Friday, December 9, 2011

මලිත්තිගෙ කතා...


මලිත්ති අවුරුදු තුනක තුන හමාරක විතර පොඩි ගෑණු ලමයෙක්... හරිම දඟ මල්ලක්...
හරිම හුරතල් සුදුම සුදු බෝලයක් වගෙ පොඩිත්තියක්....


මලිත්ති හිටියෙ ආච්චි මම්මලාගෙ ගෙදර. ඒ කියන්නේ තාත්තගෙ අම්මලාගෙ ගෙදර. එහෙත් හුඟක් කට්ටිය හිටියා. ආච්චිමම්මා, සීයා, පුංචි මම්මා, බාප්පා, ලොකු අම්මා තමා එහෙ හිටියේ.


ඉතිං මලිත්තිගෙ තාත්තා වැඩ කරපු කන්තෝරුව තිබුණෙ කොළඹ නිසා, එයා නම් ගෙදර ආවෙ සතියකට සැරයයි. මලිත්ති අම්මත් එක්ක ආච්චිමම්මලාගෙ ගෙදර පදිංචිවෙලා හිටියේ.


ඒ වගේම අම්මගෙ මහ ගෙදර තිබුණෙත් ඊට හුඟක් කිට්ටුවෙන් හන්දා දවල්ට එහෙ යන්ටත් මලිත්තිට පුළුවන් උණා.එහෙ අත්තම්මයි,අත්තප්පච්චියි දෙන්නත් මලිත්තිට හුඟක් ආදරෙයි.


අම්මා, අත්තප්පච්චිලාගෙ විරුද්ධත්වයත් නොතකා තාත්තාට ආදරේ කරපු නිසා පහු පහු වෙනකොට අත්තප්පච්චිලත් තමන්ගෙ විරෝධතාවය ඉල්ලා අස් කර ගත්තේ තමන්ගෙ එකම දුවගෙ හිත රිදවන්ට බැරි කමටයි.


ඒ උණත් ඉතිං තාත්තාගෙ හිතින් නම් පරණ කහට තාමත් අත හැරිලා නැති පාටයි. නැත්තම් ඉතිං අච්චර සෙනඟක් ඉන්න මහ ගෙදරම පදිංචි වේවිද, අර තරම් විසාල ගෙදරක අත්තම්මයි, අත්තප්පච්චියි දෙන්න විතරක් තනියම ඉඳිද්දී.


එහෙම උණා නං, අම්මාට නෑනලා එක්ක රණ්ඩු සරුවල් ඇති කර ගන්න වත්, ආච්චි මම්මාගෙන් ඇණුම් පද අහන්නවත් ඕනෙ වෙන එකක් නැහැනේ.... හැබැයි ඉතිං අම්මා නම් ඔය කොයි එකත් දරා ගෙන හිටියේ අප්පච්චිට තියෙන ආදරේ හන්දමයි.


ඔහොරිය අඳින අත්තම්මගෙයි, ලුංගිය අඳින ආච්චි මම්මගෙයි වෙනස පුංචි උණත් මලිත්තිට හොඳට තේරුණා. ආත්තම්මා කොහොමත් කරුණාවයි. ආච්චිමම්මත් අම්මට නපුරු උණාට මලිත්තිට පණ වගේ ආදරෙයි.


මලිත්තිගෙ අම්මා බුද්ධාගමේ උණාට තාත්තා කතෝලික ආගමේ. මලිත්තිටත් ආච්චි මම්මලා පුරුදු කළෙ පල්ලි යන්න විතරයි. මලිත්ති ගියෙත් පල්ලියේ මොන්ටිසෝරියටයි. ඒකෙ ඉන්න සිස්ටර්ලා, ටීචර්ලත් හරිම හොඳයි.මලිත්තිට ආදරෙයි.


මලිත්තිගෙ කටකාරකමයි, දඟකාරකමයි නිසත් මලිත්ති හරිම ජනප්‍රියයි මොන්ටිසෝරිය පුරාම. මලිත්ති ගැන නම් කියන්න දේවල් ගොඩයි.


දවසක් මලිත්ති ආත්තම්මගෙන් , ආත්තම්මගෙ කණ්නාඩි දෙක ඉල්ලලා හරිම පොරේ. ආත්තම්ම මලිත්තිගෙ සෙල්ලම් කණ්නාඩි දෙක එයාට දීලා එයාව සනසවන්ට හැදුවත් මලිත්ති නෙවෙයි රැවටුනේ. එයා අත්තම්මාගෙ කණ්නාඩි දෙකම ඉල්ලලා අඬන්ට පටන් ගත්තා කෑ ගගහා.නළව ගන්ටම බෑ.ආත්තම්මට ඒපාර කේන්තිත් එක්ක.


"කට වහ ගත්තේ නැත්තම් දෙනවා දෙකක් මම දන්නවද හුරතලේ යන්ටත් එක්ක"


අත්තම්මා සැර දැම්මා මලිත්තිට. ඒ පාර මලිත්ති කට වහගත්තා.
අත්තම්ම හිතුවා බයට වෙන්ට ඇති කියලා. නමුත් ඊලඟ මොහොතේ මලිත්ති අඬන්ට ගත්තේ අර ඉස්සරලා ඇඬුවා වගෙ දෙගුණයක් සද්දේට. අත්තම්මා පුදුම උණා.මලිත්ති දැන් අඬන්නේ කණ්නාඩි දෙක ඉල්ලලා නෙවෙයි.


"ආත්තම්මා අර දෙනවාකියපු දෙක දෙන්ට...."


එහෙම කිය කියා තමයි මලිත්ති දැන් අඬන්නේ... ආත්තම්මට හොඳටම හිනා.


මේ වගෙ මලිත්තිගෙ කතන්දර තව ගොඩක් තියෙනවා....

No comments:

Post a Comment