Tuesday, December 27, 2011

අරුන්දතීට යෙහෙළියක්....

ආරුන්දතීගෙ කන්තෝරුවට අළුතින් පත්වීම් ලැබිලා කීප දෙනෙක්ම ආවා.පිරිමි ළමයි දෙන්නෙක්, ගැහැණු ළමයි තුන් දෙනෙක් අරුන්දතී සේවය කරන අංශයටත් ආවා.
ඒ ගෑණු ළමයි අතරින් එක්කෙනෙක් ඉක්මනින්ම අරුන්දතීගෙ යෙහෙළියක් උණා. ප්‍රසන්න හිනාවකුයි සිරියාවන්ත මූණකුයි තියෙන එයා මධූ. මධූ ඇත්තටම හිතුවට වඩා හොඳට යෙහෙළියක් විදියට අරුන්දතීට ගැලපුනා. හුඟක් යාළුවෝ යෙහෙළියෝ හිටපු අරුන්දතීගෙ යාළුවන්ගෙන් 50% කටත් වඩා අය පොත් කියෙව්වා. ඒත් අරුන්දතී කැමති විදියේ පොත් කියවන අය එතන නෑ. හුඟ දෙනෙක් කියවන්නේ මල් පොත්. එහෙම නැත්නම් කිසිම තේරුමක් නැති සරළ ආදර කතා. ඒත් අරුන්දතී කැමති " The sun Also risen" ,The Gad-fly , Eva Luna , The Other Side Of Mid Night , The Love Of Time In Cholera , Lajja , Lady Chatterlies Lover , අම්මා , සැබෑ මිනිසෙකුගේ කතාවක් ,ගුරු ගීතය වගේ පොත් වලට.

ඇත්තටම මධූ මේ පොත් කියවලා තිබුණා විතරක් නෙවෙයි ඒ පොත් වලට ආසා කරපු නිසා එකතු කරලා තියාගෙනත් තිබුණා. ඒ වගේම ඕනෙම වෙලාවකදි, ඕනෙම කෙනෙක් ඉල්ලන උදව්වක්, තමන්ට පුළුවන් දෙයක් නම් , බෑ නොකියා කරලා දෙන එකත් මධූගෙ පුරුද්දක්.

අනිත් අයට වඩා හොඳ ඉංග්‍රීසි දැනුමක් එක්ක උගත් කමකුත් තිබ්බ මධූ ඒ  බව කාටවත් කියා පාන්ට වත් ඒ නිසා ඔළුව උදුම්මා ගන්ටවත් ගියේ නෑ.
අරුන්දතී වගේම මධුත් අයිස් ක්‍රීම් , චොක්ලට් , චොක්ලට් කේක් කිවුවොත් පණ ඇරලා.කන්ට නම් අපි ඉතින් ඕනෑ වෙලාවක ලෑස්ති නේ. 

ලැබෙන ඕනෙම දෙයක් සතුටින් හිනාවෙන් සැහැල්ලුවෙන් බාර ගන්න මධුත් හැම වෙලාවෙම තමන්ගෙ නිදහසට ප්‍රිය කරපු නිසාම අනුන්ගෙ අදහස් වලට තමන්ගෙ අදහස් බලෙන් ඔබ්බන්න ගියෙත් නෑ. ඒ වගේම ඕනෙම බැරෑරුම් අවස්ථාවක් විහිළුවට හරවගෙන හිනා වෙන්න මධූට තියෙන හැකියාවට තමයි අරුන්දතී හුඟාක්ම කැමතිත්...