Wednesday, November 21, 2012

පෙරැස් මුඳුව 04


පෙරැස් මුඳුව 02

පෙරැස් මුඳුව 03

" තාපසවරු මේ වන විටත් ඔබ තුමා හඳුනාගෙන තිබෙන බවයි පෙනෙන්නේ. කෙසේද ඔබ වහන්සේ ඇය මා හට දක්වන්නේ?"

" එසේය මිත්‍රය, අසපුවට නැවත කුමන කරුණක් උදෙසා යන්නේදැයි මට අදහස් කර ගත නොහැකිවයි මා පසුවන්නේ.."

එයට විදූශ පිළිතුරු දීමට පෙර , දොරටු පාලයන් දෙදෙනාගෙන් අයකු පැමිණ රජුට හා විඳූශ ඇමතිතුමාට අචාර කර සිටියේ  කුඩා තාපසවරු දෙදෙනෙකු රජු හමුවීමට පැමිණ ඇතැයි දැන්වීය.

එම කුඩා තාපසවරුන් දෙදෙනා කැඳවාගෙන ඒම සදහා මහරජතුමාගේ අවසරය ලද බැවින් රජු හමුවට ඉදිරිපත් වූ කුඩා තාපස තුමන්ලා දෙදෙනා රජු විසින් නමස්කාරපූර්වකව පිළිගනු ලැබූ අතර , රජු බැහැදැකීමට පැමිණි උවමණාවද ගෞරවයෙන් විමසනු ලැබිණ.

" මහ රජතුමනි, ඔබතුමා හමුවීමට අප පැමිණියේ අසපු වාසීන්ගේ ඉල්ලීමක් පිළිබඳව ඔබතුමාට දැනුම් දීම සදහායි"

"අවසර තාපස තුමනි, ඔබ වහන්සේලා වෙනුවෙන් මා හට කළ හැක්කේ කුමක්ද?"

" කන්ව ඉසිතුමා මෙම දිනවල අසපුවේ නොසිටින බැව් දැනගත් රාක්ෂසයෝ අපගේ යාග කර්ම හා තපස්වීන්ට බාධා ඇති කිරීමට පෙළඹී තිබේ. එබැවින් ඔබවහන්සේගේ පරිවාරකයකු හා රියැදුරා සමඟ කිහිප දිනක් අසපුවේ නවාතැන් ගන්නැයි අසපුවාසීහු ඔබතුමාට ගෞරවයෙන් දන්වා සිටිති."

" එම ඉල්ලීම මා හට කරනු ලැබූ ඉමහත් ගෞරවයක් ලෙස මා බාර ගත් බව දන්වා සිටිනු මැනවි"

" බොහොමත්ම පින් රජතුමනි, රාක්ෂසයන් මර්ධනය කළ හැක්කේ ඔබ තුමාටම පමණක් බවයි විශ්වාසය"

" දඩ කෙළියෙන් බොහොමත්ම වෙහෙසට පත්ව සිටින මගේ පිරිවර ආපසු පිටත් කර යැවීමෙන් පසුව මා කඩිනමින් අසපුව වෙත පැමිණෙන බව දන්වා සිටිනු මැනවි"

තාපසවරුන් දෙදෙනා රජුට ආශිර්වාද කොට පිටව යත්ම තම සිනහව ආයාසයෙන් පාලනය කොට ගෙන හුන් විදුශ ඇමතිතුමා මහත් සහනයක් ලද්දේ හඬ නගා සිනාසෙන්නට වූයේය.

"අසපුවට යන්නට කරුණක් සොයමින් සිටි ඔබතුමාට ඒ සඳහා කරුණක් නිතැතින්ම පහළවූ වනැයි"  සිනහව අතරින්ම ආයාසයෙන් පවසා ගන්නටද හෙතෙම සමත් වූයෙන් රජුටද සිනහ නැගුණි. 

" හා හා එසේය එය නම් පෙර පින් පළ දීමකැයි මටද සිතේ . කෙසේ වුවත් විදූශ ඔබද මා සමඟ යන්නේය.එබැවින් රථාචාර්යයා පමණක් නවතා තබාගෙන ඉතිරි පිරිස සේනාපති තුමා සමඟ මාලිඟාවට පිටත් කර යැවීම ඔබට බාරයි මිත්‍රය."

දුෂ්‍යන්ත රජුගේ නියෝගය පිරිසට දැනුම් දීමට කුටියෙන් පිටව ගිය විදූශ නැවත පැමිණියේ තවත් පණිවුඩයක්ද රැගෙනයි.

" දේවයන් වහන්ස, මහ වාසලින් පණිවුඩයක් රැගත් පණිවුඩකරුවෙකු පැමිණ සිටියි."

"කවරකුගෙන්ද?"

" මවු බිසවුන් වහන්සේගෙන් දේවයන් වහන්ස"

" කුමක්? මවු බිසවුන් වහන්සේගෙන්? වහාම පණිවුඩකරු කැඳවනු"

පණිවුඩකරුවා පිවිස රජුට ආචාර කර එකස්පත්ව සිටියේ පණිවුඩය කුමක්දැයි රජුවිසින් විමසනු ලැබිණි.

" අවසර දේවයන් වහන්ස, ගැත්තාට සමා වුව මැනවි.අද දින සිට තෙදිනක් ගතවූ පසු , බිසවුන් වහන්සේලාගේ උපවාස ව්‍රතයන් අවසන් වන බැවින් ව්‍රතාන්ත උත්සවය සඳහා ඔබතුමා සහභාගී විය යුතු බව මවු බිසවුන් වහන්සේ විසින් දන්වා සිටින වගයි. එතුමිය පැවසුවේ ඔබතුමා අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු බවයි දේවයන්වහන්ස"

" හොඳයි.. ඔබට යාමට අවසර"

" විදූශක.. පැහැර නොහැරිය හැකි කරුණු ද්විත්වයක් එකවිටම යෙදී තිබේ. කුමක් කළ යුතු යැයි ඔබ සිතන්නේද?"

" ස්වාමීනී..රාක්ෂසයන් මර්ධනය කළ හැක්කේ ඔබ තුමාටම පමණකි. අසපුවාසීහු ඔබතුමා කෙරෙහි විශ්වාසය තබා ඇත්තාහුය. එසේම මවු බිසවුන් වහන්සේගේ ව්‍රතාන්ත උත්සවය සඳහා පුත්‍ර තනතුරෙහි ගෞරවයන් ලබන්නට හා යුතුකම් ඉෂ්ඨ කිරීම සඳහා ඔබ වහන්සේ සහභාගී විමද කළ යුත්තක්මය."

" හ්ම්... විදූශ.. මවු බිසවුන් වහන්සේ අවබෝධ කර ගැනීමේ ශක්තිය අතින් ඉහළම ස්ථානයක් ලබා ඇත්තීය. එබැවින් එතුමිය කරුණු නිසිපරිදි අවබෝධ කරගනු නිසැකයි. මා මෙන්ම එතුමිය ඔබද පුත්‍ර තනතුරේ ලා සලකන්නීය. එසේ හෙයින් ඔබ එතුමිය වෙත ගොස් මා තාපසවරුන් සම්බන්ධ වැදගත් කටයුත්තක යෙදී ඇති බව එතුමිය වෙත ගෞරවයෙන් දැනුම් දී  ව්‍රතාන්ත උත්සවය සාර්ථක කරගැනීම සදහා අවශ්‍ය කටයුතු නිසිපරිදි සම්පාදනය කිරීමට කටයුතු කළ යුතුය."

" එසේනම් දේවයන් වහන්ස ඔබ වහන්සේගේ සියළු සිතුම් පැතු ඉටු වේවා." පැවසූ විඳූශ ගේ මුවට නැංගේ සෝපහාස සිනාවෙකි. රජු එය දුටුවත් නුදුටුවා සේ පසු වූයේ මෙසේ කල්පනා කළේය. 

" මා සකුන්තලා කුමරිය පිළිබඳව පැවසූ දෑ මවු බිසවුන් වහන්සේගේ එක් විමසීමකදීම විදූශගේ මුවින් හෙළි විය හැකියි. එසේම වසුමතී බිසවුන් හෝ ඇතොර අනෙකුත් බිසවකට හෝ විදුෂගේ මුවින් මෙය හෙළිවීම යුතු නොවේ"

" හෝ හෝ විදූශ..වරදවා වටහා ගත යුතු නොවේ. අසපු වාසීන් රාක්ෂස බියෙන් මුදවා හැරීම සඳහා පමණක්ම රැඳෙන්නෙමි. එසේ නොමැතිව කෙතරම් රූමත් වුවත් තාපස කන්‍යාවක් සරණ පාවා ගැනීම වැනි පුරු වංශයට අභිමත නොවූ කරුණක් කෙරෙහි මා සිත නොයෙදේ."

රජවරු කිසි කළෙකත් මුසා බස් නොදොඩති. එහෙයින් රජු දෙස විමතියෙන් නෙත් හෙළු විදූශ හිස නමා රජුට ආචාර කොට නික්ම ගියේ සකුන්තලාව පිළිබඳව එතෙකින්ම අමතක කොට දැම්මේය. රජවරු කිසි කළෙකත් බොරු නොකියති. නමුදු රජු , " කෙතරම් රූමත් වුවත් තාපස කන්‍යාවක් සරණ පාවා ගැනීම වැනි පුරු වංශයට අභිමත නොවූ කරුණක් කෙරෙහි මා සිත නොයෙදේ." යනුවෙන් පැවසුවේ සකුන්තලා තාපස කන්‍යාවක් ලෙස නොසැළකෙන බව ඇගේ මිතුරියන්ගෙන් සත්‍ය ලෙසම දැන හුන් බැවිණි. එබැවින් එය මුසාවක් නොවේ. විදූශගේ නොදැණුවත්කමම පමණෙකි.

මඳ සිනාවක් නගා ගත් රජු තම අස් රිය හා දුනු හී ගෙන්වා ගත්තේ රථාචාර්යයා සමඟ අසපුව බලා පිටත්ව ගියේය.