Tuesday, December 11, 2012

පෙරැස් මුඳුව 06


පෙරැස් මුදුව 01
පෙරැස් මුඳුව 03

සකුන්තලාවද තම මිතුරියන්ගේ සහයෙන් නැගී සිටියා තම කුටිය කරා යා යුතු බව දැනුම්දුන්නාය. සන්ධ්‍යා යාගය සඳහා දුෂ්‍යන්ත රජුද සහභාගි විය යුතු හෙයින් ඔහුද මිතුරියන්ගෙන් සමුගත්තේ මිතුරියන් පිටව යන දෙස බලා හුන්නේය. මඳ දුරක් මිතුරියන් සමඟ ගමන් කළ සකුන්තලා නැවතී තම පාදයේ ඇනී ගිය කටුවක් ඉවත් කරන නියායෙන් නැවත රජු දෙස හැරී බැළුවාය. රජු ඒ වන විටත් ඔවුන් දෙස බලා සිටි බව දුටු ඇය වහ වහා ඉදිරිය බලා ගත්තේ මිතුරියන් සමඟ යන්නට ගියාය. සුසුමක් හෙලා ළය සැහැල්ලු කරගත් දුෂ්‍යන්ත රජුද යාග භූමිය කරා පිය නැඟුවේ පසු දින කෙසේ හෝ සකුන්තලා කුමරිය හමුවන්නෙමියි යන අදිටන ඇතිවය.
                                 **************


පසු දින උදෑසන යාගය අවසාන වීමෙන් පසු , තවුස් වරුන්ගෙන් අවසර ගත්තේ මඳ විවේකයක් ලනා ගනු පිණිස තම කුටිය බලා ගියේය. ස්නානය කිරීමෙන් පසු සැහැල්ලු ආහාර වේලක් ලබාගත් රජු සයනය වෙත ගියද නින්ද නොපැමිණි හෙයින් මඳක් විවේකීව සක්මන් කිරීමට සිතා සෙමෙන් සෙමෙන් නදී තෙර වෙත පියමැන්නේය. පෙර දින සකුන්තලාව හා යෙහෙලියන් හමුවූ තුරු මඬුල්ල අසබඩට ලඟා වත්ම හදවත නොසන්සුන් වනු දැනුණෙන් නිසඟයෙන්ම ඔහු ඒ වෙත ගමන් කළද තුරු මඬුල්ල තුල සිදුවූ කතා බහක් කණ වැටුණෙන් හිටිපියම නතර විය. ඒ සකුන්තලා හා යෙහෙළියන් බව අවබෝධවත්ම ඔවුන්ගේ කතා බහට කන් දීමේ ආශාවක් රජුටද නොදැනීම හදවතෙහි පහළ වූයෙන් එම ආශාවට කීකරු වූ රජතුමා ඔවුනට තමා නොපෙනෙනෙ පරිදි ලතා මඬුල්ලකින් ආවරණය වූ ස්ථානයක අසුන් ගත්තේය.



" සකුන්තලා... ඔබට කුමක් සිදුවී ඇත්දැයි අප  නොදන්නෙමු. නමුදු ඔබගේ හදවතෙහි අපහට නොකියන කිසිවක් ඇතැයි හැඟේ" 



" එය සත්‍යයයි සකුන්තලා. කුඩා කල සිට අප එකට හැදුනෙමු. වැඩුනෙමු.අපගේ රහස් බෙදා ගතිමු. මෙතෙක් කල් අප අපහට නොකී රහසක් නොතිබිණැයි සිතමි"



" ඔබගේ සිතෙහි කුමක් තිබේද? නුඹ කුමක් නිසා එය අපහට වසන් කරන්නට තැත් කරන්නීද?"



යෙහෙළියන්ගේ කිසිදු පැණයකට පිළිතුරු නොදුන් සකුන්තලා වැතිර හුන් ,මල් අතුල ගල් පුවරුව මතින් නැගී මිතුරියන්ට පිටුපා සිට ගත්තී ගලා බසිනා නදිය වෙත නෙත් රඳවා උන්නාය.



" නොබා පවසන්න යෙහෙළිය , නුඹ වෙනුවෙන් කළ යුතු යමක් ඇත්නම් නොපසුබටව එය කර දෙන්නට අප හට හැකි වෙතැයි සිතේ"



ආපසු හැරී ගල් පුවරුව වෙත ආ සකුන්තලා එහි අසුන් ගෙන තම වක්ත්‍රය බිමට හරවා ගත්තීය. උනුන් දෙස බලා ඉඟි කර ගත් යෙහෙළියන් දෙදෙනගෙන් අනසූයා 



" මගේ හදවත නම් පවසන්නේ ඔබ , තපෝවනය සුරැකීමට පැමිණි දුෂ්‍යන්ත රජතුමා දුටු දින පටන් නොසන්සුන් වූ බවයි."



" එසේය , නුඹ මේ පීඩිතව පසුවන්නේ වෙනත් ශාරිරීක ආබාධයකින් නොව එතුමන් කෙරෙහි බැඳුණු ප්‍රේමය පැවසීමට නොහැකි වීමෙන් නොවේද?"



මිතුරියන් පවසන දෑ ඇසුණු රජතුමා ගේ මුවඟට සිනාවක් නැංගේ තම සිතේ සැකයක්ව පැවති දෑ ඔවුන්ගේ මුවින් පැවසුණු හෙයිනි. තමාටත් එම පැනයට පිළිතුරක් අවශ්‍යව තිබූ හෙයින් රජතුමා, යෙහෙළියන් හට නොදැනෙන්නෙට ඔවුන් පෙනෙන මානයට ගමන් ගත්තේ  සකුන්තලාවගේ පිළීතුර කුමක් විය හැකිදැයි දැන ගැනීමටය.



එයට කිසිඳු පිළිතුරක් නොදුන් සකුන්තලාව එසේය යැයි හැඟවෙන පරිදි හිස මඳක් සැළුවා , මුවින් කිසිවක් නොබිනුවාය.



" සොඳුරිය , මම එය ඔබේ මුවින්ම ඇසීමට කැමැත්තෙමි." 



රජු තවත් මඳක් ඉදිරියට ගමන් කළේ හඬ නගා පැවසුවෙන් මිතුරියෝ තිදෙනාම තිගැස්සී ගියහ.සකුන්තලා එක් වරක් පමණක් රජුගේ මුහුණ දෙස නෙත් හෙලා බිම බලා ගත්තාය.



"මිතුරිය අනසූයා.. අන්න අර අතන ඉන්න මුව පොව්වා අතරමංවී ඇති හැඩයි. එන්න අපි ඌ උගේ මව වෙත ගෙනයමු"



 පැවසූ ප්‍රියංවදා අනසූයා වෙත නෙත් හෙළුවාය



" මිතුරියනි, ඔබලා දෙදෙනාම ගියහොත් මා හට පිහිට වන්නේ කවුරුද?" සකුන්තලා බියපත් ස්වරයකින්  ඇසුවාය.



" කිමෙක්ද සකුන්තලා, ඔබ සමඟ සිටිනුයේ මිහිකතට පිහිට වන තැනැත්තා නොවේද?"

පැවසූ අනසූයා තවත් යමක් කීමට කැමැති බව දක්වමින් රජුවෙත නෙත් හෙළුවාය. රජු ඇයගේ අදහස අවබෝධ කරගත්තේ කිමෙක්දැයි ඇසීය.


" සමාවුව මැනවි දේවයන් වහන්ස, රජවරුන්ට අන්ත:පුර ස්ත්‍රීන් ඕනෑ තරම් සිටිනා බව අසා ඇත්තෙමු. නමුත්, ඔබට ප්‍රේමයෙන් පසුවන අපගේ මිතුරිය පිළිබඳව ඇගේ නෑසියන් ශෝකයට පත් නොවනා අයුරින් කටයුතු කරන්නැයි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නෙමු "



" පින්වතිය, නුඹගේ මිතුරියගේ හද තුල මා කෙරෙහි පවතින්නාවූ ප්‍රේමය හා සමාන ප්‍රේමයක්, එසේත් නැතහොත් එයටත් වඩා මහත් ප්‍රේමයක් මාගේ හද තුලද ඔබගේ මිතුරිය කෙරෙහි පවතින්නේය. ඉඳින් සැක නොසිතුව මනාය."



"අවසර දේවයන් වහන්ස"



මිතුරියන් තමා තනිකර දමා ගියහයි අදහා ගත් නොහැක්කේ හිඳ සිටි ගල් පුවරුවෙන් නැංගේ, පලා යාමට අතක් සොයන්නා සේ වට පිට බැළුවාය. රජ තෙමේද ඇය පළා යතැයි බියගත්තෙන් වහා ඇගේ සුරතින් අල්වා ගත්තේය.කලබලයට පත් සකුන්තලා විළියෙන් රත් පෑ ගත්තී වහ වහා තම සුරත මුදා ගත්තාය.



"පෞරව රජතුමනි, අප ආචාරශීලි විය යුතුයි.ප්‍රේමාතුර වුවත් මා තවමත් වැඩිහිටියන් හට යටත් තැනැත්තියක්මි."



" ඕ.. බියසුළු තැනැත්තිය. නුඹ සිතනුයේ නුඹ ගේ පියාණන් අප හට දොස් නගතියි කියාද? නැත සොඳුරිය එතුමා ධර්මය හොඳින් දත් සෘෂිවරයෙකි. එතුමා අපහට ආශිර්වාද කරනා බව මා හට නම් නිසැකයි."



මෙසේ ඔවුන් දෙදෙන ප්‍රේම සල්ලාපයෙන් පසුවන අතර , එහි පැමිණි මිතුරියන් දෙදෙන සැල කලේ ගෞතමී ආර්යාව සකුන්තලාව කැඳවූ බවයි. ප්‍රියයාගෙන් සමුගත් සකුන්තලාව , මිතුරියන් දෙදෙනද කැටුව ගෞතමී ආර්යාව බැහැ දකිනු වස් ,ආරාමය බලා පිය එසෙව්වාය.


Saturday, December 8, 2012

මලිත්තිගෙ කතා - දඟ මල්ල



මලිත්තී

මලිත්තිගෙ කතන්දර - අපේ රට

මලිත්තිගෙ මොන්ටිසෝරිය



එදා නිවාඩු දවසක්. මලිත්තිට මොන්ටිසෝරිත් නෑ. ඒත් ඉතින් උදේම නැගිටින්ට මලිත්ති දැන් පුරුදු වෙලානෙ. ඒ නිසා මලිත්ති උදේම නැගිට්ටා.මූණ එහෙම හෝදගෙන අම්මා තම්බලා තිබුණු කඩල පිඟානත් අරගෙන මලිත්ති හිමින් හිමින් සාලෙ පැත්තට ආවේ ටී වී එකේ කාටුන් බල බලා කඩල කන්ට හිතාගෙනයි. මලිත්ති කඩල , කවුපි වගේ දේවල කන්ට ටිකක් කම්මැලියි. ඒ නිසා අම්මා මල් වැටිච්ච බොහොම අලංකාර බොකු දීසියක් වෙන්කරගෙන ඉන්නවා මලිත්තිට කඩල කන්ටම . දීසියට ආසාව හින්දා මලිති වැඩිය කලබල කරන්නෙත් නෑ. මලිත්ති හිමින් හිමින් සාලෙ පැත්තට යද්දි ලොකු නැන්දාගෙ කාමරේ පැත්තෙන් ඇහෙනවා කසු කුසුවක්. ලොකු නැන්දයි චූටි නැන්දයි දෙන්නා. කතාවෙන් තේරුන විදියට නම් ලොකු නැන්දා යනවලු යාලුවෙකුගෙ  හෝම් කමින් උත්සවයකට. ඉතින් දෙන්නා එක්ක එකතුවෙලා ලොකු නැන්ද අඳින්ට තෝරා ගත්තු සාරියට ගැලපෙන ආභරණ තෝරනවා. මලිත්ති මේ වගේ වැඩ වලට හරි ආසයි. ඉතින් ටී වී බැලිල්ල පැත්තක තියෙලා බාගෙට වහලා තිබුණු දොරත් තල්ලු කරගෙන මලිත්ති ගියා ලොකු නැන්දගෙ කාමරේ ඇතුලට. කොහොමත් නැන්දලා නම් කැමති නෑ මලිත්ති කාමර වලට එනවට. ඇයි ඉතින් අතට අහුවෙන හැම දෙයක්ම ඇදලා දාන්ට මලිත්ති හරි දක්ෂයි නොවැ.


" මොකද ෂෙනාලි , කාගෙ හරි රූම් එකකට එනකොට එ‍ක්ස්කියුස් කරලා එන්ට කියලා මම හැමදාම කියනවා නේද?"



 මලිත්ති කාමරේට යනවත් එක්කම ලොකු නැන්දා තෝරගත්තු ආභරණ ටික අල්මාරිය උඩින් තිබ්බෙ එහෙම කියමින්.පොඩි නැන්දා ඉතුරු ආභරණ ටික ඉක්මනට එකතු කරලා ආභරණ පෙට්ටියට දාගෙන එයාගෙ කාමරේට යන්ට නැගිට්ටේ මලිත්ති ඒවා දකින්ට කලින් අල්මාරියේ දාගන්ටයි. ලොකු නැන්දා මලිත්ති දිහා නොබලම සාරිය අඳින්ට පටන් ගත්තේ මලිත්තිගෙ කරදරෙන් බේරෙන්ට හිතාගෙනයි.



" ලොකු නැන්දේ , ලොකු නැන්දේ ඔයා කොහෙද යන්නේ?"



" මටත් දෙන්ටකෝ ඔය මාලෙ ටිකක් බලන්ට"



" නැන්දා අඳින්නේ සාරියද ඔසරියද? අපෙ අම්මා නම් අඳින්නේ ඔසරිය"



මලිත්ති කොච්චර ප්‍රශ්න ඇහුවත් ලොකු නැන්දා නෙවෙයි උත්තර දුන්නේ. එයා එයාගෙ පාඩුවේ සාරිය අඳිනවා කන්නාඩි මේසෙ ඉස්සරහ ඉඳන්. මලිත්තිට පිටිපස්ස හරවලා උන්නට කන්ණාඩියෙන් නැන්දට මලිත්තිව පේනවා. මලිත්ති හිමින් හිමින් කඩල කනවා. වටපිට බලන ගමන්. ඒත් මලිත්තිගෙ අත පොවන දුරක මලිත්තිට හිත යන කිසිම දෙයක් නෑ. ලොකු නැන්දා එයාගෙ පව්ඩර්, ක්‍රීම්, සුවඳ විලවුන් බෝතල් පවා කණ්ණාඩි මේසෙ ලාච්චුවට දාලා අගුල දාලා. නැන්දා ඇඳලා ඉවර වෙලා මූණ හැඩ කරන්ට පටන් ගත්තා. මලිත්ති හිමින් හිමින් ලං උණේ නැන්දගෙ මේකප් බඩු තිබුණු ප්ලාස්ටික් කැටයම් පෙට්ටිය දිහාටයි. නැන්දා කන්ණාඩියෙන් මලිත්තිව දැක්ක නිසා ඉක්මනට ඒක අරන් මලිත්තිට අත පොවන්ට බැරි වෙන්ට අල්මාරිය උඩින් තිබ්බා. මලිත්තිට හරිම තරහයි. ඊට වඩා තරහයි නැන්දා කතා නොකරන නිසා. 



" නැන්දේ..." මලිත්ති ආයෙම කතා කලා. ම්හ්.. නැන්දා කතා කරන්නේ නෑ. කොහොමද නැන්දා කතා කරවන්නේ.  වට පිට බලපු මලිත්ති දැක්කේ එයා කඩල කාපු බොකු දීසිය. ඒකෙ තව කඩල ඇට කීපයක් ඉතුරු වෙලාත් තිබුණා. හිමින් දීසිය අතට ගත්තු මලිත්ති නැන්දා දිහා බලාගෙනම ඒක ඇඳ ලඟ බිමින් තිබ්බා. වම් කකුල පුලුවන් තරම් උඩට උස්සපු මලිත්ති ලැහැස්ති උණේ දීසිය පාගලා කඩලා දාන්ටයි. 



" හා..හා..හා...එපා" නැන්දාට කෑ ගැහුණේ ඉබේටම වගෙයි. කකුල ආපහු ගත්තු මලිත්ති හයියෙන් හිනා වෙන්ට පටන් ගත්තා



" මොකද ඔය කරන්ට හදන්නේ?" නැන්දා ඇහුවෙ ටිකක් තරහෙන්.



" ඇයි එහෙනම් ඔයාට කතා කරන්ට බැරිද මම මොනා හරි ඇහුවහම?" මලිත්තිත් ඇහුවෙ නැන්දා දිහාට හැරිලා බිම තිබ්බ දීසිය ආපහු අතට ගන්න ගමන්මයි.



" ඒකද ඔය දීසිය පාගන්ට හැදුවේ?"



" හිහි ඉතින් මම කොහොම හරි නැන්දාව කතා කෙරෙව්වානේ." හිනාවෙවී කියපු මලිත්ති දීසිය මේසෙ උඩින් තියලා ඇඳ උඩ වාඩි වෙලා කකුල් පද්දන්ට ගත්තා. නැන්දා බලාගෙන හිටියේ මොකද කියන්නේ කියලා හිතා ගන්ට බැරුවයි. කොහොමද මලිත්තිගෙ මොලේ...


රමේෂ් අයියා...












මේත් මලිත්තිට නිවාඩු දවසක්. එදා නම් අප්පච්චිත් ගෙදර ඇවිත් හිටියා. අම්මා ලෑස්ති වෙලා හිටියේ අප්පච්චිත් එක්ක අම්මගෙ යාලුවෙක්ගෙ ගෙදර යන්ට. එයා කොළඹ පැත්තෙ කෙනෙක් උනාට නුවරට ස්ථාන මාරුවීමක් ලැබිලා ඇවිත් නුවරින් කුලියට ගෙයක් අරගෙන පවුලෙ අයත් එක්ක පදිංචි වෙලයි හිටියෙ. හුඟ දවසක ඉඳන් යන්ට හිතන් හිටියත් යන්ට බැරි උණ නිසා අම්ම එදා උදේම මලිත්තිවත් ලැහැස්ති කරගෙන අප්පච්චිත් එක්ක , යාලුවගෙ ගෙදර හොයාගෙන ගියා. ගෙයක් කිවුවට ඒ ගොල්ලො කුලියට අරන් හිටියෙ ගෙදරක උඩ තට්ටුවක්. යට තට්ටුවෙ තවත් පවුලක් පදිංචි වෙලා හිටියා. උඩ තට්ටුවක් උනාට බැල්කනියක්, කාමර තුනක්, පොඩි සාලයක් වගේම බාත් රූම් එකකුත්, කුස්සි කෑල්ලකුත් මේ ගොල්ලො පදිංචි වෙලා හිටපු කොටසට ඇතුලත් නිසා ඉඩකඩ හොඳට තිබුණා. තේ පානය ඉවර උනාට පස්සෙත් අම්මගෙයි යාළුවගෙයි කතාව නැවතුණේ නෑ. ඒ දෙන්නා ආගිය කතා කියවන අතරේ, අප්පච්චි , ඒ ගෙදර පිරිමි කෙනා එක්ක වාහන ගැන කතාවක් පටන් ගත්තා. මේ ජාතියේ කතා ඉතින් ඇදි ඇදී යන ඒවනේ. මලිත්ති වට පිට බැලුවා. ඒ ගෙදර මලිත්තිට කතා බහ කරන්ට සෙල්ලම් කරන්ට තරම් වයසක කවුරුත් නැහැ. එයා හිමින් හිමින් බැල්කනි එකට ගිහින් බලාගෙන හිටියා. බැල්කනි එකට තාර පාර හොඳට පේනවා. ගෙදරට එන ගේට්ටුවත් ටිකක් දුරින් තිබුනත් පැහැදිලිව පේනවා. වෙලාව එකොලහ මාරට දොළහට විතර ඇති. පාරෙ වාහන හුඟක් යනවා. පුන්චි ලමයින්ගෙ පාසෙල් ඉවර වෙලා ඒ ලමයි අරන් එන ස්කූල් සර්විස් වෑනුත් අතරින් පතර යනවා පේනවා. මලිත්ති පේනට නැති නිසා අම්මා ටිකක් එබිකම් කරලා බැලුවා මලිත්ති කෝ කියලා. මලිත්ති දැක්කම එයා මොනවා දිහාද මේ සද්ද නැතුව බලන් ඉන්නේ කියලා අම්මට පුදුමයි. ඇයි ඉතින් මලිත්ති නිශ්ශබ්දව , එකතැනක ඉන්න ලමයෙක් නෙවෙයිනෙ. අම්මාත් ටිකක් කිට්ටුවෙලා බලන් හිටියා. ඒ වෙලාවෙම වාගේ ගේට්ටුව ලඟ නවත්තපු ස්කූල් වෑන් එකකින් පුංචි පිරිමි ලමයෙක් බැහැලා ආවා. ඒ ලමයා මලිත්තිව නොදැක්කට මලිත්තිට එයාව හොඳට පේනවා .


" රමේෂ් අයියා............" පිරිමි ලමයා ගෙදරට ලං වෙනකල් ඉඳලා මලිත්ති පුලුවන් තරම් හය්යෙන් කෑ ගහලා කතා කළා.පිරිමි ලමයා නැවතිලා උඩ බැළුවා.අම්මට හිතා ගන්ට බෑ මලිත්ති මේ ලමයා අඳුනනවා කියලා. අම්මටත් ඒ ළමයා දැකලා පුරුදු බවක් හිතුණේ නෑ.



" මගෙ ෆෝන් එකට රී ලෝඩ් එකක් දානවද?"   පිරිමි ලමයා මොකුත් කියන්නත් කලින්ම මලිත්ති ආපහු හයියෙන් කෑ ගහලා ඇහුවා. මලිත්තිගෙ කටේ සද්දෙ ඇහිලා එතෙන්ට එකතු වෙලා හිටිය ඔක්කොමලා හයියෙන් හිනා වෙනකොටයි මලිත්ති දැක්කේ කට්ටිය ඔක්කොම එතැන කියලා. කට්ටිය දැකලා ලැජ්ජා හිතුණු පිරිමි ලමයා ඉක්මනින් ගේ දිහාට දුවගෙන ගියා.



ඕක ඒ දවස්වල නිතරම ටී වී එකේ යන අනාර්කලී රඟපාන වෙළද දැන්වීමක් කියලා අම්මා තුෂ්නිම්භූත වෙලා වගේ බලාගෙන හිටපු අප්පච්චිට පැහැදිලි කරලා දුන්නා. මලිත්තිට ඒ ලමය දැක්කම එහෙම අහන්ට හිතුණෙ ඇයි කියලා නම් කාටවත් හිතා ගන්ට බැරි උණා.


Monday, December 3, 2012

පෙරැස් මුඳුව 05




පෙරැස් මුඳුව 02

පෙරැස් මුඳුව 03


රජවරු කිසි කළෙකත් බොරු නොකියති. නමුදු රජු , " කෙතරම් රූමත් වුවත් තාපස කන්‍යාවක් සරණ පාවා ගැනීම වැනි පුරු වංශයට අභිමත නොවූ කරුණක් කෙරෙහි මා සිත නොයෙදේ." යනුවෙන් පැවසුවේ සකුන්තලා තාපස කන්‍යාවක් ලෙස නොසැළකෙන බව ඇගේ මිතුරියන්ගෙන් සත්‍ය ලෙසම දැන හුන් බැවිණි. එබැවින් එය මුසාවක් නොවේ. විදූශගේ නොදැණුවත්කමම පමණෙකි.

මඳ සිනාවක් නගා ගත් රජු තම අස් රිය හා දුනු හී ගෙන්වා ගත්තේ රථාචාර්යයා සමඟ අසපුව බලා පිටත්ව ගියේය.

අසපුවට සාදරයෙන් පිළිගනු ලැබූ රජු හට නවාතැන් හා ආගන්තුක සත්කාර නොඅඩුව ලබාදිමට අසපු වාසින් උත්සුක වූ අතර රජුගේ පැමිණීමත් සමඟ යාගයන්ට තිබූ බාධාවන් බොහෝ දුරට අහෝසි වූ බැවින් තාපසවරුන්ට රිසි පරිදි යාග හෝම පැවැත්වීමේ අවස්ථාවද හිමි විය එබැවින්ම රජු බලවන්තයෙකියි පවතින් ආදහස ස්ථිර කර ගැනීමටද පසුබට නොවූහ. අසපුවට පැමිණ දින කීපයක් ගෙවී ගියද තම සිත්ගත් සකුන්තලා කුමරිය දැක ගැනීමට නොහැකි වීමෙන් චිත්ත පීඩාවට පත් රජු යාගය අවසන් බැවින්, එක් සන්ධ්‍යාවක දුණු හී පසෙක තැබූයේ, කල්පනාවෙන් බරව වනය තුල සක්මනෙහි නිරතවිය. එවිට එතැනින් ගමන් ගන්නා සකුන්තලා කුමරියගේ මිතුරියක වූ අනසූයා දැක ඇයගෙන් සකුන්තලාවගේ පවත් විමසනු වස් වහ වහා එදෙසට පිය නැගූවත් ඇය සිටිනුයේ තනිවම නොවන බව හැඟුණෙන් එතැන නතරව බලා සිටියේය .අනසූයා සමඟ සිටි අනෙක් තැනැත්තා කසුප් මහ මුණි තුමාගෙ ශිෂ්‍යයෙකි.

" අනසූයා කිමෙක්ද මේ? මේ ඔසුපැන් හා සැවැන්දරා විලවුන් රැගෙන යන්නෙ කවරෙක් හටද?"

" මේ සරත් සමයේ අවු රශ්මියෙන් පීඩිත සකුන්තලා කුමරියට සත්කාර පිණිසයි තවුස් තුමනි"

" ඔහෝ.. ඈ අසනීපයෙන්... එසේනම් පින්වත් කසුප් ඉසිතුමාගේ ප්‍රාණය හා සමාන වන ඇය ප්‍රවේශමෙන් රැක බලා ගත යුතුයි."

" එසේය තාපසතුමණී"

"යාගයට උපයෝගි කොටගත් ක්ෂාන්තී ජලය ස්වල්පයක් ගෞතමිය අත ඇය වෙත එවීමට කටයුතු කරන්නෙමි. එයින් ඇයට පිහිටක් ලැබෙනු ඇත."

"එසේය තාපසතුමනි.ඔබට බොහෝ පින්." පැවසූ අනසූයා තවුස්තුමාට ආචාර කර පිටත්ව යාමට අවසර පැතුවාය.

"සුවපත්වේවා" පැවසූ තවුස්තෙම අනසූයාට යාමට අවසර දී තෙමෙද ශි‍ෂ්‍යයන්ගේ කුටි දෙසට ගමන් ගත්තේය.

තවුස්තුමා පිටව ගිය පසු අනසූයා වෙත ගමන් ගත් රජු සකුන්තලාව පිළිබඳ පවත් විමසුවේය. 

" ඇය මඳක් අසනීපයෙන් රජතුමනි."

" කිමෙක්ද අසනීපය"

" නොදන්නෙමි දේවයන්වහන්ස. ඇගේ අසනීපය ගතෙහි නොව සිතෙහි යැයි හැඟේ."

" කිමෙක්ද පින්වතිය. නුඹ කුමක් ගැන පවසන්නීද?"

" නැත දේවයන් වහන්ස. වරදක් නොපැවසුවෙමි. සකුන්තලා කිසියම් සිතුවිල්ලක පසුවන බව මට හැඟේ. නමුඳු ඇය ඒ පිළිබඳව කිසිවක් නොපවසන්නීය."

" ඉතින් නුඹ සිතන්නේ ඒ සිතුවිල්ල කුමක් අරඹයාද?"

" නොදනිමි රජතුමනි. මා හට පමාවී තිබේ. මා දැන් යා යුතුය."

" නුඹ සකුන්තලා කුමරිය වෙත යන්නේ නම්, මා ඇය දකිනු රිසි බව ඈ වෙත පවසනු මැනවි."

" ඈ මේ වන විට මාලතී ගඟ අසබඩ තුරු සෙවනේ විවේකීව පසුවෙන්නීය. ඔබ වහන්සේ රිසිනම් ඈ දැක ගැනීමට මා සමඟ යා හැකිය."

මේ වදන් ඇසීමෙන් රජුගේ සිත තුල සතුටක් ඇතිවූවද එය නොමනා යැයි හැඟීමක්ද එකෙනෙහිම සිතට වැද ගත්තෙන් ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ තමා ඇය දැක ගනු රිසි බව සකුන්තලාව වෙත දන්වන ලෙස පවසා අනසූයාගෙන් සමුගෙන යන්නට ගියේය. රජුගේ හද තුල තම මිතුරිය වෙත යම් කිසි සෙනෙහසක් ඇතැයි සැක සිතූ හෙයින් තමා සමඟ මිතුරිය දැකීමට යෑම සඳහා පැමිණෙන ලෙස අනසූයා පැවසුවත්, රජුගේ ප්‍රතිචාරයෙන් ඇය සලකා ගත්තේ එය හුදෙක් සැකයක්ම පමණක් බවයි. එලෙසම නොපැවසුවත් තම මිතුරියගේ සිතෙහි රජුවෙත ඇල්මක් පවතින බවත් ඇය එය පැවසීමට බියෙන් පසුවන බවත් අනසූයා දැන හුන්නාය. සකුන්තාලාවගේ අසනීපය ගතෙහි නොව සිතෙහි හට ගත්තක් බව අනසූයා පැවසුවේ එහෙයිනි.

සකුන්තලාවන් වෙත එළඹ ඔසු පැන් පානය ඇය වෙත පිළි ගැන්වූ අනසූයා, තමාට දුෂ්‍යන්ත රජතුමා හමුවූ පුවත ප්‍රියංවදා වෙත පැවසුවේ සකුන්තලාවට රහසිනි. ප්‍රියංවදාගේ අදහස වූයේද රජු සකුන්තලාව දැකීමට රිසි බව පැවසූ බව පමණක් සකුන්තලාව වෙත දැනුම් දිය යුතු බවකි. 

" මිතුරිය සකුන්තලා, පෞරව වංශික දුෂ්‍යන්ත රජු ඔබ දැකීමට රිසි බව ඔබ වෙත දන්වන්නැයි මා හට පැවසුවා." සකුන්තලා එක්වරම තිගැස්සී ගියෙන් මිතුරියන් දෙදෙන උනුන් මුහුණු බලා ඉඟි කර ගත්හ.

" කුමක්? ඒ කුමකටද?"

" නුඹ  අසනීපයෙන් බව දත් හෙයින් පමණකි මිතුරිය" අනසූය සිනාසෙමින් පැවසුවාය.

එයට පිළිතුරක් ළබා දීමට සකුන්තලාවට කාළය මඳ වූයේ එතැනට එවේළෙහි ගෞතමී ආර්යාව පිවිසි හෙයිනි. ක්ෂාන්ති ජළය අඩංගු කෙන්ඩියක් අත දරා සිටි ඇය සමඟ දුෂ්‍යන්ත රජුද එහි පිවිසියේය. රජු දුටු කෙණෙහි විළිකුන් දඹ ඵලයක් ලෙස වත රතු කරගත් සකුන්තලාව තම වක්ත්‍රය ඉවතට හරවා ගත්තාය. අනසූයා හා ප්‍රියංවදා වහා නැගී සිටියෝ ගෞතමී ආර්යාවට හා රජුට ආසන පහසුකම් සලසා දුන්හ.

" කිමෙක්ද දියණිය.. දැන් නුඹට කෙසේද? තවමත් පහසුවක් නොදැනෙන්නේද?"

" නැත මෑණියනි. ඔසු පැන් පානය කළ පසු මඳ පහසුවක් ගතට දැනේ."

" මා ඔබ දැකීම පිණිස පැමිණෙන විට අපගේ මහ රජතුමා සම්මුඛ වූ හෙයින්ද, එතුමා නුඹ දැක ගැනීමට කැමැත්තෙන් පසු වූ හෙයින්ද සුව දුක් විමසීම පිණිස එතුමාද කැටුව පැමිණියෙමි."

මඳ වේලාවක් මිතුරියන් සමඟ සල්ලාපයෙන් පසු වූ ගෞතමී ආර්යාව පැවසුවේ සන්ධ්‍යා යාගය ආරම්භ වන බැවින් එම ස්ථානය කරා තමා දැන් පිටත්ව යායුතු බවයි. සන්ධ්‍යාව අවසන් වීමට තවත් හෝරාවකට වඩා නොමැති හෙයින් මිතුරියන් තිදෙනාටද තම කුටිය කරා යන ලෙස දැන්වූ ඇය රජුගෙන්ද සමුගෙන පිටත්ව ගියාය. සකුන්තලාවද තම මිතුරියන්ගේ සහයෙන් නැගී සිටියා තම කුටිය කරා යා යුතු බව දැනුම්දුන්නාය. සන්ධ්‍යා යාගය සඳහා දුෂ්‍යන්ත රජුද සහභාගි විය යුතු හෙයින් ඔහුද මිතුරියන්ගෙන් සමුගත්තේ මිතුරියන් පිටව යන දෙස බලා හුන්නේය. මඳ දුරක් මිතුරියන් සමඟ ගමන් කළ සකුන්තලා නැවතී තම පාදයේ ඇනී ගිය කටුවක් ඉවත් කරන නියායෙන් නැවත රජු දෙස හැරී බැළුවාය. රජු ඒ වන විටත් ඔවුන් දෙස බලා සිටි බව දුටු ඇය වහ වහා ඉදිරිය බලා ගත්තේ මිතුරියන් සමඟ යන්නට ගියාය. සුසුමක් හෙලා ළය සැහැල්ලු කරගත් දුෂ්‍යන්ත රජුද යාග භූමිය කරා පිය නැඟුවේ පසු දින කෙසේ හෝ සකුන්තලා කුමරිය හමුවන්නෙමියි යන අදිටන ඇතිවය.

Wednesday, November 21, 2012

පෙරැස් මුඳුව 04


පෙරැස් මුඳුව 02

පෙරැස් මුඳුව 03

" තාපසවරු මේ වන විටත් ඔබ තුමා හඳුනාගෙන තිබෙන බවයි පෙනෙන්නේ. කෙසේද ඔබ වහන්සේ ඇය මා හට දක්වන්නේ?"

" එසේය මිත්‍රය, අසපුවට නැවත කුමන කරුණක් උදෙසා යන්නේදැයි මට අදහස් කර ගත නොහැකිවයි මා පසුවන්නේ.."

එයට විදූශ පිළිතුරු දීමට පෙර , දොරටු පාලයන් දෙදෙනාගෙන් අයකු පැමිණ රජුට හා විඳූශ ඇමතිතුමාට අචාර කර සිටියේ  කුඩා තාපසවරු දෙදෙනෙකු රජු හමුවීමට පැමිණ ඇතැයි දැන්වීය.

එම කුඩා තාපසවරුන් දෙදෙනා කැඳවාගෙන ඒම සදහා මහරජතුමාගේ අවසරය ලද බැවින් රජු හමුවට ඉදිරිපත් වූ කුඩා තාපස තුමන්ලා දෙදෙනා රජු විසින් නමස්කාරපූර්වකව පිළිගනු ලැබූ අතර , රජු බැහැදැකීමට පැමිණි උවමණාවද ගෞරවයෙන් විමසනු ලැබිණ.

" මහ රජතුමනි, ඔබතුමා හමුවීමට අප පැමිණියේ අසපු වාසීන්ගේ ඉල්ලීමක් පිළිබඳව ඔබතුමාට දැනුම් දීම සදහායි"

"අවසර තාපස තුමනි, ඔබ වහන්සේලා වෙනුවෙන් මා හට කළ හැක්කේ කුමක්ද?"

" කන්ව ඉසිතුමා මෙම දිනවල අසපුවේ නොසිටින බැව් දැනගත් රාක්ෂසයෝ අපගේ යාග කර්ම හා තපස්වීන්ට බාධා ඇති කිරීමට පෙළඹී තිබේ. එබැවින් ඔබවහන්සේගේ පරිවාරකයකු හා රියැදුරා සමඟ කිහිප දිනක් අසපුවේ නවාතැන් ගන්නැයි අසපුවාසීහු ඔබතුමාට ගෞරවයෙන් දන්වා සිටිති."

" එම ඉල්ලීම මා හට කරනු ලැබූ ඉමහත් ගෞරවයක් ලෙස මා බාර ගත් බව දන්වා සිටිනු මැනවි"

" බොහොමත්ම පින් රජතුමනි, රාක්ෂසයන් මර්ධනය කළ හැක්කේ ඔබ තුමාටම පමණක් බවයි විශ්වාසය"

" දඩ කෙළියෙන් බොහොමත්ම වෙහෙසට පත්ව සිටින මගේ පිරිවර ආපසු පිටත් කර යැවීමෙන් පසුව මා කඩිනමින් අසපුව වෙත පැමිණෙන බව දන්වා සිටිනු මැනවි"

තාපසවරුන් දෙදෙනා රජුට ආශිර්වාද කොට පිටව යත්ම තම සිනහව ආයාසයෙන් පාලනය කොට ගෙන හුන් විදුශ ඇමතිතුමා මහත් සහනයක් ලද්දේ හඬ නගා සිනාසෙන්නට වූයේය.

"අසපුවට යන්නට කරුණක් සොයමින් සිටි ඔබතුමාට ඒ සඳහා කරුණක් නිතැතින්ම පහළවූ වනැයි"  සිනහව අතරින්ම ආයාසයෙන් පවසා ගන්නටද හෙතෙම සමත් වූයෙන් රජුටද සිනහ නැගුණි. 

" හා හා එසේය එය නම් පෙර පින් පළ දීමකැයි මටද සිතේ . කෙසේ වුවත් විදූශ ඔබද මා සමඟ යන්නේය.එබැවින් රථාචාර්යයා පමණක් නවතා තබාගෙන ඉතිරි පිරිස සේනාපති තුමා සමඟ මාලිඟාවට පිටත් කර යැවීම ඔබට බාරයි මිත්‍රය."

දුෂ්‍යන්ත රජුගේ නියෝගය පිරිසට දැනුම් දීමට කුටියෙන් පිටව ගිය විදූශ නැවත පැමිණියේ තවත් පණිවුඩයක්ද රැගෙනයි.

" දේවයන් වහන්ස, මහ වාසලින් පණිවුඩයක් රැගත් පණිවුඩකරුවෙකු පැමිණ සිටියි."

"කවරකුගෙන්ද?"

" මවු බිසවුන් වහන්සේගෙන් දේවයන් වහන්ස"

" කුමක්? මවු බිසවුන් වහන්සේගෙන්? වහාම පණිවුඩකරු කැඳවනු"

පණිවුඩකරුවා පිවිස රජුට ආචාර කර එකස්පත්ව සිටියේ පණිවුඩය කුමක්දැයි රජුවිසින් විමසනු ලැබිණි.

" අවසර දේවයන් වහන්ස, ගැත්තාට සමා වුව මැනවි.අද දින සිට තෙදිනක් ගතවූ පසු , බිසවුන් වහන්සේලාගේ උපවාස ව්‍රතයන් අවසන් වන බැවින් ව්‍රතාන්ත උත්සවය සඳහා ඔබතුමා සහභාගී විය යුතු බව මවු බිසවුන් වහන්සේ විසින් දන්වා සිටින වගයි. එතුමිය පැවසුවේ ඔබතුමා අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු බවයි දේවයන්වහන්ස"

" හොඳයි.. ඔබට යාමට අවසර"

" විදූශක.. පැහැර නොහැරිය හැකි කරුණු ද්විත්වයක් එකවිටම යෙදී තිබේ. කුමක් කළ යුතු යැයි ඔබ සිතන්නේද?"

" ස්වාමීනී..රාක්ෂසයන් මර්ධනය කළ හැක්කේ ඔබ තුමාටම පමණකි. අසපුවාසීහු ඔබතුමා කෙරෙහි විශ්වාසය තබා ඇත්තාහුය. එසේම මවු බිසවුන් වහන්සේගේ ව්‍රතාන්ත උත්සවය සඳහා පුත්‍ර තනතුරෙහි ගෞරවයන් ලබන්නට හා යුතුකම් ඉෂ්ඨ කිරීම සඳහා ඔබ වහන්සේ සහභාගී විමද කළ යුත්තක්මය."

" හ්ම්... විදූශ.. මවු බිසවුන් වහන්සේ අවබෝධ කර ගැනීමේ ශක්තිය අතින් ඉහළම ස්ථානයක් ලබා ඇත්තීය. එබැවින් එතුමිය කරුණු නිසිපරිදි අවබෝධ කරගනු නිසැකයි. මා මෙන්ම එතුමිය ඔබද පුත්‍ර තනතුරේ ලා සලකන්නීය. එසේ හෙයින් ඔබ එතුමිය වෙත ගොස් මා තාපසවරුන් සම්බන්ධ වැදගත් කටයුත්තක යෙදී ඇති බව එතුමිය වෙත ගෞරවයෙන් දැනුම් දී  ව්‍රතාන්ත උත්සවය සාර්ථක කරගැනීම සදහා අවශ්‍ය කටයුතු නිසිපරිදි සම්පාදනය කිරීමට කටයුතු කළ යුතුය."

" එසේනම් දේවයන් වහන්ස ඔබ වහන්සේගේ සියළු සිතුම් පැතු ඉටු වේවා." පැවසූ විඳූශ ගේ මුවට නැංගේ සෝපහාස සිනාවෙකි. රජු එය දුටුවත් නුදුටුවා සේ පසු වූයේ මෙසේ කල්පනා කළේය. 

" මා සකුන්තලා කුමරිය පිළිබඳව පැවසූ දෑ මවු බිසවුන් වහන්සේගේ එක් විමසීමකදීම විදූශගේ මුවින් හෙළි විය හැකියි. එසේම වසුමතී බිසවුන් හෝ ඇතොර අනෙකුත් බිසවකට හෝ විදුෂගේ මුවින් මෙය හෙළිවීම යුතු නොවේ"

" හෝ හෝ විදූශ..වරදවා වටහා ගත යුතු නොවේ. අසපු වාසීන් රාක්ෂස බියෙන් මුදවා හැරීම සඳහා පමණක්ම රැඳෙන්නෙමි. එසේ නොමැතිව කෙතරම් රූමත් වුවත් තාපස කන්‍යාවක් සරණ පාවා ගැනීම වැනි පුරු වංශයට අභිමත නොවූ කරුණක් කෙරෙහි මා සිත නොයෙදේ."

රජවරු කිසි කළෙකත් මුසා බස් නොදොඩති. එහෙයින් රජු දෙස විමතියෙන් නෙත් හෙළු විදූශ හිස නමා රජුට ආචාර කොට නික්ම ගියේ සකුන්තලාව පිළිබඳව එතෙකින්ම අමතක කොට දැම්මේය. රජවරු කිසි කළෙකත් බොරු නොකියති. නමුදු රජු , " කෙතරම් රූමත් වුවත් තාපස කන්‍යාවක් සරණ පාවා ගැනීම වැනි පුරු වංශයට අභිමත නොවූ කරුණක් කෙරෙහි මා සිත නොයෙදේ." යනුවෙන් පැවසුවේ සකුන්තලා තාපස කන්‍යාවක් ලෙස නොසැළකෙන බව ඇගේ මිතුරියන්ගෙන් සත්‍ය ලෙසම දැන හුන් බැවිණි. එබැවින් එය මුසාවක් නොවේ. විදූශගේ නොදැණුවත්කමම පමණෙකි.

මඳ සිනාවක් නගා ගත් රජු තම අස් රිය හා දුනු හී ගෙන්වා ගත්තේ රථාචාර්යයා සමඟ අසපුව බලා පිටත්ව ගියේය.

Friday, October 26, 2012

පෙරැස් මුඳුව.. 03

පෙරැස් මුඳුව 01

පෙරැස් මුඳුව 02


"කිමෙක්ද රඛිත නුඹ සිතුවේ මා අස්ථාන ගත වී ඇතැයි කියාද? , මා සොයා අසපුව දෙවනත් කරන්නට තරම් අදහසක් නුඹට පැමිණියේ කෙසේද?"
රථයට ගොඩ වී ගමන් පිණිස රථාචාර්යයා වෙත සන් කරන අතර තුර තම මුර සෙබළාගෙන් රජු විමසුවේ සරදම් ස්වරයකිනි.

රජු කෝපත් වී නොමැති බව වටහා ගත් සෙබළ රඛිතගේ සිතට සැනසුමක් දැණුන මුත් පිළිතුරු දීමට පළමු රජු රැගත් අස් රිය පිටත්ව ගියේය.

" දේවයන් වහන්ස, ඔබතුමාගේ පිරිවර රාත්‍රිය ගෙවනු පිණිස තපෝවනය ආරම්භයේ වනාන්තරය තුල කඳවුරු බැඳ තිබේ"

රථාචාර්ය චරිත පැවසූ මුත් රජුට එය ඇසුණු බවක් නොපෙනිනි. රජු නින්දෙන් අවදි වූවාක් මෙන වට පිට බලන්නට වූයේ තම පිරිස කඳවුරු බැඳ තිබූ බිමකඩ තුලට රථය ඇතුළු වනවාත් සමඟය. එසැනින්ම රජුගේ කුඩා කළ පටන් මිත්‍රයකු වන දැනට රාජසභාවේ ඇමති ධූරයක් උසුලන විදූශ නම් තරුණ අමාත්‍යවරයා රජු වෙත පැමිණියේ රජු වෙනුවෙන් ඉඳි වුණු තාවකාලික කූඩාරම වෙත රජු කැඳවාගෙන ගියේය.

"කිමෙක්ද මිත්‍රය, නුඹෙ මුහුණ අද වැහි වළාකුළු සහිත අහසක් මෙනි මාහට පෙනෙනුයේ" රජු විනෝදාත්මක අයුරින් විමසුවේය

" අහා.. එසේ නම් අසපුවට ගිය ගමන ඵල රහිත වී නොමැති හැඩයි. කිමෙක්ද තාපස කන්‍යාවන්ගේ රූමත් මුහුණු දුටු පසු අපගේ මුහුණු විරූපි ලෙස පෙනේද?"  විදූශ විමසුවේද එයටම සරිලන විනෝදාත්මක ස්වරයකිනි.

එම පැනයත් සමඟම රජුගේ මුහුණ ආලෝකවත් වනු දුටු විදූශ තමා පැවසූ දෙයට කිසියම් සමානකමක්  ඇති සිදු වීමක් සිදුවී ඇති බව වටහා ගත් මුත් කිසිත් නොඇසුවේ ය. 

"මගේ පමණක් නොවේ දේවයන් වහන්ස මේ සියළු පිරිසගේම මුහුණු දැන් කාල වර්ණ වී ඇති බවකුයි මට නම් හැඟෙන්නේ. ඔබ තුමා රජ මාලිගයෙන් පිට වී දැන් කොපමණ දිනක් ගෙවී ගොස්ද? සියළු දෙනාටම විඩාව දැනෙනවා නුඹ වහන්සේට හැර..."

" කිමෙක්ද නුඹ පවසන්නේ මිත්‍රය? දඩයම නොරිසිද නුඹ සැම?"

" නැත දේවයන් වහන්ස, එසේ නොවේ. දැන් අප සියළු දෙනාටම විඩාව දැනෙනවා. එක් දිනක් මෙහි නැවතී ගිමන් හැර ආපසු මාලිඟයට පිටත්ව ගියහොත් යහපතැයි ඔබ තුමාට නොසිතේද?"

" හා හා.... එසේනම් ඉතින් කුමක් කරන්නද? මිත්‍රයාගේ කියමන් ඉවත දැමීමට නොහැකි හෙයින් දඩ කෙළිය මෙතෙකින් නිමා කරමු. එය යහපත් නොවේද විදූශ? රජු විමසුවේ අඩක් සට කපට අයුරින් හා අඩක් හාස්‍යයෙන් යුතු වූ ස්වරයෙනි.

එකෙණෙහිම එතැනට සෙන්පති අඛිල පැමිණියේ පසු දින වෙනුවෙන් රජුගෙන් ලබා ගත යුතු නියෝග, රජු විවේක ගැනීමට පෙර ලබා ගැනීමටයි.විවේක ගන්නා අවස්ථාවන්හි ඉතා වැදගත් රාජ්‍ය කටයුත්තකට හැර වෙනත් කිසිඳු හේතුවකට තමා හට කරදර කිරීම රජු නොඉවසන බව හෙතෙම හොඳින් දත්තේය.

"කිමෙක්ද අඛිල? මේ විදූශට මෙන් නුඹටත් දඩ කෙළිය නො රිසිද?"

" නැත දේවයන් වහන්ස, අප විසින් වනය රැකවල් කර ඇත. ඔබ වහන්සේට හිරු උදාවත් සමඟ දඩ කෙළියේ යෙදීමට සියළු කටයුතු සූදානම් ව තිබේ."

" නැත නැත අඛීල, මා හෙට දින දඩ කෙළියේ නොයෙදීමට තීරණය කර ගතිමි.ඔබ සැමට හෙට දිනය විවේක ගත හැක. අප අසපුවක් අසබඩ රැඳී සිටින බැවින් වෙනත් කිසිවකුටත් දඩයමේ යෙදීම තහනම් බව දන්වා සිටිය යුතු." 
            පැවසූ රජු සෙන්පතියාට ඉවත්ව යන ලෙස සන් කෙළේය.

-------------------------------

මේ අතර තාපස කන්‍යාවන් තිදෙනා පසු වූයේ විමතියෙනි. ඉනුත් සකුන්තලාව පසු වූයෙ මඳ කල්පනාකාරි බවකිනි.

" අහෝ...  දුෂ්‍යන්ත මහ රජතුමා ... කිසි දිනෙක නොදැක උන් බැවින් හඳුනා ගැනීමට අපට අපහසු වූ හැටි."

" මා කීවා නොවේද එතුමා කවරෙකු වුවත් රාජකීය ගති ඇති තේජෝවන්ත පෙනුමක් ඇත්තකු බව?"

" කෙසේ උවත් මට නම් හැඟූනේ එතුමා අපගේ යෙහෙළිය සකුන්තලා වෙනුවෙන් අවශ්‍ය පමනටත් වඩා උනන්දුවක් දැක් වූ වගයි"

" අහා.. එසේනම් රජ මාලිඟාවට කැඳවීමක් අද හෙටම ලැබෙන තෙක් ඉවසා බලා හිදීමු. එසේ නොවේද සකුන්තලා."

මිතුරියන්ගේ කවට බස් හේතුවෙන් කෝපයට පත් සකුන්තලා , ගෞතමී ආර්යාව වෙත ගොස් ඇයගේ පූජා කටයුතු සඳහා සහයෝගය ලබා දුන්නීය.ගෞතමී ආර්යාව අසපුවේ වෙසෙන සියළුම යුවතියන් මවක් ලෙස රැක බලාගත් අතර , එයිනුත් සකුන්තලාව වෙත විශේශ ආදරයක් දැක්වූවේ ඇගේ මව වන මේනකා එතුමියගේ මිතුරියක් වූ බැවිනි. අසපුවේ සියළුම කටයුතු වලදී කාන්තාවන්ගේ මුල්තැන ගෞතමී ආර්යාවට ලැබුණු අතර කන්ව කුලපති තුමාගේ සියළුම ශිෂ්‍යයෝද අනෙකුත් තපස්වරයන්ද ඇයට ගරු සැළකිලි දැක්වූහ.

දුෂ්‍යන්ත රජු අසපුවට පැමිණි බව මේ වන විටත් ගෞතමී ආර්යාව දැන සිටියාය.නමුත් සකුන්තලාව තුල ඇතිවී තිබූ වෙනසට හේතුව එය බව කිසිවිටකත් ඇය සැක කළේ නැත. නමුදු, තම මිතුරියන්ගේ කවට බස් නිසා තමා කෝප වන්නේ ඔවුන් තමාගේ ඇතුළු සිත කියවතියි යන හැඟීම නිසා බව සකුන්තලාවට අවබෝධ වී තිබිණි.

සකුන්තලාව තාපස කන්‍යාවක් බවත්, ඇය කිසි විටෙකත් තමා සතු කර ගත් නොහැකි බවත් සිතමින් සිටි තරුණ රජතුමාගේ මනසේද ඇගේ මිතුරියන් කී බස් නැවත  නින්නාද වෙමින් පැවතුනි. 

" උතුමාණෙනි ඈ තාපස කන්‍යාවක්ම නොවෙයි. ඈව සුදුසු ස්වාමියකුට පාවා දීමයි කුලපතිතුමාගේ අදහස"
" උතුමාණෙනි ඈ තාපස කන්‍යාවක්ම නොවෙයි. ඈව සුදුසු ස්වාමියකුට පාවා දීමයි කුලපතිතුමාගේ අදහස" 
" උතුමාණෙනි ඈ තාපස කන්‍යාවක්ම නොවෙයි. ඈව සුදුසු ස්වාමියකුට පාවා දීමයි කුලපතිතුමාගේ අදහස" 

 ... නමුදු ඇය දැක ගත් යුතු යැයි කොපමණ සිතුවත් නැවත කුමන හේතුවක් නිසා අසපුව වෙත යන්නේදැයි රජුට අදහස් කරගත නොහැකි වූ බැවින් එම අදහස තම හද තුලම සඟවා ගත්තේය.එසේම තමා දුෂ්‍යන්ත බව දැන ගත් කෙණෙහි යුවතියන් බියපත් වූ බවද ඔහුට හොඳින් මතකයෙහි තිබිණි. එහෙත් තවත් වරක් ඇය දැක ගැනීමට ඇත්නම්....

රජුගේ මුහුණ දෙස බලා හුන් විදූශට හැඟුණේ රජු බලවත් කල්පනාවක් පිට පසු වන බවයි. පෙර දින අසපුවට ගොස් පැමිණි රජු අද දින දඩ කෙළිය නවතා දැමුවා පමණක් නොව සිතිවිල්ලෙහි ගිලී හුදෙකළාව පසුවෙයි. විදුශ ගේ සිතට බියක් දැනුණේ රජුගේ හිතට කුමක් හෝ පීඩාවක් දැයි සිතීමෙනි. 

" දේවයන් වහන්ස, ඔබ වහන්සේ කුමක් හෝ සිත් පීඩාවකින් පසුවන හැඩයි."

" නැත, විදූශ.. නුඹ නිසා අද දිනයේ දඩ කෙළියත් නැති විය. දැන් මාගේ සිතුවිල්ලත් නුඹ නැති කර දැමුවා නොවේද?

" ස්වාමිනී.. මා නිසා දඩ කෙළිය නැවැත් වූ බව ඔබ වහන්සේ පැවසුවත්, මා හට නම් හැඟෙන්නෙ දඩ කෙළිය නොපැවත්වීමට නුඹ වහන්සේ පෙර සිටම තීරණය කොට තිබූ බවයි." මඳ සිනා පෑ විදූශ පැවසුවේය

"එසේය විදූශ.. පෙර දින අසපුවේදී දුටු සකුන්තලාව නිසා මගේ හද මඳක් කැළඹී ඇති බවක් මට දැනේ.."

" තහනම් වස්තුවක් විදියට සළකන තාපස කන්‍යාවක් පතන බවක්ද ඔබතුමා මේ පවසන්නේ..."

" ඔබ එසේ පවසන්නේ ඇයව නොදුටු හෙයිනුයි මිත්‍රය.."

" නමුත් තහනම් වස්තූන්ට පුරු වංශයේ රජුන්ගේ හදවත ඇළුම් නොකළ යුතුයි නොවේද රජතුමනී..."

" එසේය මිත්‍රය.. එය එසේම විය යුතුයි"

" නමුත්... නමුත්... අන්ත:පුරයේ මෙතරම් ස්ත්‍රිරත්නයන්ම ඇසුරු කරන ඔබතුමාට ඇති වුණු මේ සිතුවිල්ල නම් මට ඇදහිය නොහැකියි මහ රජතුමනි. හැමදාම රට ඉඳි වළදන ඔබතුමාට සියඹලා වලත් රස බලන්නට හිතුණු හැඩයි.." මෙසේ පැවසූ විදුශ හඬ නගා සිනාසුනේය.

" ඔබ පළමුව ඔබේ දෙනෙතින්ම ඇයගේ රුව දැකිය යුතුයි.ඉන්පසුත් ඔබ ඔය පැවසූ අදහස ඔබගේ හිතට දැනෙනවාදැයි මට පවසන්න." තම මිතුරාගේ බසට කෝප නොගත් දුෂ්‍යන්ත පැවසුවේය.

" තාපසවරු මේ වන විටත් ඔබ තුමා හඳුනාගෙන තිබෙන බවයි පෙනෙන්නේ. කෙසේද ඔබ වහන්සේ ඇය මා හට දක්වන්නේ?"

" එසේය මිත්‍රය, අසපුවට නැවත කුමන කරුණක් උදෙසා යන්නේදැයි මට අදහස් කර ගත නොහැකිවයි මා පසුවන්නේ.."

එයට විදූශ පිළිතුරු දීමට පෙර , දොරටු පාලයන් දෙදෙනාගෙන් අයකු පැමිණ රජුට හා විඳූශ ඇමතිතුමාට අචාර කර සිටියේ  කුඩා තාපසවරු දෙදෙනෙකු රජු හමුවීමට පැමිණ ඇතැයි දැන්වීය.

--------------------------------------------------------------

Monday, October 8, 2012

පෙරැස් මුඳුව 02


තමා දුෂ්‍යන්ත රජු බව යුවතියන් දැනගත්විට කුමක් සිදු වේද..... එක් තීරණයකට එළඹීමට අපොහොසත් වූ රජතුමා තවත් මොහොතක් ඔවුන් දෙස බලා හුන්නේය.....

අබරණ හෝ රාජකීය කඩුව පැළඳ නොමැති බැවින්, තමා රජු ලෙස අනුමාන කිරීමට මිස හඳුනා ගැනීමට ඉඩක් නොවන බව විශ්වාස කළ රජු
 " කිමෙක්ද මේ කළබළය? කවුරුන් විසින් මේ පින්වත් තාපස කන්‍යාවන්ට හිරිහැර කෙරෙත්දැ"යි
සිනාසෙමින් විමසා යුවතියනගේ අවධානය තමා වෙතට යොමු කරවා ගත්තේය.

හදිසියෙන්ම ඇසුණු තේජෝවත් කටහඬින් තුෂ්නිම්භූත වූ යුවතියන් එකිනෙකාගෙ මුහුණු බලා ගත්තේ විමතියෙන් වුවත් අනසූයා ඉක්මනින් යථා තත්වයට පත් වූවා

 " නැත නැත උතුමාණනි, බිය විය යුතු කාරණාවක් නැත. අපගේ මිතුරිය මී මැස්සකුට බිය වී තිබේ. එපමණකි" පැවසුවාය.

" කොහොමද, තාපසවරු සුවෙන් වෙසෙත්ද?" රජතුමා සකුන්තලා දෙස හැරී විමසුවත් තවමත් පියවි සිහියට එළඹ නොසිටි ඇය පිළිවදන් නොදුන්නාය.

ඇයගේ විලාසය දුටු දුෂ්‍යන්ත රජතුමාට මඳ විස්මයක් පහළ වූයේ මෙවැනි රූ සපුවක් සහිත වූ මෙම යුවතිය කන්ව එසේත් නැතිනම් කාෂ්‍යප ඉසිවරයාගේ දුයණිය වන්නේ කෙළෙසදැයි සිතීමෙනි. ඇය මෙතරම් රූමත් වන්නට ඇගේ මව කවරෙක් විය හැකිද? ඇය මනුෂ්‍ය ස්ත්‍රීයක් නොවන්නේදැයි මඳ සැකයක්ද ඔහු තුල ක්ෂනයකින් ඇති වී නැති වී ගියේ හදවතෙහි කුකුසක් ඉතිරිකර තබමිනි.

කළබලයට පත් ප්‍රියංවදා  ''අපට මුණ ගැසුණෙ සම්භාවනීය අමුත්තකු හැඩයි. සකුන්තලාවනි, අසපුවට ගොස් පළතුරු හා උක් හකුරු සහිත සත්කාර බඳුන් රැගෙන එනු මැනවි, පා දෝවනය සදහා ජළය මේ අවටම තිබේ." යැයි පැවසුවාය

සකුන්තලා පිළිවදන් දෙන්නට පළමු අසපුව දෙසට පිය නැගූ අනසූයා පළතුරු පැසක් හා උක් හකුරු සමඟ ඖෂධීය පානය පිළියෙළ කොටගෙන ආවාය.

" මෙහි පැමිණ මෙම තුරු සෙවනෙහි පනවා ඇති ආසනයහි අසුන්ගත මැනවි උතුමාණෙනි,"

"ඔබලාත් අසුන් ගත හොත් නොමැනවිද? පැල සඳහා දිය ඉසීමෙන් ඔබලාටත් විඩා ඇති සැටි පෙනේ."

යෙහෙළියන්ද පසෙක වූ දැව අසුන් වල අසුන්ගත් අතර අමුත්තාට මැනවින් සත්කාර සංග්‍රහ කිරීමට උත්සුක වූවත් සකුන්තලා පසුවූයෙ කල්පනාවලියක වෙළෙමිනි. ''මේ තැනැත්තා කවුද? ඔහු දුටු විට මගේ හිතට දැනෙන හැඟීම කුමක්ද? එය තපෝවනයට නුසුදුසු හැඟීමකැයි මට සිතෙන්නේ කුමක් නිසාද?'' ඇගේ සිතෙහි මම කරුණු එකින් එක පෙළගැසෙමින් පැවතුනත් ස්වාභාවයෙන්ම ලජ්ජාශීලි වූ ඕ තොමො කිසිඳු පැනයක් නොනැඟුවාය.

" ඔබ තුමා කවරෙක්ද? කුමන රාජ පරම්ම්පරාවකට අයත් වන්නේද? බොහොම තෙජොවත් පෙනුමක් සහිත ඔබ තුමා මේ වනයට පැමිනීමට හේතුව වූයෙ කුමක්ද? ඔබගේ අවසර ලැබේ නම්, අප දැන ගැනීමට කැමැත්තෙමු."

අනසූයා විමසූ ප්‍රශ්නාවලිය සඳහා ලබා දෙන පිළිතුරු පිළිබදව සකුන්තලාව ඉතා නොඉවසිල්ලෙන් සවන් යොමා උන්නේ එම පැනයන් පෙර සිටම ඇගේ සිත තුලද පෙරළි කරමින් තිබූ බැවිනි.

"පින්වතිය , පුරු වංශාධිපති දුෂ්‍යන්ත රජු මාව ධර්මාධිකාරි තනතුරට පත් කළා. ඒ නිසා මම මම ස්ථානයට පැමිනියේ තවුසන්ගේ වත් පිළිවෙත් කිසිදූ අවහිරයකින් තොරව පැවතෙන්නේදැයි විමසා බැලීමටයි."

"අහා.. තවුස් රකින අයටත් මෙතැන් පටන් ස්වාමියෙක් ඉන්නා හැඩයි" ප්‍රියංවදා කිකිණි හඬින් හිනැහුණාය.

" මම අසා ඇති සැටිය සැබෑ නම්, කාෂ්‍යප මුණි තුමා ජීවිත කාළයම බඹසර රැකි උතුමෙකු බවයි ප්‍රසිද්ධ. එසේනම්... ඔබලාගේ මිතුරිය එතුමාගේ දියණිය වන්නේ කෙසේද?"

"එසේය, නමුත් කාෂ්‍යප මුණි තුමා  මෙතුමියගේ සැබෑ පියතුමා නොවෙයි.මෙතුමියගේ සැබෑ පියතුමා කුඩා කළම මැය හැරදමා ගොස් සිටියදී හදා වඩාගත් පියතුමා තමයි කාෂ්‍යප මුණි තුමා"

"එසේනම් සැබෑ පියතුමා කවරෙක්ද?"

" ඔබතුමා අසා ඇතිකෞෂික නම්, බොහොම බල සම්පන්න රාජ ඉර්ශීන් වහන්සේ කෙනෙකු ඉන්නා බව. එතුමා තමයි සකුන්තලාවගේ පියා. බොහෝ කාලයකට පෙර මෙම ඉසිතුමා යමුණා ගඟ අසබඩ උග්‍ර තපස්දමක් පුරමින් සිටියා.මෙම තපස ගැන සැකයක් උපදවාගත් දෙවිවරු එතුමාගේ තපසට බාධා කිරීම සඳහා මේනකා නම් ඉතාම රූමත් දිව්‍ය අප්සරාව යමුණා ගං ඉවුරේ අසපුව වෙත යවා තිබෙනවා."

" ඉතින්....?"

"ඉතින් ... වසන්ත උත්සව කාළෙ හදවතත් උමතු කරවන තරම් සුන්දර ඇගේ රූප සෞන්දර්යය දැකලා තපසට බාධා කරගත්තු ඉසිතුමාට දාව මේනකා නම් එම අප්සරාවගෙන් උපන් කුමරිය තමයි අපගේ මේ සුන්දර මිතුරිය..."

" ඔහෝ.... එහෙනම් එයයි ඇගේ මේ රූමත්කමේ රහස"

පැවසූ රජු විමසිලිමත් නෙතින් සකුන්තලාව දෙස බැලූවද ඇය තවමත් පසුවූයේ බිම බලාගත් ගමන්මය.

ඇයගේ විලාසය හා තරුණ අමුත්තාගේ නොනවතින ප්‍රශ්නාවලිය කවට කමට ගත් මිතුරියෝද

" උතුමාණෙනි ඈ තාපස කන්‍යාවක්ම නොවෙයි. ඈව සුදුසු ස්වාමියකුට පාවා දීමයි කුලපතිතුමාගේ අදහස" යනුවෙන් පවසා සිනාසුණහ.

" මම යන්නෙමි.. නුඹලා කිසිඳු තේරුමකට නොමැති අනවශ්‍ය දෑ අමුත්තන් හා පවසන බවට ගෞතමී ආර්යාව වෙත ගොස් පැමිණිලි කරන්නෙමි."

 හිස ඔසවා මිතුරියන් වෙත කෝප දීප්ත නේත්‍රයෙන් බැලූ සකුන්තලා කුමරිය තර්ජනය කළාය.

ඇයගේ විලාසය දුටු රජුගේ මුවට සිහින් සිනාවක් නැංගේය. "මෑ නම් නියම රජ කුමරියක්ම තමා. ඇය සුදුසුවන්නේද රජ මැඳුරකටැයි" හෙතෙම තමන්ටම මතුරා ගත්තේය.

" මිතුරිය මෙවන් උසස් අමුත්තකුට සත්කාර නොකර හිතුමතේ මඟ හැර යාම යුතු නොවේ"

" පින්වතියනි, ඔබලාට බොහෝ වෙහෙස හැඩයි. කාෂ්‍යප කුලපති තුමාත් අසපුවේ වැඩ නොසිටින බැවින් මාද දැන් යා යුතුයි"

රජු පැවසුවේ තමා හා දඩ කෙළියේ පැමිණි පිරිවර තමා සොයා පැමිණියහොත් තපෝ වනයේ වාසීනට බාධා ඇතිවන බවත්, යම් ප්‍රමාදයකින් තමා කවුදැයි හෙළි වුවහොත් යුවතියන්ද බියට පත්වන බවත් සළකාගෙනය.

එකෙනෙහිම එතනට සැපත් වූ එක් හේවායෙකු, තම ස්වාමියා වූ රජු දුටුවෙන් ලහි ලහියේ රජු වෙත විත් ආචාර කර සිටියේ යුවතියන් තිගස්වමිනි.

" අපටත් අසපුවට යන්නට ඉතින් අවසර රජතුමනි"
සිතේ තැතිගැන්ම මඳක් වසන් කරගත් ප්‍රියංවදා වෙවුලනසුළු කටහඬින් අයැද සිටියාය.

සිනාසුණු රජ තෙමෙ තමශ්‍රී හස්ථය ඔසවා ඔවුනට ආචාර කොට පසු නොබලා ආපසු ගමන් කළේ තම සෙබළාට මුවින් නැතත් හදවතින් බැණ වදිමිනී. තමා සොයා ආ සෙබළ රඛිත තමාට බෙහෙවින් ලැදි පුද්ගලයකු බව රජු දනී.එහෙයින් ඔහුට දොසක් කියන්නට රජුගේ දිව නො නැමුණේය.

-----------------------------

ඔයාලා හුඟ දෙනෙකුගේ දිරි ගැන්වීම මත ඔන්න පෙරැස් මුඳුව කතාවේ දෙවෙනි කොටසත් ලිව්වා. වැරදි අඩුපාඩු හදා ගන්න අදහසක් දක්වලා යන්න පුළුවන් නම් හුඟාක් වටිනවා.

Thursday, October 4, 2012

පෙරැස් මුදුව....


මුව පොව්වාට මානන ලද දුනු දිය පහත හෙලූ දුෂ්‍යන්ත රජ තෙමේ වටපිට බැලූයේ තමා සමඟ දඩ කෙළියේ යෙදුණු තම පිරිවර දැක ගැනීමේ අටියෙනි. එහෙත් තමා සමඟ සිටින්නේ තම රථාචාර්යයා වන චරිත පමණක් බව දුටු රජ තෙමේට තමා මුව පොව්වාට අවධනය යොදා ඌ පසුපස හඹා එන අතරතුර තම පිරිවර මග හැරී ඇති බව නිරායසයෙන්ම කල්පනා විය. එසේම තමා නොදැනුවත්වම වනය තුල බොහෝ දුරක් පැමිණ ඇති බවද දුටු රජතුමා වටපිට බැලූයෙ මේ කුමන ඉසව්වක්දැයි තේරුම් ගැනීම සඳහාය. ඒ අතරම තමා ලුහුබැඳ පැමිණි මුව පොව්වා අත නුදුරේම සිටිනු දුටු දුෂ්‍යන්ත රජ නැවතත් දුනු දිය මෑනුවේ මෙතෙක් දුර තමා ගෙන අවුත් වෙහෙසට පත් කළා වූ මුව පොව්වා දඩයම් කර ගන්නා අටියෙනි.

" හා .. හා.. දේවයන්වහන්ස.. මේ අසපුවේ මුවෙක්. නොමරනු මැනවි..නොමරනු මැනවි.. "

ඒ හඬින් තිගැස්සුණු රජ තෙමේ හිස ඔසවා බැලූ මුත් ඇසට අසුවන මානයේ කිසිවෙකුත් දැක ගත නොහී කුහුළෙන් තම රියැදුරු දෙස බැලීය. ඒ බව තේරුම් ගත් චරිත

" දේවයන්වහන්ස..ඔබ තුමාටයි, ඊ වැටෙන මානෙ ඉන්න මුවාටයි අතර තවුසන් සිටින හැඩයි." යනුවෙන් පැවසීය.

එසැනින්ම පරිවාර තවුසන් දෙදෙනෙකු සමඟ එතැනට පිවිසි වෛඛානස නම් තවුස් තෙමේ ,

"දේවයන්වහන්ස.. මේ අසපුවේ මුවෙක්. නොමරනු මැනවි."

 දුනු දිය පහත හෙලූ දුෂ්‍යන්ත රජ "සමාවුව මැනවි. ඒ බවක් නොදත්තෙමි. "  පවසා තවුසන්ගේ පාද අභිවාදනය කෙලේය.

" පුරු වංශයට ආලෝකයක් වූ ඔබ තුමාට එය මනාව හොබනේය"
පැවසූ තවුස්වරු

"ඔබට සක්විති පුත් රුවනක් ලැබේවා" ආශිර්වාද කළහ.

" ඔබ තුමන්ලාගේ ආශිර්වාදය පිළිගනිමි." හිස නැමූ රජතුමා 

"ඔබතුමන්ලා මේ කොහේ වඩිනා ගමන්ද? මේ අසපුව කා හට අයත් දැයි" ගෞරව පෙරදැරිව විචාලාහ.

" රජ තුමනි, අප මෙහි පැමිණියේ ගිණි දැල්වීම සඳහා දර සෙවීමටයි. තෙළ පෙනෙන මාලිනී හෙවත් මන්දාකිණි ඟඟ අසබඩ පවත්නේ "කන්ව" කුළපති තුමාගේ අසපුවයි. ඔබතුමාට බොහෝ ගමන් විඩාව දැනෙනවා ඇති. එබැවින් ඔබේ කටයුතුවලට අවහිරයක් නොවේ නම් අසපුවට යහපත් වී ආගන්තුක සත්කාර විඳිනු මැනවි"

" කුළපති තුමා දැන් අසපුවේ වැඩහිඳින්නේද?"

"නැත.. දෙවයන් වහන්ස, එතුමා අගන්තුක සත්කාර කිරීම තම දියණිය වන සකුන්තලාහට පවරා, ඇගේ අපල උපද්‍රවයක් සඳහා සෙත් ශාන්තිකර්මයක යෙදීමට සෝම තීර්ථය වෙත ගමන් කළේ අද උදැසනමයි "

"එසේද? එසේනම් මම ගොස් ඈව මුණ ගැසෙන්නමි. සත්තකින්ම ඈ මගේ භක්තිය පිළිබඳව කුළපතිතුමාට සැළ කරනු ඇති "

" යහපති, අපත් දැන් පිටත් වෙන්නෙමු" පැවසූ තවුසන් තිදෙනාද නික්ම ගියහ.

" රියැදුර, තපෝවනයේ වාසින්ට කරදර කිරීම යුතු නොවේ. නුඹ රථය තෙළ පෙනෙන ගස් සෙවන යට තබා ගෙන මඳක් විවේක ගනු. මා අසපුව වෙත පා ගමනින් ම යන්නෙමි"

 කඟපත , දුණු හී හා පැළඳ සිටි අබරණ ලිහා රියැදුරු අතට දුන් රජ තෙමේ සැහැල්ලු හදවතින් හා ලීලාවෙන් අසපුව තුලට ඇතුළු වූ මුත්, ඔහු නෙත ගැටුන දසුණින් ඔහුට දැනුනේ හදවත නැවතත් බර වූවාක් වැනි හැඟීමකි.

චාම් ඇඳුමෙන් පැළඳුමෙන් සැරසුණු තාපස කන්‍යාවන් කිහිපදෙනෙකු තම උකුළේ තැබූ කළගෙඩි වලින් ගෙනා ජළය මල් පැළ මතට ඉසිමින් සත්කාර කරමින් සිටියහ. ඒ අතර කන්ව ඉසිවරයාගේ දියණිය සකුන්තලා හා ඇගේ යෙහෙළියන් වන ප්‍රියංවදා හා අනසූයා ද වූහ.

"සකුන්තලා, මගේ හැඟීම නම් , නුඹෙ පියා නුඹට වඩා  මේ ගහ කොළ පැළෑටි වළට ආදරය කරනා බවයි. එනිසයි දෑ සමන් වැළක් වාගේ බොහොම සියුමැළි ඔබටත් මේ ගස් වැල් වළට ජළය ඉසින්නට නියම කර ඇත්තේ" අනසූයා සිනාසෙමින් එසේ පැවසුවේ , ඇයගේ සැබෑ හැඟීම එය නිසා නොව,සකුන්තලාවන් කෝප ගන්වන අදහසින් පමණකි.

" පියාණන් ගේ නියමයම නොවෙයි අනසූයා.මාත් මේ ගහකොළට සොහොයුරන්ට වාගේ ආදරෙයි"  පැවසූ සකුන්තලා සිනාසුනාය.

ප්‍රියංවදා අනසූයා දෙසට ඉඟි කරමින් සිනාසුණේ සකුන්තලාවන් අනසූයාගේ වදන් වලින් කෝපයට පත් නොවූ බැවිණි.

මේ අතරතුර කොහොඹ රුකක් සෙවණට වී සුළඟේ පහස ලබමින් සිටි තරුණ දුෂ්‍යන්ත රජතුමාගෙ සවණට නිරායාසයෙන්ම පතිත වූ දෙබසින් හෙතෙම වටහා ගත්තේ මෙම තරුණියන් අතුරෙන් වඩාත්ම සුන්දර තරුණිය ලෙස ඔහුගේ හදවත නතර කරලන්නට සමත් වූ යුවතිය කන්ව ඉසිතුමාගේ දුහිතෘ සකුන්තලාවන්ම වන බවයි.

"මිතුරිය සකුන්තලා මෙහි එනු මැනවි. ඔබ විසින් ඉමහත් ආදරයෙන් සත්කාර කරන ලද සමන් වැළෙහි කැකුළු මතු වී තිබේ. අහෝ... කෙතරම් සතුටට කරුණක්ද මේ..."

" හැබෑමයි, මී අඹ තුරෙහි එතී මෙතෙක් කල් රැකුණු සමන් වැළ මල් කැකුළු දැරීමෙන් සුන්දරව පෙනේ. මේ වසත් කළ ඇරඹුමත් සමඟ  ළපටි කොළ වල කොළ පැහැයෙන් දිදුලන මී අඹ රුකෙහිද කැකුළු මතුවී ඇති හැඩයි.." 

" මිතුරිය ප්‍රියංවදා.. සකුන්තලා කුමරිය මී අඹ රුකත්, සමන් වැළත් දෙස බලාගෙන භාවනාවක හැඩයි."

" හ්ම්.. එතුමිය ප්‍රාර්ථනා කරනවා ඇත්තේ සමන් වැළට වැළඳ ගැනීමට සුදුසු රුකක් ලැබුණු ලෙසින්ම ඇයටත් ගැළපෙන ස්වාමියෙකු ලැබේවා කියා විය හැකියි"

" ඒ නම් පැවසුවේ ඔබේ හදවතේ තිබූ ප්‍රාර්ථනාව විය හැකියි ප්‍රියංවදා "

එසේ පැවසූ සකුන්තලා සමන් වැල වෙත ඉමහත් උවමනාවෙන් ජළය ඉසීමෙහි නිරත වූවේ තම පැහැපත් වක්ත්‍රය රත් පැහැ කරගනිමිනි.

සමන් වැළෙහි මල් කැකුළු අතර සරමින් සිටි බිඟුන් කීප දෙනෙකු ජළය ඉසීම නිසා කළබල වූයේ සකුන්තලාව වටා කැරකෙන්නට වූයේ ඒත් තවත් පියුමක් යැයි වරදවා වටහා ගැනීමෙන්යැයි සිතිවිල්ලක් පහළවූ තරුණ රජතෙමේගේ මුවඟට නිතැතින්ම සිනාවක් නැංඟේය.

මී මැස්සන්ට බියපත් වූ සකුන්තලා යා යුතු අතක් නොදත්තේ තම යෙහෙළියන්ගේ පිහිට පතමින් කෑ ගෑවාය.

යෙහෙළියන් දෙදෙනාද මෙය සිනාවට කාරණයක් කර ගත්තෝ " ඔබ ආරක්ෂා කර ගැනීමට අපහට කෙසේ හැකියාවක් ඇත්ද? තපෝ වනය ආරක්ෂා කළ යුත්තේ දුෂ්‍යන්ත රජතුමාය. ඉඳින් එතුමා බැණවූයේ නම් යහපතැයි" කියූහ.

මෙවදන් කණ වැකුණු දුෂ්‍යන්ත රජතුමාගේ තේජවන්ත පැහැපත් මුහුණ ආඩම්බරය හා ලජ්ජාව නිසා මඳක් පැහැය වෙනස් වී ගියද , වත පුරා වැවූ දළ රවුල හේතුවෙන් එය පිටතට දැක්වුණේ මද වශයෙනි.

එකෙනෙහිම ඔහුගේ සිතට පැමිණි සිතුවිල්ල වූයේ යුවතියන් වෙත තමා හට ඉදිරිපත් වීම සඳහා නිරායාසයෙන්ම අවස්තාවක් ලැබී ඇති බවකි. නමුත්..... තමා දුෂ්‍යන්ත රජු බව යුවතියන් දැනගත්විට කුමක් සිදු වේද..... එක් තීරණයකට එළඹීමට අපොහොසත් වූ රජතුමා තවත් මොහොතක් ඔවුන් දෙස බලා හුන්නේය.....

----------------------------------------------------------

පසු වදන....

මම මේ ලියන්න හදන්නේ අතිශයින්ම ජනප්‍රිය ඉතිහාසගත ප්‍රේම කතාවක් වන දුෂ්‍යන්ත රජතුමාගේ හා සකුන්තලා කුමරියගේ ප්‍රේම වෘතාන්තය ගැනයි. ඒත්... ටිකක් දිග කතාවක් විදිහට ලියැවෙන  මේ කතාව මම සාර්තක විදියට ලියනවද කියලා තීරණය කරන්න ඕනෙ ඔයගොල්ලොයි. ඉතින් මේ කොටස කියවලා ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර මත ඉතුරු කොටස් ලියන්නම්... අදහස් දක්වන එක වටිනවා. මම මෙ විදියට කතාවක් ලියන්නේ පළමු වතාවට නිසා. රජ කාලෙ බස් වහර පාවිච්චි කරන්නත් උණා ලියන්නේ ඒ කාලෙ කතාවක් නිසා . සාර්ථකද මන්දා.... :D