Thursday, February 16, 2012

අපෙ ගෙදර මිණි පහන



















හීනයක් වගෙ ඇවිත් හොරෙන් එබිකම් කෙරුව
විශ්මයක් ඇත්තටම මගෙ දිවිය හැඩ කෙරුව
රැව්දෙවන සිනා හඬ, දෙමින් සුරතල් පෑව
මල් කැකුළ නුඹ තමයි මුදු සුවඳ ගෙන ආව........


කවි සිංදු පබඳිමින් විහඟුන්ට අත වනන
චිත්‍ර පොත පුරාවට නේක සිතුවම් අඳීන
වචනයක් වැරදුණත් කඳුළු දෙකොපුල් තෙමන
සුදු දුවේ නුඹ තමයි දිව ඔසුව හිත නිවන.............


කෝලමට කවි කියා අම්මාව නිඳි කරන
පුංචි පා බිම තබා ගීත නාදෙට නටන
හිනැහෙමින් ගේ පුරා සෙල්ලමට වගෙ දුවන
මඳ පවන නුඹ තමයි හිතට සැනසුම ගේන................


දකින හැම දේ ගැනම කෝටියක් දේ අසන
අම්මාට තුරුළු වී හුරතලෙන් දඟ කරන
දුක් කඳුළු මැද වුණත් හදට සැනසුම ගේන
මගෙ දුවේ නුඹ තමයි අපෙ ගෙදර මිණි පහන...........

Monday, February 6, 2012

දුක්බර මැදියමක.........






















මැදියමේ හිනැහෙන සරා සඳ
කිමද මේ දුකකින් වගේ අද
මලානික වී නුඹේ රැස් කඳ
සීතලයි වෙනදට වඩා අද.....


තරු පොකුරු හිනැහුනේ නැතුවද
හිරු කුමරු අද අහක බැළුවද
රාත්‍රිය මැද තනියි සිතුනද
කොඳ කැකුළු අමතකම කෙරුවද......


සීතලම සඳ එළිය බෙද බෙද
සඳත් හෙමිහිට වැළපෙන සඳ
සොමි ගුණය රැඳි සුමුදු මුදු සඳ
වළා සේළෙන් කුමට වැහුවද


සුදුමැළිව සැංගිලා නොම හිඳ
විදා මුදු සඳ එළිය බිඳ බිඳ
කුමුදු මල් වල සුවඳ විඳ විඳ
හිනැහියන් පෙර ලෙස සරා සඳ......