Wednesday, January 25, 2012

මලිත්තිගෙ කතන්දර 04 (අපේ රට )

මලිත්තිගෙ ආච්චි මම්මයි, සීයා පප්පලයි, ආන්ටිලා ටිකයි ඔක්කොමලා ඉංග්‍රිසි පන්නෙට හැඩ ගැහුණු පල්ලි යන කට්ටියක් නිසා ඒ ගොල්ලො ලංකාවෙත් ඉන්ට හැදුවෙ එංගලන්තෙ ඉන්නවා වගේ තමයි.


ඉතිං මලිත්තිත් ඉන්නෙ අම්මයි තාත්තයි එක්ක ආච්චි මම්මලාගෙ ගෙදර නිසා මලිත්තිටත් මේව එච්චර අමුතු දේවල් උනේ නෑ.මලිත්ති කියලා අම්මා ආදරේට කිවුවට මලිත්තිගෙ නමත් ශෙනාලි නටාලියා කුමාරිහාමි ඩැනියෙල්ස් නේ. කුමාරිහාමි කියන නම එතෙන්ට ගැලපෙන්නේ නෑ වගේ තමයි ඒත් අම්මගෙ නමෙන් කොටසකුත් නමට එකතු කළේ තාත්තා.(මලිත්තිගෙ අම්මගෙ නමත් උත්පලා කුමාරිහාමි නේ) ආච්චි මම්මලා ආන්ටිලානම් ඒකට කැමති උණේම නෑ. ඒත් තාත්තා ඒ නම දැම්මා මලිත්තිට.


මලිත්තිගෙන් කවුරුහරි විස්තර ඇහුවාම කියන්නේ තමන්ගෙ රට එංගලන්තෙ කියලයි. ආන්ටිලත් හිනා වෙනවා ඇරෙන්ට ඒක නිවැරදි කළේ නම් නෑ. අම්මා දන්නා තරම් උත්සාහ කරලා මලිත්තිට කියලා දෙන්ට හැදුවා අපි ඉන්නේ ශ්‍රී ලංකාවෙ කියලා. මලිත්ති නෙමෙයි කණකටවත් ගත්තෙ.


දවසක් අම්මත් එක්ක ආත්තම්මලගෙ ගෙදර ගිය වෙලාවක ආත්තම්මා මලිත්තිව උකුලෙ තියාගෙන වෙන වෙන කතන්දර කියන ගමන්ම කිවුවා මෙහෙම.


"චූටි මැණීකේ දන්නවද ශ්‍රී ලංකාව ලස්සන රටක්, ලස්සන හඳු හෙල්, දිය ඇලි තියෙන, භූමි කම්පා , ගිණිකදූ මොනවත් නැති, ලස්සන රටක්.
අනිත් රටවල්වල වගේ කාන්තාර, හිම එහෙමත් නැති සෞම්‍ය දේශ ගුණයක් තියෙන , ඒ වගේම ආගන්තුක සත්කාර දන්න මිනිස්සු ඉන්න රටක්. අපි ඉපදිලා ඉන්නෙ ශ්‍රී ලංකාවෙ. අපේ රට ශ්‍රී ලංකාව. අපි ආඩම්බර වෙන්ට ඕන ශ්‍රී ලංකාවෙ ඉපදුන එක ගැන." 


මලිත්තිත් අහගෙන ඉන්නවා.


"තේරුනාද චූටි මැණිකේ?"


" ඔව්, ආත්තම්මා."


" හා... තේරුණා නම් කියන්ටකෝ බලන්ට මම මොනාද කිවුවේ?" 


"ආත්තම්මලාගෙ රට ශ්‍රී ලංකාව.ශ්‍රී ලංකාව ලස්සන රටක්, ලස්සන කඳු හෙල්, දිය ඇලි තියෙන, භූමි කම්පා , ගිණිකදූ මොනවත් නැති, ලස්සන රටක්.සෞම්‍ය දේශ ගුණයක් තියෙන , ඒ වගේම ආගන්තුක සත්කාර දන්න මිනිස්සු ඉන්න රටක්. ආත්තම්මලා ඉපදිලා ඉන්නෙ ශ්‍රී ලංකාවෙ.ඔයාලා ආඩම්බර වෙන්ට ඕන ශ්‍රී ලංකාවෙ ඉපදුන එක ගැන." 


මලිත්ති කියාගෙන කියාගෙන ගියා ගිරවියක් වගේ.


ආත්තම්මා ඇස් දෙකත් නලලෙ තියාගෙන කම්මුලට අතක් තියා ගත්තා


මේ කතාව මුල ඉඳලම අහගෙන හිටපු අම්මා හොඳටම හිනා උනා.



6 comments:

  1. මලිතිගේ වැඩ නියමයිනේ.. තව කතා ටිකක් දාමු..

    ReplyDelete
  2. හේ හේ මල්ලිත්තිත් නුවණක්කාර කෙල්ලනේ බොලේ :)

    ReplyDelete
  3. මම් ආසම මලිත්තිගේ කතා කියවන්ට.
    මේ මලිත්ති නම් දඟ මල්ලක් !!! මාර ගිරවියෙක් !

    ReplyDelete
  4. @ දිනේෂ්
    තව ගොඩක් තියෙනවා මලිත්තිගෙ දඟ වැඩ....

    @වර්ණා
    ඔව්.... ඔව්

    @මධුරංග
    ස්තූතියි ......

    ReplyDelete
  5. ඔය වගේ කළු සුද්දෝ සුද්දියෝ පිරිලා .. සමහරු ඉගෙනගත්තේ සිංහල මාද්‍යයෙන්..හැබැයි සිංහල දන්නේ නැහැ කියල පෙන්නන්න හරිම වදයක් වෙනවා. එවුව දැකල අපි හිනා කනවා.

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete