Tuesday, December 11, 2012

පෙරැස් මුඳුව 06


පෙරැස් මුදුව 01
පෙරැස් මුඳුව 03

සකුන්තලාවද තම මිතුරියන්ගේ සහයෙන් නැගී සිටියා තම කුටිය කරා යා යුතු බව දැනුම්දුන්නාය. සන්ධ්‍යා යාගය සඳහා දුෂ්‍යන්ත රජුද සහභාගි විය යුතු හෙයින් ඔහුද මිතුරියන්ගෙන් සමුගත්තේ මිතුරියන් පිටව යන දෙස බලා හුන්නේය. මඳ දුරක් මිතුරියන් සමඟ ගමන් කළ සකුන්තලා නැවතී තම පාදයේ ඇනී ගිය කටුවක් ඉවත් කරන නියායෙන් නැවත රජු දෙස හැරී බැළුවාය. රජු ඒ වන විටත් ඔවුන් දෙස බලා සිටි බව දුටු ඇය වහ වහා ඉදිරිය බලා ගත්තේ මිතුරියන් සමඟ යන්නට ගියාය. සුසුමක් හෙලා ළය සැහැල්ලු කරගත් දුෂ්‍යන්ත රජුද යාග භූමිය කරා පිය නැඟුවේ පසු දින කෙසේ හෝ සකුන්තලා කුමරිය හමුවන්නෙමියි යන අදිටන ඇතිවය.
                                 **************


පසු දින උදෑසන යාගය අවසාන වීමෙන් පසු , තවුස් වරුන්ගෙන් අවසර ගත්තේ මඳ විවේකයක් ලනා ගනු පිණිස තම කුටිය බලා ගියේය. ස්නානය කිරීමෙන් පසු සැහැල්ලු ආහාර වේලක් ලබාගත් රජු සයනය වෙත ගියද නින්ද නොපැමිණි හෙයින් මඳක් විවේකීව සක්මන් කිරීමට සිතා සෙමෙන් සෙමෙන් නදී තෙර වෙත පියමැන්නේය. පෙර දින සකුන්තලාව හා යෙහෙලියන් හමුවූ තුරු මඬුල්ල අසබඩට ලඟා වත්ම හදවත නොසන්සුන් වනු දැනුණෙන් නිසඟයෙන්ම ඔහු ඒ වෙත ගමන් කළද තුරු මඬුල්ල තුල සිදුවූ කතා බහක් කණ වැටුණෙන් හිටිපියම නතර විය. ඒ සකුන්තලා හා යෙහෙළියන් බව අවබෝධවත්ම ඔවුන්ගේ කතා බහට කන් දීමේ ආශාවක් රජුටද නොදැනීම හදවතෙහි පහළ වූයෙන් එම ආශාවට කීකරු වූ රජතුමා ඔවුනට තමා නොපෙනෙනෙ පරිදි ලතා මඬුල්ලකින් ආවරණය වූ ස්ථානයක අසුන් ගත්තේය.



" සකුන්තලා... ඔබට කුමක් සිදුවී ඇත්දැයි අප  නොදන්නෙමු. නමුදු ඔබගේ හදවතෙහි අපහට නොකියන කිසිවක් ඇතැයි හැඟේ" 



" එය සත්‍යයයි සකුන්තලා. කුඩා කල සිට අප එකට හැදුනෙමු. වැඩුනෙමු.අපගේ රහස් බෙදා ගතිමු. මෙතෙක් කල් අප අපහට නොකී රහසක් නොතිබිණැයි සිතමි"



" ඔබගේ සිතෙහි කුමක් තිබේද? නුඹ කුමක් නිසා එය අපහට වසන් කරන්නට තැත් කරන්නීද?"



යෙහෙළියන්ගේ කිසිදු පැණයකට පිළිතුරු නොදුන් සකුන්තලා වැතිර හුන් ,මල් අතුල ගල් පුවරුව මතින් නැගී මිතුරියන්ට පිටුපා සිට ගත්තී ගලා බසිනා නදිය වෙත නෙත් රඳවා උන්නාය.



" නොබා පවසන්න යෙහෙළිය , නුඹ වෙනුවෙන් කළ යුතු යමක් ඇත්නම් නොපසුබටව එය කර දෙන්නට අප හට හැකි වෙතැයි සිතේ"



ආපසු හැරී ගල් පුවරුව වෙත ආ සකුන්තලා එහි අසුන් ගෙන තම වක්ත්‍රය බිමට හරවා ගත්තීය. උනුන් දෙස බලා ඉඟි කර ගත් යෙහෙළියන් දෙදෙනගෙන් අනසූයා 



" මගේ හදවත නම් පවසන්නේ ඔබ , තපෝවනය සුරැකීමට පැමිණි දුෂ්‍යන්ත රජතුමා දුටු දින පටන් නොසන්සුන් වූ බවයි."



" එසේය , නුඹ මේ පීඩිතව පසුවන්නේ වෙනත් ශාරිරීක ආබාධයකින් නොව එතුමන් කෙරෙහි බැඳුණු ප්‍රේමය පැවසීමට නොහැකි වීමෙන් නොවේද?"



මිතුරියන් පවසන දෑ ඇසුණු රජතුමා ගේ මුවඟට සිනාවක් නැංගේ තම සිතේ සැකයක්ව පැවති දෑ ඔවුන්ගේ මුවින් පැවසුණු හෙයිනි. තමාටත් එම පැනයට පිළිතුරක් අවශ්‍යව තිබූ හෙයින් රජතුමා, යෙහෙළියන් හට නොදැනෙන්නෙට ඔවුන් පෙනෙන මානයට ගමන් ගත්තේ  සකුන්තලාවගේ පිළීතුර කුමක් විය හැකිදැයි දැන ගැනීමටය.



එයට කිසිඳු පිළිතුරක් නොදුන් සකුන්තලාව එසේය යැයි හැඟවෙන පරිදි හිස මඳක් සැළුවා , මුවින් කිසිවක් නොබිනුවාය.



" සොඳුරිය , මම එය ඔබේ මුවින්ම ඇසීමට කැමැත්තෙමි." 



රජු තවත් මඳක් ඉදිරියට ගමන් කළේ හඬ නගා පැවසුවෙන් මිතුරියෝ තිදෙනාම තිගැස්සී ගියහ.සකුන්තලා එක් වරක් පමණක් රජුගේ මුහුණ දෙස නෙත් හෙලා බිම බලා ගත්තාය.



"මිතුරිය අනසූයා.. අන්න අර අතන ඉන්න මුව පොව්වා අතරමංවී ඇති හැඩයි. එන්න අපි ඌ උගේ මව වෙත ගෙනයමු"



 පැවසූ ප්‍රියංවදා අනසූයා වෙත නෙත් හෙළුවාය



" මිතුරියනි, ඔබලා දෙදෙනාම ගියහොත් මා හට පිහිට වන්නේ කවුරුද?" සකුන්තලා බියපත් ස්වරයකින්  ඇසුවාය.



" කිමෙක්ද සකුන්තලා, ඔබ සමඟ සිටිනුයේ මිහිකතට පිහිට වන තැනැත්තා නොවේද?"

පැවසූ අනසූයා තවත් යමක් කීමට කැමැති බව දක්වමින් රජුවෙත නෙත් හෙළුවාය. රජු ඇයගේ අදහස අවබෝධ කරගත්තේ කිමෙක්දැයි ඇසීය.


" සමාවුව මැනවි දේවයන් වහන්ස, රජවරුන්ට අන්ත:පුර ස්ත්‍රීන් ඕනෑ තරම් සිටිනා බව අසා ඇත්තෙමු. නමුත්, ඔබට ප්‍රේමයෙන් පසුවන අපගේ මිතුරිය පිළිබඳව ඇගේ නෑසියන් ශෝකයට පත් නොවනා අයුරින් කටයුතු කරන්නැයි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නෙමු "



" පින්වතිය, නුඹගේ මිතුරියගේ හද තුල මා කෙරෙහි පවතින්නාවූ ප්‍රේමය හා සමාන ප්‍රේමයක්, එසේත් නැතහොත් එයටත් වඩා මහත් ප්‍රේමයක් මාගේ හද තුලද ඔබගේ මිතුරිය කෙරෙහි පවතින්නේය. ඉඳින් සැක නොසිතුව මනාය."



"අවසර දේවයන් වහන්ස"



මිතුරියන් තමා තනිකර දමා ගියහයි අදහා ගත් නොහැක්කේ හිඳ සිටි ගල් පුවරුවෙන් නැංගේ, පලා යාමට අතක් සොයන්නා සේ වට පිට බැළුවාය. රජ තෙමේද ඇය පළා යතැයි බියගත්තෙන් වහා ඇගේ සුරතින් අල්වා ගත්තේය.කලබලයට පත් සකුන්තලා විළියෙන් රත් පෑ ගත්තී වහ වහා තම සුරත මුදා ගත්තාය.



"පෞරව රජතුමනි, අප ආචාරශීලි විය යුතුයි.ප්‍රේමාතුර වුවත් මා තවමත් වැඩිහිටියන් හට යටත් තැනැත්තියක්මි."



" ඕ.. බියසුළු තැනැත්තිය. නුඹ සිතනුයේ නුඹ ගේ පියාණන් අප හට දොස් නගතියි කියාද? නැත සොඳුරිය එතුමා ධර්මය හොඳින් දත් සෘෂිවරයෙකි. එතුමා අපහට ආශිර්වාද කරනා බව මා හට නම් නිසැකයි."



මෙසේ ඔවුන් දෙදෙන ප්‍රේම සල්ලාපයෙන් පසුවන අතර , එහි පැමිණි මිතුරියන් දෙදෙන සැල කලේ ගෞතමී ආර්යාව සකුන්තලාව කැඳවූ බවයි. ප්‍රියයාගෙන් සමුගත් සකුන්තලාව , මිතුරියන් දෙදෙනද කැටුව ගෞතමී ආර්යාව බැහැ දකිනු වස් ,ආරාමය බලා පිය එසෙව්වාය.


5 comments:

  1. ප්‍රේම ප්‍රශ්නේ අඩක් විසඳුනා. :) කියවලම බලමුකෝ ඊ ලඟට මොකද වෙන්නේ කියල..

    ReplyDelete
  2. පහුගිය කොටස මිස් උනා. දෙකම අද කියෙව්වේ..... ඉතුරු ටිකත් ඉක්මනට ඕනේ

    ReplyDelete
  3. මුල් කොටස් නොකියවපු නිසා තාම තේරුණේ නෑ. කළින් ගොඩක් කොටස් ගිහින්.. නිවාඩු පාඩුවෙ කියවන්න ඕන.. රජ කතාවක් වගේ..

    බ්ලොග් එක මාර ලස්සනයි.. ඇහැට සනීප පාටක්..

    ReplyDelete
  4. මම ඔයා ලියන මේ ලස්සන කතාව මුල ඉඳන් හැම කොටසක්ම කියෙව්වා. හරිම අපූරුවට ලියලා තියනවා. ඓතිහාසික කතා කියවන්න මම කොහොමත් ගොඩක් ආසයි. කතාවේ ඉතුරු ටිකත් කියවන්න නොඉවසිල්ලෙන් ඉන්නෙ.

    ReplyDelete
  5. ස්තූතියි චන්දන...

    @ මී ගොඩයා
    පුලුවන් තරම් ඉක්මනින් ලියන්නම්

    @යසිත්

    ස්තූතියි යසිත්..

    @ සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත..

    ස්තූතියි සාදරයෙන් පිළිගන්නවා ඔයාව..

    ReplyDelete