Saturday, December 24, 2016

විජය VS කුවෙනි

හැමෝම කියනවනේ අපේ ඉතිහාසය... රාජවංශය ආරම්භ උනේ විජයගෙනුයි කුවේණිගෙනුයි කියලා...ඒ කතාවේ ඈත්ත නැත්ත කොහොම උනත් මට නම් හිතෙන්නෙ ඊට වැඩිය පෞරාණික සමෘද්ධිමත් අතීතයක් අපිට ඇතියි කියලමයි..මේ කියන්න යන්නේ ඒක ගැන නෙවෙයි.

විජය ලංකාවට ආපු හැටියි විජය කුවේණි කතාවයි අන්තිමට මදුරාපුරෙන් බිසවක් ගෙනාව විජය කුවේණිව එලවලා දාපු හැටියි..ඒට පස්සෙ තමන්ගෙම නෑදෑයො අතින් කුවේණි මරණයට පත් උන හැටියි කියවෙන විජය කුවේණි කතාව හැමෝම අහලා තියෙනවනේ..

ඉතින් ඔය ගැන හිතලා කුවේණී ගැන සංවේදී වෙලා මමත් ලිවුවා කුවේණි ගැන කවි පන්තියක්..
මේ තියෙන්නේ ඒක..

කියවල බලන්නකෝ...


කුවේනිය ලෙස පසිඳු ලක්පුර
රකුස් ලඳ ඇය නොවුණි පින්බර
වසත් සමයක තුරුද ඵලබර
ඇයට හමු විය විජය පිරිවර......

එකම බැල්මෙන් බැඳි එකවර
විජය වෙත ඇය වීලූ පෙම්බර
මුලා වී ඇය පෙමින් මත්බර
පාව දුන්නලු රකුස් පුරවර.....

ද්‍රෝහි වී සැමටම රකුස් පුර
අතැර ගොස් තම ඥාති පිරිවර
විජය රජු ,රජ කරවි ලක්පුර
රැජන ලෙස පැළඳුවා මුතුහර....

විජය සමඟින් දෙදරුවන් මැද
ගෙවී සත් වසරක් පෙමින් හිඳ
නමුදු අබිසෙස් ලැබුම පිළිබඳ
සිරිත මතුවුණි පෙළා ඇගෙ හද.....

ඔටුණු පළඳින විට , රජකු හිස
රජ කුමරියක් ඕනෙලු බිසව ලෙස
ප්‍රේම හදවත කවා වස විස
විජය රජු පෙරළුවා තම වෙස......

සාප කරමින් දෙදරුවන් ගෙන
නික්මුණා ඇය මැඳුරින් හඬාගෙන
නමුඳු නෑ සිය වෙතට කිසි දින
නොපිළිගති, සැඟ වුණා ඇගෙ පණ....

සදා කාලික ලෙසින් නොමියෙන
කුවේණිය ඇය පෙමට කැපවුණ
වත්මනෙත් නන් වෙසින් මතුවන
ඇයයි ගැහැණිය තවත් වැජඹෙන......

ඔය කවි ටික ලිවුවට පස්සේ .... රෑට මගෙ නින්ද නැති උණේ සාධාරණය නොබලා විජයගෙන් නිදහසට කරුණු අහන්නේ නැතුව කුවේණිගෙ පැත්තම අරන් තමන්ට චෝදනා කරනවා කියලා හීනෙන් හොල්මන් කරන විජය රජ්ජුරුවො මට ගතු කියන්න පටන් ගත්තු හින්දයි...

මේ කරදරේ ඉවසන්න බැරිම තැන මම කිවුවා ඔය කතාවේ සාධාරණය අසාධාරණය මම දන්නේ නෑ... ඔය කියන්න හදන කරුණු ඇත්තද දන්නෙත් නෑ.. ඒත් ඒ කතාව අහන්න මට පුලුවන්ය කියලා...

ඉතින්...විජය රජ්ජුරුවෝ මට කියපු ඒ කතාව මම ඔයාලට ඊලග පෝස්ට් එකෙන් කියන්නම්....එතකන් මේ කවි රසවිදින්නකෝ.....

Sunday, December 18, 2016

පුනරාගමනය

ආපහු ලියන්න පටන් ගන්න ඕන කියලා හිතලා අවුරුදු දෙකකට පස්සෙ බ්ලොග් එකට ගොඩ වෙලා බැලුවා තියෙනවද කියලා බ්ලොග් එක තාම.... :)
 මාව පෙන්නනවා නේද ඔයාලට තාම ??