මලිත්ති අත්තම්මලාගෙ ගෙදර යනකොට
අත්තම්මයි, අත්තප්පච්චියි දෙන්නම පේන්ට
නැහැ.
" කෝ ඇසිලින් අම්මලා?" කියලා
ගෙදර අත්උදවුවට හිටපු
ගෑනු කෙනාගෙන් ඇහුවෙ
මලිත්තිගෙ අම්මා.
"ඔන්න උඩහ ඉන්නවා
සුදු මැණිකේ, පැළ
වගයක් හිටෝනවා මයෙ
හිතේ" ඇසිලින් උත්තර දුන්නා.
අම්මා මලිත්තිවත් ඉස්සර කරගෙන
උඩහට ගියා.අත්තම්මයි
අත්තප්පච්චියි පැළ හිටවනවා.
"ඔන්න චූටි මැණිකෙට
ගෙඩි කන්න අපි
අලිගැටපේර පැළ ටිකක්
ඉන්ඳුවා." අත්තප්පච්චි හිනා වෙවී
මලිත්තිට කිවුවා.
"පැළ හිටෙව්වම මොකද වෙන්නේ
අත්තප්පච්චි?"
"පැළ හිටවලා වතුර
දැම්මම පැළ මුල්
ඇදලා, දළු දාලා,
ලොකු වෙනවා. ඒට
පස්සේ මල් පිපිලා
ගෙඩි හැදෙනවා."
අත්තප්පච්චි මලිත්තිට කියලා දුන්නා.මලිත්තිත් හොඳ කල්පනාවෙන්
අහගෙන හිටියා.
"පැළ විතරද හිටවන්නේ
අත්තප්පච්චි?"
"නෑ පුතේ, සමහර
වෙලාවට අපි ඇට වර්ගත් හිටෝනවා."
" ආ.. ඔයා ආව
එක හොඳයි.යමුකෝ
ගෙදර. මට තියෙනවා
චූටි මැණිකෙට සතුටු
හිතෙන දෙයක් පෙන්නන්ට"
අත්තප්පච්චි මලිත්තිගෙ අතින් අල්ලගෙන
ගෙදර ගියා.
අත්තප්පච්චිලාගෙ
ගෙදර හිටපු සුදු
හාවිට පැටවු හම්බ
වෙලා. චූටි බෝල
පැටවු තුන් දෙනයි.
මලිත්තිට හරි සතුටුයි.
"අනේ.....
ෂෝයි...අත්තප්පච්චි."
මලිත්ති
සතුටෙන් උඩ පැන්නා.
මලිත්තිට එහෙම්මම හා පැටවු
දිහා බල බලා ඉන්ට ඉඩ
ඇරලා අත්තප්පච්චි ගෙට
ගියා. ඒ අතරෙ මලිත්ති හොඳ කල්පනාවෙන්
හා පැටව් දිහා
බලාගෙන ඉන්නවා අත්තප්පච්චි
දැක්කා.
අම්මා කුස්සියේ, අත්තම්මත් එක්ක
මොකක්දෝ බර කතාවක්.ඇසිලිනුත් පේන්ට නෑ
වගේ. අත්තප්පච්චි ගෙට
ගිහින් එනකොට මලිත්තිත්
නෑ හා කූඩුව
ලඟ. හා පැටවුනුත්
නෑ.අත්තප්පච්චි කළබල
උනා.වටපිට බලනකොට
ඈත මලිත්තිගෙ දම්
පාට ගවුම යන්තමට
වගේ දැක්ක අත්තප්පච්චි
ඉක්මන් ගමනින් එතෙනට
යනකොටම ඇසිලින් මරහඬ
දීලා කෑ ගහනවා
ඇහුණා මලිත්ති හිටපු
දිහායින්. අත්තප්පච්චි යනකොටත් ඇසිලින්
"අනේ අපොයි" කිය කියා
එක අතකින් හා
පැටවු තුන් දෙනා
දාපු කූඩෙකුයි, අනිත්
අතින් මලිත්තිවයි අල්ලගෙන
ගෙදර එනවා.
" මොකද ඇසිලින්?"
" අනේ..
අපොයි ඉතින් මම
හොඳ වෙලාවට නොවැ
උඩහ හිටියේ. අපේ
චූටි මැණිකේ වලක්
හාරලා මේ අසරණ සත්තු ඒකට
දාල වහන්ට තැනුවා
නොවැ" ඇසිලින් කිවුවා.
අත්තප්පච්චි බැළුවේ මලිත්ති
දිහා. එතකොටත් එතනට
ඇවිත් හිටපු අම්මයි
අත්තම්මයි දෙන්නත් මලිත්ති දිහා
බලාගෙන. අත්තම්මා කම්මුලේ
අතකුත් තියාගෙන.
" නෑ...අත්තප්පච්චි.... මම තව
ලස්සන හා පැටවු
ගන්න මෙයාලව පැළ
කරන්නයි හැදුවේ. එතකොට
තව ගොඩාක් හා
පැටවු හම්බ වේවිනේ"
මලිත්ති කිවුවා. එතකොට තමයි
වෙලා තියෙන දේ
හැමෝටම තේරුණේ.
" අනේ..පුතේ...එහෙම
පැළ කරන්ට පුළුවන්
ඇට වර්ගයි පැළ
වර්ගයි විතරයි. පණ
තියෙන සත්තුන්ට එහෙම
කරන්ට බෑ.එතකොට
එයාලට හුස්ම ගන්ට
බැරුව මැරෙනවානේ. "
අත්තප්පච්චි කිවුවා.
" අනේ...
අනේ... ඇසිලින් හිටිය
එක හොඳට ගියා.
නැත්තම් ඉතින් මෙයා
හොඳ අකුසල කර්මයක්
තමා කර ගන්නේ."
අත්තම්මත් කීවා.
මලිත්තිත් ඉතින් එදා
හොඳ පාඩමක් ඉගෙන
ගත්තා.