Tuesday, December 13, 2011

අවිවාහක මවකගෙන්.....

දිස්න දෙන තරු නෙතු අයාගෙන
සිඟිති අතැඟිලි මිට මොලෝගෙන
රෝස පෙති මුවඟින් සිනා සෙන
හීනයක් වැනි නුඹේ ලස්සන.......


මෙලෙක් බව දැනේ, රෝස පෙත්තක
පොහොට්ටුව වගේ මල් කිනිත්තක
පිපෙන්නට එපා පාත අත්තක
පිපීයන් නුඹ ගහ උඩම ඉත්තක......


නුඹේ පියතුම නොමැති වරදට
නුඹව ලනු බෑ කහල ගොඩකට
නුඹයි සම්පත මගේ දිවියට
පියත් මම නුඹෙ මවත් මම හෙට......


දමා ගිය මුත් මගේ කරුමෙට
එපා වෛරය නුඹේ පියාහට
වැඩුණු මිනිසෙකු වේවි නුඹ හෙට
නොබා දිරි ගෙන යන්න ඉහලට.....


කුණු සොයන්නේ තව අනුන් ගැන
කුණු තියන අය බවම දැනගෙන
ඉවසීම තව තව වඩාගෙන
පුතේ නුඹ නැගිටින්න දිරි ගෙන......


ලොවේ නුඹ හට සිනා සෙන දන
වැටෙයි නුඹ පාමුලට වැඳගෙන
ලොවට ඉහලින්  වැජඹෙනා දින
නොවී පසුබට, ලොව දිනාගෙන.....

No comments:

Post a Comment