Tuesday, December 27, 2011

මලිත්තිගෙ කතා....(බිල්ලෙක්)


  මලිත්ති අත්තම්මයි අත්තප්පච්චියි එක්ක පිළිමතලාවෙ පොඩි අත්තප්පච්චිලාගෙ ගෙදර ගියා. මේ සීතල දවස් වල පාන්දරම හුළං වැදි වැදී ගිහින් , අම්මා එපා කියලා කෑ ගහද්දිම මලිත්ති අය්යලා අක්කලා එක්ක පතහෙන් නෑවා.හැන්දෑවෙ ගෙදර යනකොටත් මලිත්තිට හෙම්බිරිස්සාව හැදෙන්ට ඇවිත්. පහුවදා උදේ වෙනකොට මලිත්තිට හුස්ම ගන්නත් අමාරුයි.ඉතින් තාත්තා අම්මටත් බැන බැන මලිත්තිව එක්කන් ගියා බෙහෙත් ගන්ට චැනල් සෙන්ටර් එකට.


බෙහෙත් ගන්ට කට්ටිය ගොඩයි.හැමෝම තම තමන්ගෙ වෙළාව එනකන් අංක පිලිවෙළට වාඩි වෙළා ඉන්නවා.අම්මාට මලිත්තිත් එක්ක බෙහෙත් ගන්ට පෝලිමේ ඉන්ට කියලා අප්පච්චි එළියට වෙළා හිටියා. දැං ඉතිං මලිත්තිත් අම්මා ලඟ පුටුවේ වාඩි වෙළා ඉන්නවා බෙහෙත් ගන්ට.


ඔන්න ඉතිං එතකොටම මලිත්ති ලඟ පුටුවෙන් වාඩි උනේ බෙහෙත් ගන්ට ආපු මුස්ලිම් ජාතික කාන්තාවක්. එයාගෙ ස්වාමි පුරුෂයා එක්කම. දන්නවනෙ ඉතින් මුස්ලිම් කාන්තාවෝ අඳින විදිය.කළු පාට අබායා එකයි, ඔලුවත් කළු ස්කාෆ් එකකින් වහගෙන ඇස් දෙක විතරයි පේන්නේ. ඒත් ඉතින් එයාගෙ හස්බන්ඩ් නම් ඩෙනිම් කලිසමක් ඇඳලා සන් ග්ලාස් දාලා හරිම මොඩ්.


මේ ජෝඩුව දැක්කා විතරයි මලිත්ති ඉඳගෙන හිටපු පුටුවෙන් උඩ විසි වෙලා වගේ නැගිටලා අම්මගෙ උකුළට පැන්නේ


" අපෙ අම්මා , අපෙ අම්මා... මෙන්න බිල්ලෙක් ඇවිත් " කියාගෙනමයි.


ඒක ඇහුණු අර කාන්තාවගෙ ස්වාමි පුරුෂයා බැළුවෙ මලිත්තිගෙ අම්මා දිහා.අම්මට කර කියා ගන්ට දෙයක් නෑ.වටේ හිටිය හැමෝම මලිත්ති දිහා බලාගෙන. මලිත්ති මේ මහ නුවර නගරෙ ඉදලා මුස්ලිම් කාන්තාවො ඕනෙ තරම් දැකලා තියෙනවා. එහෙම තියෙද්දි අද මොකද මේ කියලා අම්මටත් හිතා ගන්ට බෑ. ඒ කොහොම උනත් මලිත්ති තවත් මොනවා හරි කියලා පෙරළියක් ඇති කරන්ට කලින් ලස්සන පුංචි නර්ස් ඇන්ටි කෙනෙක් ඇවිත් ,දොස්තර මහත්තය ලඟට යන්ට මලිත්තිගෙ අංකය කතා කරපු නිසා අම්මා දෙය්යන්ට පින් දි දී මලිත්තිත් වඩාගෙන නැගිට්ටා දොස්තර මහත්තය ලඟට යන්ට..


මම මේ කතාව ලිවුවේ කාටවත් අපහාසයක් කරන්ට එහෙම නෙවෙයි ඔන්න.කවුරුවත් වරදවලා වටහා ගන්ට නම් එපා............