Monday, December 24, 2012

පෙරැස් මුඳුව 07













සකුන්තලාවද  මිතුරියන් තමා තනිකර දමා ගියහයි අදහා ගත නොහැක්කේ හිඳ සිටි ගල් පුවරුවෙන් නැංගේ, පලා යාමට අතක් සොයන්නා සේ වට පිට බැළුවාය. රජ තෙමේද ඇය පළා යතැයි බියගත්තෙන් වහා ඇගේ සුරතින් අල්වා ගත්තේය.කලබලයට පත් සකුන්තලා විළියෙන් රත් පෑ ගත්තී වහ වහා තම සුරත මුදා ගත්තාය.

"පෞරව රජතුමනි, අප ආචාරශීලි විය යුතුයි.  ප්‍රේමාතුර වුවත් මා තවමත් වැඩිහිටියන් හට යටත් තැනැත්තියක්මි."

" ඕ.. බියසුළු තැනැත්තිය. නුඹ සිතනුයේ නුඹ ගේ පියාණන් අප හට දොස් නගතියි කියාද? නැත සොඳුරිය එතුමා ධර්මය හොඳින් දත් සෘෂිවරයෙකි. එතුමා අපහට ආශිර්වාද කරනා බව මා හට නම් නිසැකයි."

මෙසේ ඔවුන් දෙදෙන ප්‍රේම සල්ලාපයෙන් පසුවන අතර , එහි පැමිණි මිතුරියන් දෙදෙන සැල කලේ ගෞතමී ආර්යාව සකුන්තලාව කැඳවූ බවයි. වහ වහා රජුගෙන් සමුගත් යුවතියෝ තිදෙන ආරාමය බලා පිය එසෙව්වෝය

************

පසු දින උදෑසන යාග කටයුතු අවසන් වනතෙක් නොඉවසිලිමත් හෝරා ද්විත්වයක් ගත කල දුෂ්‍යන්ත රජ තෙමේ පෙර දින තමා හා සකුන්තලාව අතර හමු වීම සිදු වූ ස්ථානය වෙත ගමන් කලේ සිතිවිල්ලේ දැවටෙමිනි. සකුන්තලාව පෙර දින සැතපී හුන් ගල් පුවරුවට පිටුපා නදිය දෙස බලා සිටින්නීය. නොඉවසිල්ලෙන් පසුවූ රජ ඇය පිටුපසින් ගොස් සුරතින් අල්වාගත්තේ වහා ඇය තම දෙසට හරවා ගත්තේ ඇයට කිසිඳු ශබ්දයක් පිට කිරීමට හෝ වේලාවක් නොතබාය.  සකුන්තලාව තුෂ්නිම්භූතව පසුවූ හෙයින් ඉන්පසුද වදනක් හෝ පිටකර ගැනීම ඇයට කළ නොහැකි විය. එසේම රජුගේ ග්‍රහනයේ සිටීම ඇය බියපත් කිරීමට සමත් වූවද ඉන් මිදීමටද ඇයට කිසිඳු වුවමනාවක් නොවූවා සේ පෙනිණි. මෙයින් ධෛර්යමත් වූ රජු ඇයගේ සුසිනිඳු දෙතොල තම දෙතොලේ ග්‍රහණයට හසුකර ගත්තේ නොවසිලිමත් ලෙස සිප ගන්නට විය.

මේ අතර රජු වෙනුවට මාලිගයට ගිය විඳුෂ තමා හට රජු විසින් පැවරුවා වූ කර්තව්‍ය උපරිමයෙන් ඉටු කෙලේය. රාජ මාතාවගේ ව්‍රතාන්ත උත්සවය හමාර වීමෙන් පසු දිනක් මාලිග උද්‍යානයේදී හමුවූ අග බිසව වසුමතී හා අන්ත:පුර බිසවක වූ මධුරිකා රජු සමඟ විදූශ ගෙවූ කාලය කෙසේ ගතවීදැයි විමසුවේ, අන් කිසිවක් සඳහා නොව , එම ගමනේදී රජු විසින් පිළිබඳ සිතක් පහළ කරගත් අන් කාන්තාවක් මුණ ගැසුනේදැයි තමාගේ මුවින් හෙළි කර ගැනීමට බව විඳුෂ හොඳින් දනියි. එයට හේතුව වන්නේ මින් පෙරද කීප අවස්ථාවකම ඇය තමා වෙතින් එවැනි විමසීම් කර ඇති බැවිනි. අග බිසව වසුමතිය සුන්දර රූ සපුවක් ඇති කාන්තාවක් වුවද, ඇය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීම පිණිස අසල්වැසි රාජ්‍යකින් සරණ පාවා ගන්නා ලද කාන්තාවක් මිස රජුගේ ප්‍රේමය නිසා රජු විසින් සරණ පාව ගත්තියක නොවේ. රජු හට සක්විති රාජ ලක්ෂණ ඇත්තාවූ පුත් රුවනක් ලැබෙන බවට නක්ෂත්‍රකරුවන් විසින් පවසා තිබුනද අග බිසවට දරු සම්පතක් ලැබෙන ලකුණක් හෝ තවමත් පහල වී නැත. අන්ත:පුර බිසෝවරු කිහිපදෙනෙකුට රජුට දාව දරුවන් ලැබී තිබුණත්   දූ කුමරියන් මිස ඔවුන් අතර පුත් කුමරෙකු නොවීය. වසුමතියට වඩා රූමත් මෙන්ම වයසින්ද ලාබාල වූ බිසෝ වරුන් කිහිප දෙනෙකු අන්ත:පුරයේ සිටියද ඒ පිළිබඳව වසුමතියගේ සිතට බියක් ඇතුළු නොවූයේ ඔවුන්ද විවිධ රාජ්‍යන් සමඟ වෙළඳ හා රාජ්‍ය සම්බන්ධතා ඇතිකර ගැනීම සඳහාම පාවා ගත්තවුන් බැවිණි. එහෙත් තමාගේ දුර්වල කම නිසාම රජුගේ සිත අන් ලදක් කෙරෙහි ඇදී යතැයිද, සක්විති ගති ලක්ෂණ සහිත පුත් රුවනක් ලබන්නාවූ ඇය නිතැතින්ම අග බිසෝ තනතුර ලබා ගනිතැයි බියක් ද වසුමතියගේ හදවත නිරන්තරව දවයි. හුදෙක් එය අග බිසෝ තනතුර හා සැප සම්පත් සඳහාම ඇතිවූ ඊර්ෂ්‍යාවක් නොවේ. ඇය දුෂ්‍යන්ත රජුට හදවතින්ම ප්‍රේම කරන්නීය. එබැවින් යම්කිසි වෙනත් කාන්තාවක් රජුගේ හිත දිනා ගනිතැයි සිතීමෙන්ද ඇගේ හදවත පීඩාවට පත්වේ. මේ සියල්ල හොඳින් දත් විඳූෂ , සකුන්තලාව පිළිබඳව වසුමතියට පවසන්නට නොසිතුවේය. එසේම ඒ පිළිබඳව පැවසීමටද කිසිවක් නැත. තමා කිසිදිනක තාපස කන්‍යාවක් සරණ පාවා නොගන්නා බව දුෂ්‍යන්ත රජු විදූෂ සමඟ පැවසුවේද දින කිහිපයකට පෙරය.

මේ වනවිට  දුෂ්‍යන්ත සකුන්තලා දෙදෙන වෙන් කළ නොහැකි ලෙස ඔවුනොවුන් වෙත ප්‍රේමයෙන් බැදී අවසන්ය. තමා සකුන්තලාව සරණ පාවා ගන්නා බවටද දු‍ෂ්‍යන්ත රජු ඇය හට ප්‍රතිඥා දී අවසන්ය. අසපුවේ දුෂ්‍යන්ත රජු ගත කළ සති කිහිපය දින කිහිපයක් ලෙස දෙදෙනාටමදැණුනි. යාග හෝමාදී කට යුතු අවසන් වීමෙන් පසු රජු නික්ම යා යුතු දිනයද උදාවිය. වෙන් වීමට තිබූ නොකැමැත්ත මත සකුන්තලා ශෝකයට පත් වූවාය. නමුඳු සිහිවටනයක් ලෙස තම සුරතේ තිබූ පෙරැස් මුඳුව සකුන්තලාගෙ සුරතේ පැළඳ වූ රජු තව දින සතකට පසු එළඹෙන දිනයේදී තමා නැවත පැමිණෙන බවත්, ඇය කැඳවාගෙන යන බවත් ප්‍රකාශ කළෙන් ඇය මඳක් සැනසීමට පත්වූවාය. එහෙත් මෙවැනි ප්‍රේමාතුර අත් දැකීමක් මින් පෙර නොලත් තරුණිය දුෂ්‍යන්ත රජුගේ නික්ම යාමෙන් පසුසාංකාවට පත් වූවා තමා විසින් කළයුතු වූ යම් යම් වැඩ කොටස් ද නොදැණුවත්වම අතපසු කර දැමුවාය. එහෙත් ගෞතමී ආර්යාවට හෝ අන්කිසිවකුට මේ පිළිබඳව ඇස නොගැටීම සඳහා ඇය සමඟ නිරන්තරව රැදී උන් මිතුරියෝ දෙදෙන ඇය අතින් වූ අතපසුවීම් සියල්ල ඉටුකර දුන්හ.මෙසේ පස් දිනක්ම ගෙවී ගියේය.

" ප්‍රියංවදා.. සකුන්තලා තමාටම ගැළපෙන ස්වාමිපුරුෂයෙකු සමඟ ප්‍රේමයෙන් වෙළි, ගාන්ධර්ව විවාහයෙන් විවාහ වීම සම්බන්ධව මගේ හදවතේ රැඳි ඇති සතුට පසුපස බියකුත් රැඳි පවතිනවා"

" ඒ කිමෙක්ද අනසූයා.."

" රජතුමා නික්ම ගොස් පස් දිනක් ගත වී තිබේ. නමුත් අග නගරයට, රාජ මාලීඟාවට ගොස්  බිසෝවරු  හමු වූ පසු , අසපුවේදී සිදුවූ දෑ හෝ අපගේ මිතුරිය එතුමාගෙ සිතින් අමතකව යාදැයි බියක් විටින් විට මගේ හදවත පුපුරු ගස්වන්නේය.
සකුන්තලාවටද නොයෙක්වර එසේ දැනෙනා බව ඇයද පෙර දින සවස මා සමඟ පැවසූ හෙයින් කම්පාවට පත්ව සිටිමි."

" නැත අනසූයා එසේ නොසිතන්න. එතුමා රජෙකි. රජවරු කිසිකළෙකත් අසත්‍ය ප්‍රතිඥා නොදෙති. එතුමා එය ඉටුකරලනු නිසැකයි. මා හට සිතා ගත නොහැක්කේ මේ පිළිබඳව දැනගැනීමෙන් පසු පියතුමා කුමක් පවසයිද යන්න පිළිබඳවයි".

" පියතුමා නම් අකමැත්තක් නොදක්වනු නියතයි."

" ඒ කුමක් නිසාද?"

" කන්‍යාවක් ගුණවන්තයෙක් වෙත විවාහ කොට දීමයි සිරිත. ඉතින් එය එසේම සිදුවෙනවානම් එය වරදක්ද මිතුරිය."

" දේව පූජාව සඳහා අවශ්‍ය තරම මල් නෙලා තිබෙන බැවින් අප හට දැන් පූජාව සඳහා යා හැකියි"

යාමට සූදානම් වී ඉදිරියට පය එසවූ ප්‍රියංවදා කුටිය දෙසින් කිසිවකුගේ කටහඬක් ඇසෙන බවක් දැන නැවතී ඇහුම්කන් දුන්නාය.

" කිමෙක්ද අනසූයා යම් වෙසෙස් අමුත්තකු පැමිණ ඇති හැඩයි."

" කුටිය අසල සකුන්තලා සිටි බවක් මාගේ මතකයේ තිබේ."

" නමුත්.. නමුත්.. ඇයගේ සිත ඇය අසල නොමැති බව නොදන්නේද? යමු යමු ඇය අතින් තවත් අතපසු වීමක් සිදුවීමට පෙර වහා ගොස් විමසා බලමු"

" එම්බල තරුණිය, අමුත්තකු පැමිණිවිට කෙසේ පිළිගත යුතුදැයි තී නොදන්නීද? තී කුමක් පිළිබඳව තිගේ යුතුකම් හා සිරිත් අමතක කොට දමා දවස මුළුල්ලේ සිතන්නීද. හා... හා.. එය කුමක් වුවද කම් නැත. නුඹගේ මුළු ජීවිතය මුළුල්ලේම සිතුවත් එය  නුඹට නොලැබෙන්නේමය. මින් පසුව වත් තමා ගේ යුතුකම් කොටස ඉටු කිරීමට සිතට ගනුව." මහත් කෝපයෙන් මෙසේ ශාප කළ දුර්වාසස් මහ ඉසිතුමා තවත් මඳකුඳු එහි නොරැඳී ආපසු යන්නට ගියේය.

8 comments:

  1. ඊළඟ කෑල්ල තවත් රසවත්....

    ඇත්තටම මං මුලින් උඩින් පල්ලෙන් බලල හිතුවෙ මේක කම්මැලි කතාවක් කියල. අද තමයි මුල ඉඳන් කියෙව්වෙ. අමුතු ලස්සනක් තියෙනවා..
    මේක ඔයාගෙම නිර්මාණයක්ද උපුටා ගැනීමක්ද ?

    ReplyDelete
  2. ලස්සනයි අරුන්දතී. කතාන්දරේ හැම කොටසකටම ගැලපෙන්න තෝරගන්න අපූරු ඉන්දියානු චිත්‍රත් හරිම ලස්සනයි. :)

    ReplyDelete
  3. @ යසිත්

    හි හි හරියට ඇපල් පෆ් වගේ නේද? :D

    නෑ උපුටා ගැනීමක් නෙවෙයි. මේක මම අහලා තියෙන කතාවක්. මහා භාරතයේ තියෙන එකක්ලු. කාලිදාස පඬිතුමා මේ කතාවෙන් නාට්‍යක් කරලා තියෙනවලු ශාකුන්තලය කියලා. මම බලලා නෑ. ඒත් ඒ ආශ්‍රයෙන් ලියැවුණු නාට්‍යයක් මම කියෙව්වා හුඟ කාලෙකට ඉස්සර. ඒ කතාවෙන් මූලාශ්‍ර අරන් මගේ විදියටයි මම කතාව ලියන්නේ..

    @ සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත

    ස්තූතියි ඔයාට.

    ඒත් මේක මම හදපු කතාවක් නෙවෙයි මගේ අදහස් එකතු කරලා කතාව ලියුවට. මහා භාරතයේ තියෙන කතාවක්. ශාකුන්තලා කියල ගූගල් සර්ච් කලොත් මේ කතාවට අදාල පින්තූර ගොඩක් හොයා ගන්න පුලුවනි.

    ReplyDelete
  4. හපොයි රාජ ප්‍රේමයට කණකොකා හඬන්ට වත් ද යන්නේ.. හ්ම්ම්.. බලමුකෝ ඉස්සරහට. ලස්සනට ගලාගෙන යනවා කතාව.

    ReplyDelete
  5. භාරත කතාවක් වුනාට ඔයා සිංහල භාෂාවත් එක්ක බොහොම හොඳට හරඹයන් පා තියෙන හැඩයිත ලස්සනට හසුරවලා තියෙනවා භාෂාව. මේකෙ තියෙන භාෂාව වර්තමාන හා අතිත කියන භාෘස දෙක අතරමැදි වර්ණයක් පාන බව මගේ හැඟිමයි. ලස්සනයි කතාව.

    ReplyDelete
  6. @ චන්දන

    ප්‍රේමයට ඉතින් රාජ මහාමාත්‍යය, දුගී දුප්පත් කියලා වෙනසක් නෑනේ නේද?

    @ රතී

    ස්තූතියි ඔයාට...

    ReplyDelete
  7. පොඩි කාලේ පන්සලේ බලාපු නාට්ටි මතක් උනා

    ReplyDelete
  8. අදයි මේ පැත්තට ගොඩ වුණේ.. පෝස්ට් ටික කියවලා බලලා ඒ ගැන කමෙන්ටු දාන්නම්..ජය..!!

    ReplyDelete