Wednesday, January 11, 2012

සරෝජා - 02


"සරෝ.... එන්නකෝ ඉක්මනට. බස් එකට පරක්කු වෙළා........."


ගේට්ටුව ලඟ් ඉඳන් නිරූපමා කෑ ගහනවා.සරෝජා සීරුවට ගොතපු කොණ්ඩේ අගට කළු පාට රිබන්  පටිය ගැට ගහලා කණ්ණාඩියෙන් හැඩ බැළුවා. වටයක් කැරකිලා පොත් මිටියත් අරන් ඉක්මනින් ගේට්ටුව ලඟට ගියා.


" පෙනේද නැළවි නැළවි එන ලස්සන.දැනටමත් හොඳටම පරක්කුයි මැට්ටියේ..."


නිරූ තරහින් කියවගෙන යනවා. සරෝජා හිනාවෙවි නිරූට ඇද කලා. නංගිලා දෙන්නයි මල්ලියි ගෙදරින් ගිහින් දැන් ගොඩක් වෙලා. නංගිලා දෙන්නම පප්පා වැඩට යන ගමන් කණිශ්ඨෙට ඇරලවනවා.මල්ලි නම් බයිසිකලේ තමයි කොලෙජ් යන්නෙ.


දෙන්නම ඉක්මනින් මහ පාරට ආවෙ බස් එක වරදියි කියලා බයට. හෝල්ට් එක ලඟට යනකොටම ඈතින් බස් එක එනවා. මේ වෙළාවෙ බස් එකෙ ඉන්නෙ ඉස්කෝල ලමයි විතරයිම වගේ.ඒ නිසා ස්කූල් සර්විස් බස් එකක් නොවුනත් උදේ 7.10 ට යන මේ බස් එක නිකන්ම ස්කූල් සර්විස් එකක් වෙලා තිබුණා.ඇතුළෙ හරි ස්ද්දෙ. දෙන්නම බස් එකට නැගපු ගමන් බැළුවෙ දිනූශා ඉන්නවද කියලා.පිටිපස්සෙම ශීට් එකක ඉඳගෙන හිටපු දිනූ අතවනනවා දැක්ක හින්දා දෙන්නම ලමයි අතරින් තෙරපි තෙරපි පිටිපස්සටම ගියා.


" ගුඩ් මෝනින් සරෝ.ගුඩ් මෝනින් නිරූ! "


"ගුඩ් මෝනින් දිනූ " දෙන්නම සුබ පැතුවෙ එකටමයි.


මේ දවස් වල පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සව පැවැත්වෙනවා. ඒ නිසා උදේ කාල පරිච්චේද හතරම පිට්ටනියෙ ඒ වැඩ වලට තමයි වෙන් උනේ.


ආනන්ද, රාහුල, සීවලී, මහින්ද, තමයි ඉස්කෝලෙ නිවාස හතර. නිරුයි, දිනුයි දෙන්නම මහින්ද නිවාසෙ. සරෝ විතරක් සීවලී නිවාසෙ. ඒත් ඉතින් තනියක් නෑ. පන්තියේ යාළුවො කීපදෙනෙක් ඉන්නවා සරෝ එක්ක. පිරිමි ළමයිනුයි ගැහැණු ළමයිනුයි දෙගොල්ලම....නැතත් ඉතින් නිවාසෙ දිනවන්න හැමෝම වැඩ කරන්නේ සාමුහිකවනෙ.


හැමතැනම ගෝසාව.විවේකය ඉවර වෙලා පන්තියට ආවට කාටවත් ඉගෙන ගන්න නම් හිත නැති පාටයි.


"බඹර පහස ලබන මලක් දෝ...බඹර සුවය සොයන මලක් දෝ..."


රවිඳු, දිනේශ් කට්ටියම ඩෙස් වලට ගහ ගහ සින්ඳු කියනවා. කට්ටියක් නටනවා.කෙල්ලො ටික මේවා බල බල හිනාවෙනවා.


දැන් තියෙන්නෙ ඉංග්‍රීසි පීරියඩ් එක.ඉංග්‍රීසි වලට ඉන්නෙ අළුතින් ආපු මිස් කෙනෙක්.පළවෙනි පත්වීමද කොහෙද. හැබැයි මිස් හරිම ලස්සනයි.ඒත් ... අනේ මන්දා...


" good afternoon children"


" good afternoon teacher" 


ඒ අස්සේ කවුදෝ කියනවා ඇහුණා " good morning teacher " කියලත්...


"ඒ මොකද ඒ... කාටද තාම මෝර්නින්?? " ටීච ඇහුවෙ පිරිමි ළමයින්ගෙ පේළි ටික දිහා බලාගෙන.


" අපේ වචන දෙකක් නෑනෙ ටීචර්.. ඒකයි."
කටකාර රවි උත්තර දුන්නා.. පන්තියම හයියෙන් හිනාවුනත් ටීච රවලා බලපු නිසා ඉක්මනින් නිශ්ශබ්ද උණා.


" මම ඇහුවෙ ඔයාගෙන් නෙවෙයි. ඒක කියපු කෙනාගෙන් .ඔයාද ඒක කිවුවේ?"


" නෑ ටීචර් අසංක තමා කිවුවෙ. ඒත් ඉතින්.. උත්තරේ එකම නිසයි මම උත්තර දුන්නේ "
රවී ආයෙමත් කිවුවා.


ටීචර් රවිඳු දිහා රවලා බලලා අසංක පැත්තට හැරුණා.


" නෑ.. ඉතිං ටීච අපි ඔය හැමෝම කියන කියන දේම ගිරවු වගේ කියන්න හොඳ නෑනෙ ඒකයි " 
අසංකත් බයෙන් බයෙන් වගේ බොරුවට ඇඹරිලා උත්තර දුන්නා.
දැන් නම් ටීචර්ට හොඳටම තරහයි.මුළු පන්තියම හිනා වෙනවා මහ සද්දෙට.ටීචර්ට පන්තිය පාලනය කර ගන්නත් බැරි තරම්.


" අපේ පන්ති වලට එන අනිත් ටීචර්ලා නම් මෙහෙම නෑ නේද "කියලා දිනූ හෙමින් සරෝජාට කිවුවා.


" ඔව් බන්. අනිත් ටීචර්ලා විහිළු විහිළු විදියටම බාර අරන් ඒවා පාලනය කරන්නත් හොඳට දන්නවා. තුශාරි ටීච අළුත් නිසා වෙන්නැති මේ තරම් තරහ ගන්නෙ"


" මොකද ඔතන කුටු කුටුව... නැගිටිනවා ඔය ළමයා.. මොකක්ද නම? whats your name?..."


ටීචර් කෑ ගැහුවෙ සරෝජට...පිරිමි ළමයින් ගෙන් පිරිමහගන්න බැරි උණු තරහ ටීච සරෝජාගෙන පිරි මහන්න හදනවද මන්දා....
සරෝජා නැගිට්ටෙ එහෙම හිත හිතා...