Thursday, October 4, 2012

පෙරැස් මුදුව....


මුව පොව්වාට මානන ලද දුනු දිය පහත හෙලූ දුෂ්‍යන්ත රජ තෙමේ වටපිට බැලූයේ තමා සමඟ දඩ කෙළියේ යෙදුණු තම පිරිවර දැක ගැනීමේ අටියෙනි. එහෙත් තමා සමඟ සිටින්නේ තම රථාචාර්යයා වන චරිත පමණක් බව දුටු රජ තෙමේට තමා මුව පොව්වාට අවධනය යොදා ඌ පසුපස හඹා එන අතරතුර තම පිරිවර මග හැරී ඇති බව නිරායසයෙන්ම කල්පනා විය. එසේම තමා නොදැනුවත්වම වනය තුල බොහෝ දුරක් පැමිණ ඇති බවද දුටු රජතුමා වටපිට බැලූයෙ මේ කුමන ඉසව්වක්දැයි තේරුම් ගැනීම සඳහාය. ඒ අතරම තමා ලුහුබැඳ පැමිණි මුව පොව්වා අත නුදුරේම සිටිනු දුටු දුෂ්‍යන්ත රජ නැවතත් දුනු දිය මෑනුවේ මෙතෙක් දුර තමා ගෙන අවුත් වෙහෙසට පත් කළා වූ මුව පොව්වා දඩයම් කර ගන්නා අටියෙනි.

" හා .. හා.. දේවයන්වහන්ස.. මේ අසපුවේ මුවෙක්. නොමරනු මැනවි..නොමරනු මැනවි.. "

ඒ හඬින් තිගැස්සුණු රජ තෙමේ හිස ඔසවා බැලූ මුත් ඇසට අසුවන මානයේ කිසිවෙකුත් දැක ගත නොහී කුහුළෙන් තම රියැදුරු දෙස බැලීය. ඒ බව තේරුම් ගත් චරිත

" දේවයන්වහන්ස..ඔබ තුමාටයි, ඊ වැටෙන මානෙ ඉන්න මුවාටයි අතර තවුසන් සිටින හැඩයි." යනුවෙන් පැවසීය.

එසැනින්ම පරිවාර තවුසන් දෙදෙනෙකු සමඟ එතැනට පිවිසි වෛඛානස නම් තවුස් තෙමේ ,

"දේවයන්වහන්ස.. මේ අසපුවේ මුවෙක්. නොමරනු මැනවි."

 දුනු දිය පහත හෙලූ දුෂ්‍යන්ත රජ "සමාවුව මැනවි. ඒ බවක් නොදත්තෙමි. "  පවසා තවුසන්ගේ පාද අභිවාදනය කෙලේය.

" පුරු වංශයට ආලෝකයක් වූ ඔබ තුමාට එය මනාව හොබනේය"
පැවසූ තවුස්වරු

"ඔබට සක්විති පුත් රුවනක් ලැබේවා" ආශිර්වාද කළහ.

" ඔබ තුමන්ලාගේ ආශිර්වාදය පිළිගනිමි." හිස නැමූ රජතුමා 

"ඔබතුමන්ලා මේ කොහේ වඩිනා ගමන්ද? මේ අසපුව කා හට අයත් දැයි" ගෞරව පෙරදැරිව විචාලාහ.

" රජ තුමනි, අප මෙහි පැමිණියේ ගිණි දැල්වීම සඳහා දර සෙවීමටයි. තෙළ පෙනෙන මාලිනී හෙවත් මන්දාකිණි ඟඟ අසබඩ පවත්නේ "කන්ව" කුළපති තුමාගේ අසපුවයි. ඔබතුමාට බොහෝ ගමන් විඩාව දැනෙනවා ඇති. එබැවින් ඔබේ කටයුතුවලට අවහිරයක් නොවේ නම් අසපුවට යහපත් වී ආගන්තුක සත්කාර විඳිනු මැනවි"

" කුළපති තුමා දැන් අසපුවේ වැඩහිඳින්නේද?"

"නැත.. දෙවයන් වහන්ස, එතුමා අගන්තුක සත්කාර කිරීම තම දියණිය වන සකුන්තලාහට පවරා, ඇගේ අපල උපද්‍රවයක් සඳහා සෙත් ශාන්තිකර්මයක යෙදීමට සෝම තීර්ථය වෙත ගමන් කළේ අද උදැසනමයි "

"එසේද? එසේනම් මම ගොස් ඈව මුණ ගැසෙන්නමි. සත්තකින්ම ඈ මගේ භක්තිය පිළිබඳව කුළපතිතුමාට සැළ කරනු ඇති "

" යහපති, අපත් දැන් පිටත් වෙන්නෙමු" පැවසූ තවුසන් තිදෙනාද නික්ම ගියහ.

" රියැදුර, තපෝවනයේ වාසින්ට කරදර කිරීම යුතු නොවේ. නුඹ රථය තෙළ පෙනෙන ගස් සෙවන යට තබා ගෙන මඳක් විවේක ගනු. මා අසපුව වෙත පා ගමනින් ම යන්නෙමි"

 කඟපත , දුණු හී හා පැළඳ සිටි අබරණ ලිහා රියැදුරු අතට දුන් රජ තෙමේ සැහැල්ලු හදවතින් හා ලීලාවෙන් අසපුව තුලට ඇතුළු වූ මුත්, ඔහු නෙත ගැටුන දසුණින් ඔහුට දැනුනේ හදවත නැවතත් බර වූවාක් වැනි හැඟීමකි.

චාම් ඇඳුමෙන් පැළඳුමෙන් සැරසුණු තාපස කන්‍යාවන් කිහිපදෙනෙකු තම උකුළේ තැබූ කළගෙඩි වලින් ගෙනා ජළය මල් පැළ මතට ඉසිමින් සත්කාර කරමින් සිටියහ. ඒ අතර කන්ව ඉසිවරයාගේ දියණිය සකුන්තලා හා ඇගේ යෙහෙළියන් වන ප්‍රියංවදා හා අනසූයා ද වූහ.

"සකුන්තලා, මගේ හැඟීම නම් , නුඹෙ පියා නුඹට වඩා  මේ ගහ කොළ පැළෑටි වළට ආදරය කරනා බවයි. එනිසයි දෑ සමන් වැළක් වාගේ බොහොම සියුමැළි ඔබටත් මේ ගස් වැල් වළට ජළය ඉසින්නට නියම කර ඇත්තේ" අනසූයා සිනාසෙමින් එසේ පැවසුවේ , ඇයගේ සැබෑ හැඟීම එය නිසා නොව,සකුන්තලාවන් කෝප ගන්වන අදහසින් පමණකි.

" පියාණන් ගේ නියමයම නොවෙයි අනසූයා.මාත් මේ ගහකොළට සොහොයුරන්ට වාගේ ආදරෙයි"  පැවසූ සකුන්තලා සිනාසුනාය.

ප්‍රියංවදා අනසූයා දෙසට ඉඟි කරමින් සිනාසුණේ සකුන්තලාවන් අනසූයාගේ වදන් වලින් කෝපයට පත් නොවූ බැවිණි.

මේ අතරතුර කොහොඹ රුකක් සෙවණට වී සුළඟේ පහස ලබමින් සිටි තරුණ දුෂ්‍යන්ත රජතුමාගෙ සවණට නිරායාසයෙන්ම පතිත වූ දෙබසින් හෙතෙම වටහා ගත්තේ මෙම තරුණියන් අතුරෙන් වඩාත්ම සුන්දර තරුණිය ලෙස ඔහුගේ හදවත නතර කරලන්නට සමත් වූ යුවතිය කන්ව ඉසිතුමාගේ දුහිතෘ සකුන්තලාවන්ම වන බවයි.

"මිතුරිය සකුන්තලා මෙහි එනු මැනවි. ඔබ විසින් ඉමහත් ආදරයෙන් සත්කාර කරන ලද සමන් වැළෙහි කැකුළු මතු වී තිබේ. අහෝ... කෙතරම් සතුටට කරුණක්ද මේ..."

" හැබෑමයි, මී අඹ තුරෙහි එතී මෙතෙක් කල් රැකුණු සමන් වැළ මල් කැකුළු දැරීමෙන් සුන්දරව පෙනේ. මේ වසත් කළ ඇරඹුමත් සමඟ  ළපටි කොළ වල කොළ පැහැයෙන් දිදුලන මී අඹ රුකෙහිද කැකුළු මතුවී ඇති හැඩයි.." 

" මිතුරිය ප්‍රියංවදා.. සකුන්තලා කුමරිය මී අඹ රුකත්, සමන් වැළත් දෙස බලාගෙන භාවනාවක හැඩයි."

" හ්ම්.. එතුමිය ප්‍රාර්ථනා කරනවා ඇත්තේ සමන් වැළට වැළඳ ගැනීමට සුදුසු රුකක් ලැබුණු ලෙසින්ම ඇයටත් ගැළපෙන ස්වාමියෙකු ලැබේවා කියා විය හැකියි"

" ඒ නම් පැවසුවේ ඔබේ හදවතේ තිබූ ප්‍රාර්ථනාව විය හැකියි ප්‍රියංවදා "

එසේ පැවසූ සකුන්තලා සමන් වැල වෙත ඉමහත් උවමනාවෙන් ජළය ඉසීමෙහි නිරත වූවේ තම පැහැපත් වක්ත්‍රය රත් පැහැ කරගනිමිනි.

සමන් වැළෙහි මල් කැකුළු අතර සරමින් සිටි බිඟුන් කීප දෙනෙකු ජළය ඉසීම නිසා කළබල වූයේ සකුන්තලාව වටා කැරකෙන්නට වූයේ ඒත් තවත් පියුමක් යැයි වරදවා වටහා ගැනීමෙන්යැයි සිතිවිල්ලක් පහළවූ තරුණ රජතෙමේගේ මුවඟට නිතැතින්ම සිනාවක් නැංඟේය.

මී මැස්සන්ට බියපත් වූ සකුන්තලා යා යුතු අතක් නොදත්තේ තම යෙහෙළියන්ගේ පිහිට පතමින් කෑ ගෑවාය.

යෙහෙළියන් දෙදෙනාද මෙය සිනාවට කාරණයක් කර ගත්තෝ " ඔබ ආරක්ෂා කර ගැනීමට අපහට කෙසේ හැකියාවක් ඇත්ද? තපෝ වනය ආරක්ෂා කළ යුත්තේ දුෂ්‍යන්ත රජතුමාය. ඉඳින් එතුමා බැණවූයේ නම් යහපතැයි" කියූහ.

මෙවදන් කණ වැකුණු දුෂ්‍යන්ත රජතුමාගේ තේජවන්ත පැහැපත් මුහුණ ආඩම්බරය හා ලජ්ජාව නිසා මඳක් පැහැය වෙනස් වී ගියද , වත පුරා වැවූ දළ රවුල හේතුවෙන් එය පිටතට දැක්වුණේ මද වශයෙනි.

එකෙනෙහිම ඔහුගේ සිතට පැමිණි සිතුවිල්ල වූයේ යුවතියන් වෙත තමා හට ඉදිරිපත් වීම සඳහා නිරායාසයෙන්ම අවස්තාවක් ලැබී ඇති බවකි. නමුත්..... තමා දුෂ්‍යන්ත රජු බව යුවතියන් දැනගත්විට කුමක් සිදු වේද..... එක් තීරණයකට එළඹීමට අපොහොසත් වූ රජතුමා තවත් මොහොතක් ඔවුන් දෙස බලා හුන්නේය.....

----------------------------------------------------------

පසු වදන....

මම මේ ලියන්න හදන්නේ අතිශයින්ම ජනප්‍රිය ඉතිහාසගත ප්‍රේම කතාවක් වන දුෂ්‍යන්ත රජතුමාගේ හා සකුන්තලා කුමරියගේ ප්‍රේම වෘතාන්තය ගැනයි. ඒත්... ටිකක් දිග කතාවක් විදිහට ලියැවෙන  මේ කතාව මම සාර්තක විදියට ලියනවද කියලා තීරණය කරන්න ඕනෙ ඔයගොල්ලොයි. ඉතින් මේ කොටස කියවලා ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර මත ඉතුරු කොටස් ලියන්නම්... අදහස් දක්වන එක වටිනවා. මම මෙ විදියට කතාවක් ලියන්නේ පළමු වතාවට නිසා. රජ කාලෙ බස් වහර පාවිච්චි කරන්නත් උණා ලියන්නේ ඒ කාලෙ කතාවක් නිසා . සාර්ථකද මන්දා.... :D



8 comments:

  1. aththatama oyaata puduma hakiyaawak thiyenne...suba pathanawa hadawathinma...

    ReplyDelete
  2. මට නම් ඔහොම බර වචනෙන් ලියවෙන්නේ නැහැ අප්පා ගොඩ වෙලාවට..
    හ්ම්ම්..ඉතිරියත් ලියමුකො ඉක්මනින් :)

    ReplyDelete
  3. අනේ තව දිගට ලියන්න.මම හරි ආසයි මේ වගේ කතා වලට

    ReplyDelete
  4. "සාර්ථකද මන්දා...."

    මන්දා නෙමෙයි, අකිශය සාර්ථකයි..... ඇත්තමයි මට දැනුනේ මම සකුන්තලා ලග ඉන්නවා කියලා. හරිම ලස්සනයි. ඉතිරියත් ඉක්මනටම ඕනි. මම හරි ආසයි. අද තමා මොහාට ආවේ. දැන්නම් දිගටම එනවාමයි. :) :) :) :) :)

    ඔයාට ජයෙන් ජය !!!!! :) :) :) :) :)

    ReplyDelete
  5. නියමයි.ඒ දෙබස් ටික හා වචන නිර්මාණය සාර්ථක කරගන්න හොදට බලපාලා.ලියන්න.මරු.ජය !

    ReplyDelete
  6. කතාව ලස්සනට ලියලා..

    ReplyDelete
  7. හ්ම්ම් ගොඩක් රස වින්දා මම කොහොමටත් මෙ වගෙ කතා කියවන්න අසායි... අයෙමත් එන්නම් ජය

    ReplyDelete
  8. පරක්කු වෙලා උනත් නියම බ්ලොග් එකකට ඇවිත් තියන්නේ. මේ වගේ කතා හරි රසවත්..

    ReplyDelete