Friday, February 8, 2013

විලච්චි ගියෙමි


මේ තමයි අනුරාධපුර ඉඳන් විලච්චියට යන පාර
හදිසියෙම රාජකාරි කටයුත්තකට විලච්චියට යන්න සිද්ධ උණා. විලච්චිය කියලා පහසුවට කිවුවට හරිම නාමය තමයි මහ විලච්චිය කියන්නේ. මම මීට කලින් ඇත්තටම මහ විලච්චියට ගිහින් නැහැ. ආ.. ඔව් ඔව් දැයට කිරුලට ගියා තමා, ඒත් ඉතින් ඒක තිබ්බේ ඔයාමඩුවෙනෙ. අපි ගියේ මහවිලච්චිය පොලිසියට.යනකනුත් මට හිතිලා තිබ්බේ නෑ මෙහෙම පෝස්ට් එකක් දාන්න. ගියාට පස්සේ අහපු කතාවක් නිසයි හිතුනේ මේක ලියන්න ඕනෙ කියලා.

අනුරාධපුර නගරයේ ඉදලා 32  දුරින් තමයි මහවිලච්චිය තියෙන්නේ. අනේ ඉතින් දෙය්යන්ගෙ පිහිටයි බස් නම් වැහි වැහැලා. උදේ හතේ ඉඳන් බස් හෝල්ට් එකේ හිටියත් බස් එකක් එනකොට වෙලාව 8ත් පහුවෙලා. ඒකත් ඉතින් මඟ දිගට කොට කොටා , ගෙවල් ගානේ නවත්ත නවත්තා විලච්චියට යනකොට වෙලාව 9.30යි. විලච්චිය පේමඩුව හන්දියෙන් බැහැලා ඇතුලට කිලෝමීටරයක් තරම් දුර යනකොට තමයි මහ විලච්චිය පොලිසිය හම්බ වෙන්නේ. හරිම නිස්කලංක පරිසරයක්. ඒත් මට නම් හිතුනේ හැම දාම නං මේ වගේ පරිසරයක ඉන්න බැරි වෙයි කියලයි.පාර අයිනට වෙන්න එක යායට ගෙවල් තිබුණත්  ඇතුලට යන්න යන්න ගෙවල් තියෙන්නෙ විශාල වතු මැද එකකට එකක් හරි දුරින්. අතරින් පතර කැළෑවත් තියෙනවා. හිතට බයක් දැණුණා වැඩිය මිනිස්සු පේන්නත් නොහිටි හින්දා.

                මේ තමයි ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම පේන දර්ශනය

කොහොමින් කොහොම හරි පොලිසිය ගේට්ටුවෙන් ඇතුල් වෙද්දිම දැක්ක බුදු මැදුරක් එක්ක තිබ්බ සුවිසල් බෝධිය හිතට ගෙනාවෙ හරිම සිසිලසක්. ගේට්ටුවෙන් ඇතුළු වෙද්දී වම් අත පැත්තේ ටිකක් දුරින් තමයි ළමා හා කාන්තා කාර්යාංශ ගොඩ නැගිල්ල පිහිටුවලා තිබ්බේ. පොලිසිය ආරම්භ කරලා තියෙන්නේ 1975 වර්ෂයේ. වත්ත අක්කර 12ක්. නිල නිවාස 12ක් පොලිස් නිලධාරින්ගෙ බැරැක්කය, තවත් ගොඩ නැගිලි කිහිපයක් තිබ්බා. පිරිසිදුයි.පිළිවෙලයි.

 ඉතින් කොහොමින් කොහොම හරි අපි ගියපු රාජකාරි වැඩේ ඉෂ්ට සිද්ධ කර ගන්නත් පොලිස් නිලධාරින්ගේ සහයෝගය අපිට උපරිමයෙන් ලැබුණා. ඒ වැඩ කටයුතු ඉවර වෙලා කෑම බීම එහෙමත් ගත්තට පස්සේ මට හිතුණා ගිහින් කාන්තා කාර්යාංශයටත් පොඩ්ඩක් ඔලුව දාලා බලන්න. ඉතින් පොලිස් නිලධාරියෙක් හා මේ පැත්ත ගැන හොඳට විස්තර දන්න අපේ කාර්යාලයෙම මහත්මයෙක් එක්ක කතා කරමින් ඒ පැත්තට යද්දි පරණ සිද්ධි කීපයක්ම ඇදිලා ආවා. ඒ නිසයි මට මේ ලිපිය ලියන්නත් හිතුනේ. 

දැනටත් පොලිසිය තියෙන පැත්ත ටිකක් කැළෑව. වැඩිය මිනිස්සු ගැවසෙන්නේ නෑ. පාරවල් තියෙනවා. පොලිසියට ඇතුළු වෙන්න තිබුණු පරණ ගේට්ටුව දැන් වහලා දාලයි තියෙන්නේ. කාන්තා කාර්යාං‍ශය තියෙන්නේ ඒ ගේට්ටුව ලඟමයි. ඒ අහල පහල තියෙනවා ලොකු පළු ගස් කීපයකුත්. ඉස්සර 1985 විතර කොටි කලබල තිබ්බ කාලේ මේ පැත්තෙත් කැළෑවල ත්‍රස්තවාදින් හිටියලු. මිනිස්සුත් බයෙන් බයෙන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒ දවස් වල ඔය පරණ ගේට්ටුව තමයි පාවිච්චි කරල තියෙන්නේ.රෑට ඔය ගේට්ටුව ඉස්සරහම තියෙන පළු ගහේ හොඳ එළිය තියෙන ෆ්ලෑෂර් එකක් හයි කරලා තිබුනළු පළාතම හොඳට පේන්න. එක දවසක් ත්‍රස්තවාදින් කීප දෙනෙක් ඇවිත් තියෙනවා පොලිසිය විනාශ කරන්න. බෝම්බයක් හයි කරලා මුළු පොලිසියම පුපුරුවා හරින්නයි සැලසුම තිබිලා තියෙන්නේ. කොටි කිහිප දෙනෙක් බෝම්බයට අයිති රිමොට් එක තියාගෙන ටව්න් එකේ ඉන්නත්, කොටි දෙදෙනෙක් බෝම්බය ගෙනිහින් පොලිසියේ රඳවලා හොරෙන්ම පිටවෙලා තමන් ආරක්ෂා වෙන තරම් දුරකට ඇවිත් අහසට වෙඩිල්ලක් තියන්නත් තමයි සැලසුම් කරලා තියෙන්නේ. වෙඩිල්ල තමයි සංඥාව. එතකොට ටවුන් එකේ ඉන්න අයට පුලුවන් ඒ මොහොතෙම රිමොට් එකේ බොත්තම ඔබලා මුළු පොලිසියම විනාශ කරලා දාන්න.


ඉතින් පොලිසියට එන්න ආව කොටි දෙන්නට පොලිසිය තියෙන තැන ගැන එහෙමටම අවබෝධයක් තිබිලා නෑ. ගමේ කසිප්පු විකුණන තැනකට ගිහින් හොඳට  බීලා. එතන හිටපු මිනිස්සු දෙන්නේකුත් පාර පෙන්නන්න අඬ ගහගෙන තමයි මේ කොටි දෙන්නා ඇවිත් තියෙන්නේ, බෝම්බෙ ගෙනත් තියෙන්නේ එක ත්‍රස්තවාදියෙක් ඉනේ බැඳගෙනයි. පොලිසියට ලංවෙනකොට අර පළු ගහේ තිබ්බ ෆ්ලෑෂර් එක නිසා එතන මුර කුටියේ හිටිය රාලහාමිලාට මේ අය පෙනිලා තියෙනවා පැහැදිලිව. කෑ ගහලා නවතින්න කිවුවට නැවතුනේ නැති නිසාත්, සැකයක් ඇති උණ නිසාත් එක රාලහාමි කෙනෙක් වෙඩිතියලා තියෙනවා මේ කට්ටියට. ඒ වෙලාවෙ ගමේ මිනිස්සු දෙන්නා පැනලා දිව්වත් පොලිසිය කිට්ටුවට ඇවිත් හිටපු ත්‍රස්තවාදින් දෙන්නා ආපහු හැරිලා නෑ. ඒත්... අර රාලහාමි තියපු වෙඩිල්ල තමන්ගෙ සංඥාව කියලා හිතපු අනිත් කොටි රිමොට් එක ක්‍රියා කරවලා. බෝම්බේ තියන්න ආව ත්‍රස්තවාදින්ගෙ කෑලි පළු ගහ උඩත් තිබුණා කියලයි පොලිසියේ අය කියන්නේ. පොලිසියේ කාටවත් තුවාලයක් වත් වෙලා නෑ.

මට නම් හිතුනේ කළ කළ දේ පළ පළ දේ කියන්නේ මේ වගේ දේවල් වලටයි කියලා.



වසා දමා ඇති පරණ ගේට්ටුව (ඔන්න ඔය පළු ගහේ තමයි ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු වල කෑලි රැදීලා තිබ්බා කියන්නේ
                                                                

මේ පළු ගහේ තමයි අර කියපු ෆ්ලෑෂර් එක හයි කරලා තිබිලා තියෙන්නේ

ළමා හා කාන්තා කාර්යාංශය මහ විලච්චිය පොලිස් ස්ථානය

මම ඇහුවා කාන්තා කාර්යාංශෙ හිටපු නිලධාරිනියකගෙන්,

 "මෙහෙ හොරු එහෙම නැද්ද? පාළුයිනෙ හැම තැනම."

" හොරු නම් එහෙමටම නෑ මිස්"

" ඔයාලට පැමිණිලි ගොඩක් එනවද කාන්තා කාර්යාංශෙට?මොනවගේ ඒවද එන්නේ?"

" හොරු නම් ඒ තරම් නෑ මිස්, ඒත් මෙහෙ පාළු නිසාද මන්දා ස්ත්‍රී දූෂණ ලමා අපචාර වගේ දේවල් නම් ඉස්සර හුඟක් ආවා. දැන් නම් අඩුයි. මාසෙකට එකක් දෙකක් වගේ තමයි එන්නේ"

අප්පේ ඉතින් මාසෙකට දෙකක්? මදෑ නේද? මේවට පිළියම් නැද්ද මන්දා. මිනිස්සු  තිරිසන් මානසිකත්වයෙන් මිදිලා මනුස්ස තත්වයට එනකල් ඉතින් මේවා මෙහෙමම තියෙයි. මොන විදියේ නීති තිබුණත් වැඩක් නෑ.

තව කතා කීපයක්ම ඇදිලා ආවා.ඒවා පස්සේ කියන්නම්කෝ. මම ලියපු දිගම පෝස්ට් එක මේකද කොහෙද. කට්ටියට බෝරිං උනාද මන්දා.


පැරණි මුරපොලේ පාදම
පැරණී ගේට්ටුව වෙත පිවිසෙන මාර්ගය

19 comments:

  1. ෂහ්... මෙන්න මෙයා ගමනක් ගිහින්.. :)
    මොනවා උනත් මරු අත්දැකීමක් වගේ!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  2. අවුරුදු ගාණකට ඉස්සර මම ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ඇතුළු රණ විරුවන් පිරිසක් සමග මහවිලච්චිය වැව් තාවුල්ලේ ගත කළ බිරකරු එහෙත් ආස්වාද ජනක මතකය අලුත් කළා මේ පෝස්ටුව.

    ReplyDelete
  3. බොහොම ස්තුතියි අරුන්දතී මේ විස්තරේට... හනේ දෙයියනේ... කොටි විප්ලවකාරයොන්ට කසිප්පු දැක්කම ආව වැඩෙත් අමතක වෙලා තියෙන්නෙ පොලිසියේ අයගෙ වාසනාවටද කොහෙද...

    ReplyDelete
  4. හයියෝහ්.. මමනම් යන්න ආස නැතිම පැත්තක්.හපෝ.. වේලිච්ච ගස්.

    ReplyDelete
  5. අර බෝම්බෙ හොඳ වෙලාවට බේබද්දෝ දෙන්නෙකුට ගෙනියන්න දීලා තියන්නේ. නැත්නම් මහ විනාසයක් නේ වෙන්නේ..

    ReplyDelete
  6. flasher එකට ස්තුති වෙන්න පොලිසිය බේරුනා. :D

    ReplyDelete
  7. @ අඩවි රජ

    ස්තූතියි රජතුමනි :)

    @ නලීන්

    ඒ කොයි කාලෙද නලීන්?

    @ මියුරු

    ඒක නම් ඇත්ත

    @ දර්ෂණ

    දැන් එහෙම නෑ . වැවත් පිරිලා තියෙන්නේ.

    ReplyDelete
  8. @ චන්දන

    ඔව් චන්දන. මට නම් හිතා ගන්නත් බෑ කොයි තරම් විනාසයක් වෙයිද කියලා.

    @ මැට්ta

    ඔව් ෆ්ලෑශර් එක නිසානෙ එයාලව පෙනුනේ.

    ReplyDelete
  9. වල් අලි එහෙම දැක්කෙ නැද්ද ?

    ReplyDelete
  10. මේ පොලිස්යේ ඉද්දි සාංකාව හැදෙන්නේ නැද්ද? පුදුම පාළු ගතියක් තියෙන්නේ.

    ReplyDelete
  11. හොද ලිපියක් යාළුවා.අපේ පැත්තෙත් ඇවිදින් යන්න http://sinhapedia.blogspot.com

    ReplyDelete
  12. කොටි වදේ උපරිමයෙන් වින්ද පලාතක් ..

    ReplyDelete
  13. @ යසිත්

    අයියෝ නෑනේ...

    @අසාර්

    ඒක තමා මමත් කිවුවේ නිස්කලංක උනාට හැමදාම නම් ඉන්නකොට එපාවෙයි කියලා.

    ReplyDelete
  14. ඔව් ගාමිණි මහත්මයා, ඔබ තුමා නම් දන්නවා ඇතිනේ හුඟක් විස්තර..

    ReplyDelete
  15. චුට්ටක් ඉරිසියාත් වගෙ තරූ

    ReplyDelete
  16. හි හි හැලප අය්යේ ඔය වගේ වෙලාවට තමයි කියන්නේ " මගේ අරක්කු මටම ගහනවා " කියලා. හිකිස්... :P

    ReplyDelete
  17. කතාව ඉතාම රසවත්ව ගොනු කරලා තියෙනවා. තව තවත් මෙවැනි සුන්දර කතා අප හමුවට ගෙන ඒමට ධෛර්ය ලැබේවා කියා ප්රාකර්ථනා කරමි. තෙරුවන් සරණයි !!!

    ReplyDelete
  18. මේ පොලිස් නිලධාරීතුමියක්ද ??

    ReplyDelete