Wednesday, November 30, 2011

කළු ජූලියෙන් පසු...

පුරවා සවන් කෝවිල් බිම විළාපෙන
රුධිරය ඉහුණි බිම හැම තැන ගලායන
කෝවිල් ගිය නුඹත් සන්සුන් විලාසෙන
එන්නේ නැතිළු, ඉන්න ලු හිත හදාගෙන.........

නළලත තිලක වරලස මල් ගවසගෙන
නයනඟ කෝල බැල්මෙන් මට සිනාසෙන
සිහිවෙයි උවන මගෙ සිතුවිලි පලාගෙන
ඉන්නද කොහොම මම මේ හිත හදාගෙන.........

මිනිසත් කම නැතුව මෝහෙන් මුළාවුන
පිරිසක් අනේ බිළිගති දිවි, දහක් දන
පාඩුව කිසිවෙකුට නම් නැත එහි දැනුණ
පවුලේ අයට මිස නෑසිය අහිමි වුන..........

තවමත් නුඹ හිඳියි මගෙ හිත වෙළාගෙන
කිම කළ වරද සිටි පෙම් හිත දරාගෙන
ජාතිය කුළය වැට බැඳි රුදු විලාසෙන
ඉපදෙමු ලොවක කුලගොත් නැති, සනාතන....

Monday, November 28, 2011

සඳුදා

දවස් දෙකකට පස්සෙ කන්තෝරුවට ගියේ....මේසෙ උඩ වැඩ ගොඩ ගැහිලා,අපිළිවෙළ වෙළා තියෙන හැටි දැක්කාම හිතට පොඩි නොරිස්සුමක් දැනුනේ ඉබේටම.
"මේ මොන කරදරයක්ද, වැඩ ඉවර කරලා සිකුරාදා නිවාඩු ගියාට සඳුදා එද්දි ආපහු වැඩ කන්දක් ගොඩවෙලා" මට නිකංම කියවුනේ ඒකයි. 




මගෙ හඬින් එහා මේසෙ වැඩ කර කර හිටපු ලසන්ත ඔළුව උස්සලා මා දිහා බැළුවා. "ඉතිං අරුන්දතී...ඕක තරහ ගන්න දෙයක්යෑ, කවුරු හරි ඇහුවොත් කියන්න...දැක්කේ නෑ...දන්නේ නෑ... මට දුන්නේ නෑ කියලා ඉවරයිනේ" එයා එහෙම කිවුවේ පොඩි හිනාවකුත් හංගගෙන මට සමච්චලේට වගේ කියලයි මට නම් තේරුණෙ. ඒත් ඉතිං ඒ කතාව අහපුවාම මට හිනාගියා.ඒ නිසා නොරිස්සුම ටිකක් ඈතට විසිවුණා වගේ පෙනුණා.


" එතකොට හරිද... මගෙන් ආපහු අහන එකක් නෑ නේද...ඔයා ඒ ගැන හෙව්වෙත් නෑ කෙරුවෙත් නෑ නේද කියලා...?" මමත් හිනාවෙවීම එයාගෙන් ඇහුවා.


ඇත්තටම මහජනතාව තමන්ගෙ රාජකාරි ඉෂ්ට කරගන්න එන කන්තෝරු වලින් කොච්චරනම් මිනිස්සුන්ට එහෙම අහන්න ලැබෙනවද? ඉතින් අපිත් දැන දැනම එහෙම කළොත් ඒක හෙණ ගහන අපරාධයක් නේද කියළා හිත හිතාම මමත් හිනාවකින් වැඩ පටන් ගත්තා......

අරුන්දතී ගැන...

ඔහේ හිතට එන හැම දේම කොළ කෑලිවල ලිය ලිය හිටපු මටත් හිතුනා පිළිවෙළකට මම ලියන දේවල් ලියන්න. ලියලා අනිත් අයටත් කියවලා රසවිඳින්න අවස්තාවක් ලබා දෙන්න....


ඉතින් ඒ සිතුවිල්ලේ ආරම්භය තමයි මේ.....


හැමෝම බලයි කවුද මේ අරුන්දතී.... කියලා.
මම කවුරු උනත් මම බොහොම අහිංසක කෙනෙක්.මෙහෙම ඇවිත් කාටවත් හිංසාවක් පීඩාවක් කරන්න, සරළව කිවුවොත් වලක් කපන්න මගෙ තුන් හිතකවත් අදහසක් නෑ..... ඉතිං කාටවත් කරදරයක් නැත්නම් මම කැමති නමකින් පෙනී ඉන්න මට සාධාරණ අයිතියක් තියෙනවා කියලයි මම නම් හිතන්නේ.....


මට ඕනෙ ලියන්න.හිතට එන දේ කියන්න....හැබැයි සභ්‍ය දේවල් විතරයි හොඳේ.....
ඉතින් මට, මම ලියන දේවල් වලට කැමති වෙන නොවෙන එක ඔයාලගෙ අයිතියක්.....
මට නම් හොඳ විශ්වාසයක් තියෙනවා ඔයාලට හොඳ යෙහෙළියක් වෙන්න මට පුළුවන් කියලා.
ඔයාලගෙ හිතේ මම ලියන දේවල්වලට, මගෙ බ්ලොග් එකට කැමැත්තක් ඇති උනා නම් comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා...


සුභ දවසක් වේවා හැමෝටම!!!