත් මේ දුක විඳපු මිනිස්සුන්ට නම් ජීවිතේ තියෙනකල් අමතක වෙන්නේ නැති වේවි

      Delete
  9. පොලිස් පුහුනුවේදි උන්ඩ 5 වත් වෙඩි තියන්න ලබෙන්නෙ නෑ ඉතින් උන් වරදිද

    ReplyDelete
    Replies
    1. වැරදියි කියලා කිවුවා නෙවෙයි අනේ.. පුහුණුවක් ලැබුණත් සාමාන්‍ය රාජකාරියෙදි, ගිණි අවි භාවිතා කරන්න අවසරයක් නෑ මම දන්න තරමට නම් පොලිසියට... ඉතින් මොනා කරන්නත් ඉස්සෙල්ලා තමන්ගෙ පණ බේරගන්න එපැයි.

      Delete
  10. පොලිසියෙන් මීටත් වඩා එඩිතර කමක් බලාපොරොත්තු වෙන්න බැහැ. කතා කරන විදියත් ඊටත් වැඩ හොඳ වචන බලාපොරොත්තු වෙන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. කතා කරන විදිය නම් ඔහොම තමයි හුඟක් තැන් වල. එඩිතර කම ගැන කියනවනම් ඉතින් ඒ කාලෙ අනුරාධපුර කොට්ඨාශෙ ජේෂ්ඨ පොලිස් අධිකාරි විදියට වැඩ කරපු අපේ දැන් පොලිස්පති තුමා ඒ වෙලාවෙ හැසිරුණු විදිය ගැන අදටත් කට්ටිය කතා වෙනවා. යකෙකුටවත් බය නැති විදියට හැසිරුණෙ ඒ වෙලාවෙ කියලා...

      Delete
  11. අනේ අක්කියෝ...ලෝකේ පරණම රස්සාව මොකක්ද කියන්නකෝ.....මම හෙවුවා හොයාගන්න බැරි උනානේ...

    ReplyDelete
    Replies
    1. අනේ දසුන් මල්ලි චූටි බබෙක් නේ.. :D

      ලෝකෙ පරණම රස්සාව ගණිකා වෘත්තියලු මම අහල තියෙන විදියට නම්..:P

      Delete
    2. අම්මප දන්නේ නැති කමට ඇහුවේ....ස්තූතියි අක්කියෝ

      Delete
  12. ශා .. නියම බ්ලොග් අඩවියක්... අද තමයිඕ මෙහෙට ගෝඩ උනේ. හිමින් හිමින් ඔක්කොම කියවන්න නැවත එන්නම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයිලාස්.. ආදරයෙන් පිළිගන්නවා ඔයාව..

      Delete
  13. පොලිසියෙ රක්සාව කළා කියල ජීවිත බය නැති වෙනවයි නේ..?

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත වර්ෂා.. ඔය කවුරුත් මනුස්සයොනේ.

      Delete
  14. ඇත්තටම ඒ කාලෙ සාමාන්‍ය පොලිසියට යුද්දෙකට මූණ දෙන්න පුහුණුවක් තිබුනෙ නෑ. අනුරාධපුරේට කොටි ගහලා ආපහු යනකොට නොච්චියගම පොලීසියෙ කස්ටිය දුවලා ගිහින් වැවකට පැනලා නෙලුම්කොල අස්සෙ හැංගුනා කියලා ඉස්සර ඒ පැත්තෙ මිනිස්සු කියනවා. එක කොස්තාපල් කෙනෙක් විතරක් ටවුමෙ ඉඳලා කොටි යන වාහනේට වෙඩි තිබ්බලු.

    ReplyDelete
    Replies
    1. ඔය කතාව මාත් අහලා තියෙනවා ගාමිණි අය්යේ.. කොහොමත් පොලිසියේ ට්‍රේනිං එක මාස 06යි. ඒත් 2006 ඉඳන් 2009 වෙනකල් බඳවාගත්තු අයට ඒකත් නෑ මාස 02යි පුහුණුව. දැණුයි අඩුපාඩු සම්පූර්ණ කරලා ෆුල් ට්‍රේනිං එක දෙන්නේ...

      Delete
  15. බෙලි ගෙඩිය වැටුණු සද්දෙට ලෝකේ පෙරලෙනවා කියලා දිව්ව හාවා ඇතුළු සත්තු සෙට් එකගේ කතාව මතක් වුණා :P

    ReplyDelete
    Replies
    1. අන්න ඒ වගේ තමා හසිත.. ඒත් ඒ වෙලාවෙ නරක වෙලාවක් තිබිලා වෙඩිල්ලක් වැදුනනම් එහෙම කියලා හිතන්නැති කට්ටිය.. :D

      Delete
  16. he he, matath mathakayi, eda wenna one. api iskole mese yatata wela hitiya. ape miss ehema thama apita inna kiuuwe.. :D

    ReplyDelete