Saturday, December 8, 2012

මලිත්තිගෙ කතා - දඟ මල්ල



මලිත්තී

මලිත්තිගෙ කතන්දර - අපේ රට

මලිත්තිගෙ මොන්ටිසෝරිය



එදා නිවාඩු දවසක්. මලිත්තිට මොන්ටිසෝරිත් නෑ. ඒත් ඉතින් උදේම නැගිටින්ට මලිත්ති දැන් පුරුදු වෙලානෙ. ඒ නිසා මලිත්ති උදේම නැගිට්ටා.මූණ එහෙම හෝදගෙන අම්මා තම්බලා තිබුණු කඩල පිඟානත් අරගෙන මලිත්ති හිමින් හිමින් සාලෙ පැත්තට ආවේ ටී වී එකේ කාටුන් බල බලා කඩල කන්ට හිතාගෙනයි. මලිත්ති කඩල , කවුපි වගේ දේවල කන්ට ටිකක් කම්මැලියි. ඒ නිසා අම්මා මල් වැටිච්ච බොහොම අලංකාර බොකු දීසියක් වෙන්කරගෙන ඉන්නවා මලිත්තිට කඩල කන්ටම . දීසියට ආසාව හින්දා මලිති වැඩිය කලබල කරන්නෙත් නෑ. මලිත්ති හිමින් හිමින් සාලෙ පැත්තට යද්දි ලොකු නැන්දාගෙ කාමරේ පැත්තෙන් ඇහෙනවා කසු කුසුවක්. ලොකු නැන්දයි චූටි නැන්දයි දෙන්නා. කතාවෙන් තේරුන විදියට නම් ලොකු නැන්දා යනවලු යාලුවෙකුගෙ  හෝම් කමින් උත්සවයකට. ඉතින් දෙන්නා එක්ක එකතුවෙලා ලොකු නැන්ද අඳින්ට තෝරා ගත්තු සාරියට ගැලපෙන ආභරණ තෝරනවා. මලිත්ති මේ වගේ වැඩ වලට හරි ආසයි. ඉතින් ටී වී බැලිල්ල පැත්තක තියෙලා බාගෙට වහලා තිබුණු දොරත් තල්ලු කරගෙන මලිත්ති ගියා ලොකු නැන්දගෙ කාමරේ ඇතුලට. කොහොමත් නැන්දලා නම් කැමති නෑ මලිත්ති කාමර වලට එනවට. ඇයි ඉතින් අතට අහුවෙන හැම දෙයක්ම ඇදලා දාන්ට මලිත්ති හරි දක්ෂයි නොවැ.


" මොකද ෂෙනාලි , කාගෙ හරි රූම් එකකට එනකොට එ‍ක්ස්කියුස් කරලා එන්ට කියලා මම හැමදාම කියනවා නේද?"



 මලිත්ති කාමරේට යනවත් එක්කම ලොකු නැන්දා තෝරගත්තු ආභරණ ටික අල්මාරිය උඩින් තිබ්බෙ එහෙම කියමින්.පොඩි නැන්දා ඉතුරු ආභරණ ටික ඉක්මනට එකතු කරලා ආභරණ පෙට්ටියට දාගෙන එයාගෙ කාමරේට යන්ට නැගිට්ටේ මලිත්ති ඒවා දකින්ට කලින් අල්මාරියේ දාගන්ටයි. ලොකු නැන්දා මලිත්ති දිහා නොබලම සාරිය අඳින්ට පටන් ගත්තේ මලිත්තිගෙ කරදරෙන් බේරෙන්ට හිතාගෙනයි.



" ලොකු නැන්දේ , ලොකු නැන්දේ ඔයා කොහෙද යන්නේ?"



" මටත් දෙන්ටකෝ ඔය මාලෙ ටිකක් බලන්ට"



" නැන්දා අඳින්නේ සාරියද ඔසරියද? අපෙ අම්මා නම් අඳින්නේ ඔසරිය"



මලිත්ති කොච්චර ප්‍රශ්න ඇහුවත් ලොකු නැන්දා නෙවෙයි උත්තර දුන්නේ. එයා එයාගෙ පාඩුවේ සාරිය අඳිනවා කන්නාඩි මේසෙ ඉස්සරහ ඉඳන්. මලිත්තිට පිටිපස්ස හරවලා උන්නට කන්ණාඩියෙන් නැන්දට මලිත්තිව පේනවා. මලිත්ති හිමින් හිමින් කඩල කනවා. වටපිට බලන ගමන්. ඒත් මලිත්තිගෙ අත පොවන දුරක මලිත්තිට හිත යන කිසිම දෙයක් නෑ. ලොකු නැන්දා එයාගෙ පව්ඩර්, ක්‍රීම්, සුවඳ විලවුන් බෝතල් පවා කණ්ණාඩි මේසෙ ලාච්චුවට දාලා අගුල දාලා. නැන්දා ඇඳලා ඉවර වෙලා මූණ හැඩ කරන්ට පටන් ගත්තා. මලිත්ති හිමින් හිමින් ලං උණේ නැන්දගෙ මේකප් බඩු තිබුණු ප්ලාස්ටික් කැටයම් පෙට්ටිය දිහාටයි. නැන්දා කන්ණාඩියෙන් මලිත්තිව දැක්ක නිසා ඉක්මනට ඒක අරන් මලිත්තිට අත පොවන්ට බැරි වෙන්ට අල්මාරිය උඩින් තිබ්බා. මලිත්තිට හරිම තරහයි. ඊට වඩා තරහයි නැන්දා කතා නොකරන නිසා. 



" නැන්දේ..." මලිත්ති ආයෙම කතා කලා. ම්හ්.. නැන්දා කතා කරන්නේ නෑ. කොහොමද නැන්දා කතා කරවන්නේ.  වට පිට බලපු මලිත්ති දැක්කේ එයා කඩල කාපු බොකු දීසිය. ඒකෙ තව කඩල ඇට කීපයක් ඉතුරු වෙලාත් තිබුණා. හිමින් දීසිය අතට ගත්තු මලිත්ති නැන්දා දිහා බලාගෙනම ඒක ඇඳ ලඟ බිමින් තිබ්බා. වම් කකුල පුලුවන් තරම් උඩට උස්සපු මලිත්ති ලැහැස්ති උණේ දීසිය පාගලා කඩලා දාන්ටයි. 



" හා..හා..හා...එපා" නැන්දාට කෑ ගැහුණේ ඉබේටම වගෙයි. කකුල ආපහු ගත්තු මලිත්ති හයියෙන් හිනා වෙන්ට පටන් ගත්තා



" මොකද ඔය කරන්ට හදන්නේ?" නැන්දා ඇහුවෙ ටිකක් තරහෙන්.



" ඇයි එහෙනම් ඔයාට කතා කරන්ට බැරිද මම මොනා හරි ඇහුවහම?" මලිත්තිත් ඇහුවෙ නැන්දා දිහාට හැරිලා බිම තිබ්බ දීසිය ආපහු අතට ගන්න ගමන්මයි.



" ඒකද ඔය දීසිය පාගන්ට හැදුවේ?"



" හිහි ඉතින් මම කොහොම හරි නැන්දාව කතා කෙරෙව්වානේ." හිනාවෙවී කියපු මලිත්ති දීසිය මේසෙ උඩින් තියලා ඇඳ උඩ වාඩි වෙලා කකුල් පද්දන්ට ගත්තා. නැන්දා බලාගෙන හිටියේ මොකද කියන්නේ කියලා හිතා ගන්ට බැරුවයි. කොහොමද මලිත්තිගෙ මොලේ...


රමේෂ් අයියා...












මේත් මලිත්තිට නිවාඩු දවසක්. එදා නම් අප්පච්චිත් ගෙදර ඇවිත් හිටියා. අම්මා ලෑස්ති වෙලා හිටියේ අප්පච්චිත් එක්ක අම්මගෙ යාලුවෙක්ගෙ ගෙදර යන්ට. එයා කොළඹ පැත්තෙ කෙනෙක් උනාට නුවරට ස්ථාන මාරුවීමක් ලැබිලා ඇවිත් නුවරින් කුලියට ගෙයක් අරගෙන පවුලෙ අයත් එක්ක පදිංචි වෙලයි හිටියෙ. හුඟ දවසක ඉඳන් යන්ට හිතන් හිටියත් යන්ට බැරි උණ නිසා අම්ම එදා උදේම මලිත්තිවත් ලැහැස්ති කරගෙන අප්පච්චිත් එක්ක , යාලුවගෙ ගෙදර හොයාගෙන ගියා. ගෙයක් කිවුවට ඒ ගොල්ලො කුලියට අරන් හිටියෙ ගෙදරක උඩ තට්ටුවක්. යට තට්ටුවෙ තවත් පවුලක් පදිංචි වෙලා හිටියා. උඩ තට්ටුවක් උනාට බැල්කනියක්, කාමර තුනක්, පොඩි සාලයක් වගේම බාත් රූම් එකකුත්, කුස්සි කෑල්ලකුත් මේ ගොල්ලො පදිංචි වෙලා හිටපු කොටසට ඇතුලත් නිසා ඉඩකඩ හොඳට තිබුණා. තේ පානය ඉවර උනාට පස්සෙත් අම්මගෙයි යාළුවගෙයි කතාව නැවතුණේ නෑ. ඒ දෙන්නා ආගිය කතා කියවන අතරේ, අප්පච්චි , ඒ ගෙදර පිරිමි කෙනා එක්ක වාහන ගැන කතාවක් පටන් ගත්තා. මේ ජාතියේ කතා ඉතින් ඇදි ඇදී යන ඒවනේ. මලිත්ති වට පිට බැලුවා. ඒ ගෙදර මලිත්තිට කතා බහ කරන්ට සෙල්ලම් කරන්ට තරම් වයසක කවුරුත් නැහැ. එයා හිමින් හිමින් බැල්කනි එකට ගිහින් බලාගෙන හිටියා. බැල්කනි එකට තාර පාර හොඳට පේනවා. ගෙදරට එන ගේට්ටුවත් ටිකක් දුරින් තිබුනත් පැහැදිලිව පේනවා. වෙලාව එකොලහ මාරට දොළහට විතර ඇති. පාරෙ වාහන හුඟක් යනවා. පුන්චි ලමයින්ගෙ පාසෙල් ඉවර වෙලා ඒ ලමයි අරන් එන ස්කූල් සර්විස් වෑනුත් අතරින් පතර යනවා පේනවා. මලිත්ති පේනට නැති නිසා අම්මා ටිකක් එබිකම් කරලා බැලුවා මලිත්ති කෝ කියලා. මලිත්ති දැක්කම එයා මොනවා දිහාද මේ සද්ද නැතුව බලන් ඉන්නේ කියලා අම්මට පුදුමයි. ඇයි ඉතින් මලිත්ති නිශ්ශබ්දව , එකතැනක ඉන්න ලමයෙක් නෙවෙයිනෙ. අම්මාත් ටිකක් කිට්ටුවෙලා බලන් හිටියා. ඒ වෙලාවෙම වාගේ ගේට්ටුව ලඟ නවත්තපු ස්කූල් වෑන් එකකින් පුංචි පිරිමි ලමයෙක් බැහැලා ආවා. ඒ ලමයා මලිත්තිව නොදැක්කට මලිත්තිට එයාව හොඳට පේනවා .


" රමේෂ් අයියා............" පිරිමි ලමයා ගෙදරට ලං වෙනකල් ඉඳලා මලිත්ති පුලුවන් තරම් හය්යෙන් කෑ ගහලා කතා කළා.පිරිමි ලමයා නැවතිලා උඩ බැළුවා.අම්මට හිතා ගන්ට බෑ මලිත්ති මේ ලමයා අඳුනනවා කියලා. අම්මටත් ඒ ළමයා දැකලා පුරුදු බවක් හිතුණේ නෑ.



" මගෙ ෆෝන් එකට රී ලෝඩ් එකක් දානවද?"   පිරිමි ලමයා මොකුත් කියන්නත් කලින්ම මලිත්ති ආපහු හයියෙන් කෑ ගහලා ඇහුවා. මලිත්තිගෙ කටේ සද්දෙ ඇහිලා එතෙන්ට එකතු වෙලා හිටිය ඔක්කොමලා හයියෙන් හිනා වෙනකොටයි මලිත්ති දැක්කේ කට්ටිය ඔක්කොම එතැන කියලා. කට්ටිය දැකලා ලැජ්ජා හිතුණු පිරිමි ලමයා ඉක්මනින් ගේ දිහාට දුවගෙන ගියා.



ඕක ඒ දවස්වල නිතරම ටී වී එකේ යන අනාර්කලී රඟපාන වෙළද දැන්වීමක් කියලා අම්මා තුෂ්නිම්භූත වෙලා වගේ බලාගෙන හිටපු අප්පච්චිට පැහැදිලි කරලා දුන්නා. මලිත්තිට ඒ ලමය දැක්කම එහෙම අහන්ට හිතුණෙ ඇයි කියලා නම් කාටවත් හිතා ගන්ට බැරි උණා.


7 comments:

  1. පට්ට කතා දෙක. නියමයි ඈ... දැන් ඉතින් හිනාවෙලාම නිදාගන්ඩ පුලුවන්. :D

    ReplyDelete
  2. මම මේකට කමෙන්ට් එකක් දැම්ම වගේ තමයි මට මතක :O

    ReplyDelete
  3. නියමයි නේ.. කොහොමත් පොඩි උන්ගේ කතා, කරන වැඩ සුන්දරයි..

    ReplyDelete
  4. @ සිහින

    හිනා වෙන්න හිනාවෙන්න එතකොට තර වෙන්නේ... :D

    @ සමී

    දැම්ම නං කෝ ඉතිං? :(

    @ චන්දන

    ඇත්තටම ඔව්...

    @තරුවා

    ස්තූතියි....

    ReplyDelete
  5. අම්මෝ කාලෙකට පස්සේ මලිත්ති එලියට බැහැලා.

    ReplyDelete
  6. ඔව් මධු .. ඔයත් කාලෙකට පස්සෙනේ..

    ReplyDelete