Friday, September 21, 2012

හිස් වාර්තාව...


මම මේ කියන්න හදන්නේ ඇත්තටම වෙච්ච දෙයක්. අපේ ඔෆිස් වල තියෙනවා යම් යම් දේවල් ගැන මාසික වාර්තා යවන්න. ඊට අමතරව ඉල්ලන ඕනෑම වෙලාවක ඒ ඉල්ලන දේ සම්බන්ධව වාර්තා අපි ලබා දෙන්න ඕනේ. ඒ වාර්තා තැපෑලෙන් යවන්න ගියාම පරක්කු වෙන නිසා අපිට දීලා තියෙනවා ප්‍රාදේශීය මට්ටමෙන්, නගරය තුල ලිපි ගෙනියන්න විශේෂ පනිවුඩ කරුවෙක් සහ කොලඹ ප්‍රධාන කාර්යාලයට ලිපි ගෙනියන්න විශේෂ පනිවිඩ කරුවෙකුත්. නගරය ඇතුලෙ ලිපි ගෙනියන කෙනාට අපි කියන්නේ රයිඩර් කියලා. එයා යන්නෙ මෝටර් බයික් එකේ. රයිඩර් කියලා නැති තැන කිවුවට අපි එයාට කතා කරන්නේ ...... මහත්තයා කියලා. එයා හොඳ වැදගත් විදියට ඉන්න කෙනෙක්. ඒ උනත් කොළඹ ප්‍රධාන කාර්යාලයට ලිපි ගෙනියන්න විශේෂ පනිවිඩ කරුවට අපි කතා කරන්නේ නම් නම කියලා. වැඩි වයසක් නැහැ.හැබැයි තරුණයෙකුත් නෙවෙයි. ඕනැම කාර්යාලයකට ගිහින් තමන්ට බාර දුන්න වැඩේ තිතටම කරගෙන එන්න මිනිහා හරි දක්ශයා. හැබැයි ටිකක් විහිලුවට බරයි. ඒ වගේම කවුරු හරි මිනිහට කියන ඕනෑම දේකට ගැලපෙන උත්තරත් මනුස්සයා ලඟ තියෙනවා. අපි එයාට කියමුකෝ ලාල් කියලා. මේ එයාගෙ ඇත්ත නම නෙවෙයි.

මේ දවස් වල අපිට ටිකක් වැඩ වැඩියි. සමහර විෂයන් භාරව ඉන්න අයට හුඟක් වැඩ වැඩියි. අපේ ඔෆිස් එකේ ඒ වගේ වැඩ රාජකාරි හුඟක් බහුල විෂයක් භාරව ඉන්නවා ලලන්ත කියලා මහත්තයෙක්. ඒ වැඩ රාජකාරි මදිවට මේ දවස් වල හදිසි වාර්තා වගයක් ඉල්ලලා තිබුනා කොලඹ ප්‍රධාන කාර්යාලයෙන්. සමහරක් වාර්තා හිස් වාර්තා. ඒ කියන්නේ දැනුම් දෙන්න තරම් විශේෂ දෙයක් නෑ. මෙය කොහොම හරි කලබලෙන් වාර්තා ටික හදලා ලියුම් කවරෙට දාල අලවලා, බාර දිය යුතු කෙනාගෙ නමයි, විශය අංකයයි ලියලා බාර දුන්නා ගෙනිහින් දෙන්න කියලා අර විශේෂ පනිවිඩ කරුවට . ලාල්ට.

දැන් ලාල් කොලඹ ගිහින් එතනින් එක ලියුමක් භාර දුන්නා අදාල පුද්ගලයට. එයා අත්සන් කරලා ලියුම අරන් කඩලා බැලුවලු. "ලු" පරත්‍යයෙන් කියන්නෙ මේ සිද්ධිය අපි දැක්කේ නෑ. අපිට කිවුවේ ලාල්මයි. ඉතින් අර කඩලා බලපු ලියුම හිස් වාර්තාවක්ලු. ඒ පාර අර ලියුම බාර ගත්තු නෝනා කියනවලු " අනේ අපරාදෙ හිස් වාර්තාවක් බාර දෙන්න ඔයා මේ හදිසියේ ආවෙ.ඕක ඉතින් ෆෝන් එකෙන් හරි කියන්න තිබුනනේ " කියලා. එහෙම කියලා වැඩක් නැති බව ලාල් දන්න නිසාම සද්ද නැතුව එතනම ඊලඟ මේසෙ හිටපු මහත්තයාට අනිත් ලියුම බාර දුන්නලු. එයත් ලියුම බාර ගත්තා කියලා පොතේ අත්සන් කරලා එහෙම  ලියුම අරන් කඩලා බැලුවලු. අය්යෝ.. කලබලේට අපේ ඔෆිස් එකේ ලලන්ත මහත්තයට ලියුම කවරෙට දාන්න බැරි වෙලා. කවරෙ නිකන්ම අලවලා නම ලියලා යවලා. ඊට පස්සේ ඉතින් අර ලිපිකරුවයි අපේ ලාලුයි අතර දෙබස ගියා කියන්නේ මෙහෙමයි

ලිපිකරු මහත්තයා : කෝ බං මේකෙ ලියුම. හිස් නෙ ලියුම් කවරේ

ලාල් : අනේ ඔවු සර්, ඕක හිස් වාර්තාවක්. අර එහා මේසෙ හිටපු මිසී කිවුවා වගේ අපරාදෙනෙ සර්, හාෆ් ශීට් කොළෙත් අපරාදෙ, හිස් වාර්තාවක් කියලා ලියුම ටයිප් කරන්න යන කාලෙත් අපරාදෙනෙ. ඒ නිසා ලලන්ත මහත්තයා ඔන්න ඔහේ හිස් කවරයක් එවුවා.

මුලු ඔෆිස් එකෙම කට්ටිය හිනා වෙද්දී, අර අදාල ලිපිකරු මහත්තයා කට ඇරගෙන බලාගෙන ඉද්දි, ලාල් පස්ස නොබලා ආවලු මොකුත් නොවුනා වගේ. ඇවිත් ලලන්තට කිවුවා වෙච්ච වැඩේ. බලද්දී ඇත්තටම ඒකත් හිස් වාර්තාවක් තමයි........