Monday, December 3, 2012

පෙරැස් මුඳුව 05




පෙරැස් මුඳුව 02

පෙරැස් මුඳුව 03


රජවරු කිසි කළෙකත් බොරු නොකියති. නමුදු රජු , " කෙතරම් රූමත් වුවත් තාපස කන්‍යාවක් සරණ පාවා ගැනීම වැනි පුරු වංශයට අභිමත නොවූ කරුණක් කෙරෙහි මා සිත නොයෙදේ." යනුවෙන් පැවසුවේ සකුන්තලා තාපස කන්‍යාවක් ලෙස නොසැළකෙන බව ඇගේ මිතුරියන්ගෙන් සත්‍ය ලෙසම දැන හුන් බැවිණි. එබැවින් එය මුසාවක් නොවේ. විදූශගේ නොදැණුවත්කමම පමණෙකි.

මඳ සිනාවක් නගා ගත් රජු තම අස් රිය හා දුනු හී ගෙන්වා ගත්තේ රථාචාර්යයා සමඟ අසපුව බලා පිටත්ව ගියේය.

අසපුවට සාදරයෙන් පිළිගනු ලැබූ රජු හට නවාතැන් හා ආගන්තුක සත්කාර නොඅඩුව ලබාදිමට අසපු වාසින් උත්සුක වූ අතර රජුගේ පැමිණීමත් සමඟ යාගයන්ට තිබූ බාධාවන් බොහෝ දුරට අහෝසි වූ බැවින් තාපසවරුන්ට රිසි පරිදි යාග හෝම පැවැත්වීමේ අවස්ථාවද හිමි විය එබැවින්ම රජු බලවන්තයෙකියි පවතින් ආදහස ස්ථිර කර ගැනීමටද පසුබට නොවූහ. අසපුවට පැමිණ දින කීපයක් ගෙවී ගියද තම සිත්ගත් සකුන්තලා කුමරිය දැක ගැනීමට නොහැකි වීමෙන් චිත්ත පීඩාවට පත් රජු යාගය අවසන් බැවින්, එක් සන්ධ්‍යාවක දුණු හී පසෙක තැබූයේ, කල්පනාවෙන් බරව වනය තුල සක්මනෙහි නිරතවිය. එවිට එතැනින් ගමන් ගන්නා සකුන්තලා කුමරියගේ මිතුරියක වූ අනසූයා දැක ඇයගෙන් සකුන්තලාවගේ පවත් විමසනු වස් වහ වහා එදෙසට පිය නැගූවත් ඇය සිටිනුයේ තනිවම නොවන බව හැඟුණෙන් එතැන නතරව බලා සිටියේය .අනසූයා සමඟ සිටි අනෙක් තැනැත්තා කසුප් මහ මුණි තුමාගෙ ශිෂ්‍යයෙකි.

" අනසූයා කිමෙක්ද මේ? මේ ඔසුපැන් හා සැවැන්දරා විලවුන් රැගෙන යන්නෙ කවරෙක් හටද?"

" මේ සරත් සමයේ අවු රශ්මියෙන් පීඩිත සකුන්තලා කුමරියට සත්කාර පිණිසයි තවුස් තුමනි"

" ඔහෝ.. ඈ අසනීපයෙන්... එසේනම් පින්වත් කසුප් ඉසිතුමාගේ ප්‍රාණය හා සමාන වන ඇය ප්‍රවේශමෙන් රැක බලා ගත යුතුයි."

" එසේය තාපසතුමණී"

"යාගයට උපයෝගි කොටගත් ක්ෂාන්තී ජලය ස්වල්පයක් ගෞතමිය අත ඇය වෙත එවීමට කටයුතු කරන්නෙමි. එයින් ඇයට පිහිටක් ලැබෙනු ඇත."

"එසේය තාපසතුමනි.ඔබට බොහෝ පින්." පැවසූ අනසූයා තවුස්තුමාට ආචාර කර පිටත්ව යාමට අවසර පැතුවාය.

"සුවපත්වේවා" පැවසූ තවුස්තෙම අනසූයාට යාමට අවසර දී තෙමෙද ශි‍ෂ්‍යයන්ගේ කුටි දෙසට ගමන් ගත්තේය.

තවුස්තුමා පිටව ගිය පසු අනසූයා වෙත ගමන් ගත් රජු සකුන්තලාව පිළිබඳ පවත් විමසුවේය. 

" ඇය මඳක් අසනීපයෙන් රජතුමනි."

" කිමෙක්ද අසනීපය"

" නොදන්නෙමි දේවයන්වහන්ස. ඇගේ අසනීපය ගතෙහි නොව සිතෙහි යැයි හැඟේ."

" කිමෙක්ද පින්වතිය. නුඹ කුමක් ගැන පවසන්නීද?"

" නැත දේවයන් වහන්ස. වරදක් නොපැවසුවෙමි. සකුන්තලා කිසියම් සිතුවිල්ලක පසුවන බව මට හැඟේ. නමුඳු ඇය ඒ පිළිබඳව කිසිවක් නොපවසන්නීය."

" ඉතින් නුඹ සිතන්නේ ඒ සිතුවිල්ල කුමක් අරඹයාද?"

" නොදනිමි රජතුමනි. මා හට පමාවී තිබේ. මා දැන් යා යුතුය."

" නුඹ සකුන්තලා කුමරිය වෙත යන්නේ නම්, මා ඇය දකිනු රිසි බව ඈ වෙත පවසනු මැනවි."

" ඈ මේ වන විට මාලතී ගඟ අසබඩ තුරු සෙවනේ විවේකීව පසුවෙන්නීය. ඔබ වහන්සේ රිසිනම් ඈ දැක ගැනීමට මා සමඟ යා හැකිය."

මේ වදන් ඇසීමෙන් රජුගේ සිත තුල සතුටක් ඇතිවූවද එය නොමනා යැයි හැඟීමක්ද එකෙනෙහිම සිතට වැද ගත්තෙන් ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ තමා ඇය දැක ගනු රිසි බව සකුන්තලාව වෙත දන්වන ලෙස පවසා අනසූයාගෙන් සමුගෙන යන්නට ගියේය. රජුගේ හද තුල තම මිතුරිය වෙත යම් කිසි සෙනෙහසක් ඇතැයි සැක සිතූ හෙයින් තමා සමඟ මිතුරිය දැකීමට යෑම සඳහා පැමිණෙන ලෙස අනසූයා පැවසුවත්, රජුගේ ප්‍රතිචාරයෙන් ඇය සලකා ගත්තේ එය හුදෙක් සැකයක්ම පමණක් බවයි. එලෙසම නොපැවසුවත් තම මිතුරියගේ සිතෙහි රජුවෙත ඇල්මක් පවතින බවත් ඇය එය පැවසීමට බියෙන් පසුවන බවත් අනසූයා දැන හුන්නාය. සකුන්තාලාවගේ අසනීපය ගතෙහි නොව සිතෙහි හට ගත්තක් බව අනසූයා පැවසුවේ එහෙයිනි.

සකුන්තලාවන් වෙත එළඹ ඔසු පැන් පානය ඇය වෙත පිළි ගැන්වූ අනසූයා, තමාට දුෂ්‍යන්ත රජතුමා හමුවූ පුවත ප්‍රියංවදා වෙත පැවසුවේ සකුන්තලාවට රහසිනි. ප්‍රියංවදාගේ අදහස වූයේද රජු සකුන්තලාව දැකීමට රිසි බව පැවසූ බව පමණක් සකුන්තලාව වෙත දැනුම් දිය යුතු බවකි. 

" මිතුරිය සකුන්තලා, පෞරව වංශික දුෂ්‍යන්ත රජු ඔබ දැකීමට රිසි බව ඔබ වෙත දන්වන්නැයි මා හට පැවසුවා." සකුන්තලා එක්වරම තිගැස්සී ගියෙන් මිතුරියන් දෙදෙන උනුන් මුහුණු බලා ඉඟි කර ගත්හ.

" කුමක්? ඒ කුමකටද?"

" නුඹ  අසනීපයෙන් බව දත් හෙයින් පමණකි මිතුරිය" අනසූය සිනාසෙමින් පැවසුවාය.

එයට පිළිතුරක් ළබා දීමට සකුන්තලාවට කාළය මඳ වූයේ එතැනට එවේළෙහි ගෞතමී ආර්යාව පිවිසි හෙයිනි. ක්ෂාන්ති ජළය අඩංගු කෙන්ඩියක් අත දරා සිටි ඇය සමඟ දුෂ්‍යන්ත රජුද එහි පිවිසියේය. රජු දුටු කෙණෙහි විළිකුන් දඹ ඵලයක් ලෙස වත රතු කරගත් සකුන්තලාව තම වක්ත්‍රය ඉවතට හරවා ගත්තාය. අනසූයා හා ප්‍රියංවදා වහා නැගී සිටියෝ ගෞතමී ආර්යාවට හා රජුට ආසන පහසුකම් සලසා දුන්හ.

" කිමෙක්ද දියණිය.. දැන් නුඹට කෙසේද? තවමත් පහසුවක් නොදැනෙන්නේද?"

" නැත මෑණියනි. ඔසු පැන් පානය කළ පසු මඳ පහසුවක් ගතට දැනේ."

" මා ඔබ දැකීම පිණිස පැමිණෙන විට අපගේ මහ රජතුමා සම්මුඛ වූ හෙයින්ද, එතුමා නුඹ දැක ගැනීමට කැමැත්තෙන් පසු වූ හෙයින්ද සුව දුක් විමසීම පිණිස එතුමාද කැටුව පැමිණියෙමි."

මඳ වේලාවක් මිතුරියන් සමඟ සල්ලාපයෙන් පසු වූ ගෞතමී ආර්යාව පැවසුවේ සන්ධ්‍යා යාගය ආරම්භ වන බැවින් එම ස්ථානය කරා තමා දැන් පිටත්ව යායුතු බවයි. සන්ධ්‍යාව අවසන් වීමට තවත් හෝරාවකට වඩා නොමැති හෙයින් මිතුරියන් තිදෙනාටද තම කුටිය කරා යන ලෙස දැන්වූ ඇය රජුගෙන්ද සමුගෙන පිටත්ව ගියාය. සකුන්තලාවද තම මිතුරියන්ගේ සහයෙන් නැගී සිටියා තම කුටිය කරා යා යුතු බව දැනුම්දුන්නාය. සන්ධ්‍යා යාගය සඳහා දුෂ්‍යන්ත රජුද සහභාගි විය යුතු හෙයින් ඔහුද මිතුරියන්ගෙන් සමුගත්තේ මිතුරියන් පිටව යන දෙස බලා හුන්නේය. මඳ දුරක් මිතුරියන් සමඟ ගමන් කළ සකුන්තලා නැවතී තම පාදයේ ඇනී ගිය කටුවක් ඉවත් කරන නියායෙන් නැවත රජු දෙස හැරී බැළුවාය. රජු ඒ වන විටත් ඔවුන් දෙස බලා සිටි බව දුටු ඇය වහ වහා ඉදිරිය බලා ගත්තේ මිතුරියන් සමඟ යන්නට ගියාය. සුසුමක් හෙලා ළය සැහැල්ලු කරගත් දුෂ්‍යන්ත රජුද යාග භූමිය කරා පිය නැඟුවේ පසු දින කෙසේ හෝ සකුන්තලා කුමරිය හමුවන්නෙමියි යන අදිටන ඇතිවය.

3 comments:

  1. හ්ම්... පැටලුනා වගේ. අයේ කියවන ගමන් මේ.

    ReplyDelete
  2. hmmm hemeeta kiyawanna ona...
    hodai oyage site eka..digatama liyanna..
    asawen kiyawanawa...

    ReplyDelete
  3. ඒ කොටසත් ආසාවෙන් කියෙව්වේ. ලියන්නකෝ ඉතිරි ටිකත්.

    ReplyDelete