Friday, March 8, 2013
මාරුව...
මට මේ කතාව ලියන්න හිතුනේ වෙනී ලියලා තිබුණු දෙයියෝ සාක්කි ! පෝස්ට් එක දැකලයි. හැබැයි ඉතින් ස්ත්‍රීවාදයවත්, සම තැන ඉල්ලීම වත් මේ කතාවට ඇතුලත් නැහැ ඔන්න :D.
************************
එකමත් එක කාලෙක හිටියලු ගමරාල කෙනෙකුයි, ගම හාමිනේ කෙනෙකුයි. ඉතින් ගමරාල මහන්සි වෙලා කුඹුරු වැඩ කරනවා. අස්වනු ගන්න කාලෙට තවත් වැඩියෙන් මහන්සි වෙලා වැඩ කරනවා.කුඹුරු වැඩ නැති කාලෙට හේන් ගොවිතැන කරනවා. කොහොම කොහොම හරි අඩුපාඩුවක් නැතුව ලමයි තුන් දෙනාටයි, තමන්ගෙ මායියටයි බඩ කට පිරෙන්න තුන් වේල සරි කරලා , ඇදූම් පැළඳුම් එහෙමත් අරන් දෙනවා. ගම හාමිනේ ළමයින්ගේ වැඩ කටයුතු බලාකියාගෙන ගෙදර දොරේ වැඩ කටයුතු කරගෙන ඉන්නවා.
ඒ කාලේ, මේ කාලේ කියලා වෙනසක් නෑනේ ඉතින් මේ ස්වාමිපුරුෂයන්ගේ ගති ලක්ෂණ වල. ඒ හින්දා මේ ගමරාලටත් හිතුණා මම මේ තරම් මහන්සි වෙලා වැඩ කරනවා. ගම හාමිනේ මොනවද කරන්නේ ගෙදරට වෙලා ඉන්නවා. හෙට ඉඳන් කුඹුරු වැඩත් පටන් ගන්නවා. මටත් ගෑණු කෙනෙක් උණා නම් ගෙදරට වෙලා සුවාමිපුරුෂයා හම්බ කරලා දෙන දෙයක් කාලා පාඩුවේ ඉන්න තිබුණා නේද කියලා. කොහොම කොහොම හරි වෙහෙස මහන්සිය වැඩි කමටයි, හිතේ නොරිස්සුමටයි ගමරාලට මේ කතාව , ගම මහගේ එක්ක කියවුණා. ගම මහගේත් ඇරියේ නෑ කතාව. එකපාරටම
" එහෙනම් හෙට ඔහේ ගෙදරට වෙලා ගෙදර වැඩ කරගෙන ලමයි බලාගන්නවා. මම යන්නම් කුඹුරු කොටන්න කියලා" කියපි.
"මේවයේ අමාරුව ගෑණිටත් දැනෙන්න එපායැ.ඔන්න ඔහේ හෙට ගිහින් වැඩ කරපුදෙන් අමාරුව දැනෙන්නත් එක්ක.වරුවක් වැඩ කරනකොට එපාවෙලා ගෙදර ඒවි" කියලා හිතපු ගමරාල එකඟ උණා ඊලඟ දවසේ ඉඳන් දෙන්නගේ වැඩපොල මාරුකරගෙන කරන්න.
ඔන්න ඉතින් පහුවදාට එළි වෙලා ගමරාල ඇහැරලා බලද්දි, ගම මහගේ තමන්ට විතරක් රොටියක් පුච්චගෙන, උදැල්ලත් අරන් කුඹුරට ගිහින්. ගමරාල දැන් ගෙදර වැඩ කරන්න ඕනෑ. මෙහෙම හිතලා නැගිටලා මුලුතැන් ගේ දිහාට යද්දිම තමන්ගේ අතදරුවා ඇහැරිලා අධන්න පටන් ගත්තා බඩගිණි වෙලා කිරි ඉල්ලලා. ඉක්මනින් ළමයා නලවගන්න ඕනෑ හන්දා එළදෙන වත්ත පල්ලෙහයින් ලෙහාගෙන ඇවිත් කුස්සිය ඉස්සරහා පලයක් බාලා හදලා තිබ්බ මඩුවේ කණුවක ගැට ගැහුවා. කිරි ටිකක් දොවලා ලිපට කරන තුරුත් ළමයගේ ඇඩිල්ල නැවතුණේ නැති හන්දා කිරි එක ලිපේ තියද්දිම ගියා ලමයා නලවන්න. ඒ අතරෙදි වත්ත පල්ලෙහා ඉඳන් තමන්ගේ පැටියා කෑ ගහන හඬ ඇහුණ එළදෙන කළබල වෙලා වත්ත පහලට දුවන්න දැඟළුවා.අඩපට්ටලේට හිර කරලා තිබ්බ කණූව පිදුරු වහලත් එක්ක කඩා වැටෙද්දී එලදෙන පැනලා දිව්වා. දැන් ගමරාල වහල හදන්නත් ඕනෑ. පැනලා ගියපු එළදෙන අල්ලන්නත් ඕනෑ. ඒ ඔක්කොටම කලින් ළමයා නලවන්නත් ඕනෑ. ඊලඟට ගුරු ගෙදර යන ලොකු ලමයා ඇහැරවලා කන්න මොකුත් හදලා එයාව පිටත් කරන්නත් ඕනෑ. ඊට බාල දෙවෙනි ලමයා නැගිටින්න කලින් අතදරුවට කවා පොවා ගන්නත් ඕණෑ. ඔය අහු අස්සේ වෙනදටත් කලින් අවදි වෙච්ච දෙවෙනි දරුවා කුස්සියට ගිහින් උතුරන කිරි එක දැකලා ඒකට අත දාලා බැලුවා. ගමරාල අත දරුවත් කිහිල්ලේ ගහගෙන එක පිම්මට කුස්සියට ආවේ දෙවෙනි ළමයගෙ මර හඬදීම ඇහිලා. අත දරුවත් කිහිල්ලේ ගහගෙනම කෝමාරිකා පඳුරෙන් කොලයක් කඩා ගත්තු ගමරාළ ඒක දරුවගෙ දිය බුබුළු නැඟිච්ච අතේ ගෑවා. ලොකු ලමයා නැඟිටලා ගුරු ගෙදර යන්නේ නැද්ද කියලා අහමින් කනුකුනු ගාන්න පටන් ගත්තේ ඔය අතරෙදියි. පොඩි දරුවා නලවා ගන්නත් විදියක් නෑ කිරි නොදුන්න නිසා බඩගින්න වැඩිකමට ළමයාට අඬා ගන්නත් බැරිතරමයි. තාම උයලත්, උයන්න හිතලත් නෑ. ලිඳ ලඟ තියෙන රෙදි සෝදන පනිට්ටුව පුරවලා ලමයි තුන්දෙනාගේ කිළුටු ඇඳුණුත්, තියෙන බව ගමරාල දැක්කේ ලිපේ තියන්න වතුර කලයක් ගන්න ලිඳ ලඟට ගියාමයි.
දැන් නම් ගමරාලට හීන් දාඩිය නෙවෙයි, මහ දාඩියත් දාලා. අත දරුවත් කිහිල්ලේ ගහගෙන , අනිත් දරුවගේ අතිනුත් අල්ලගෙන ගමරාල ගියා කුඹුරට. යනකොට වගේ වගක් නැතුව කුඹුර කොටනවා.
" අනේ යෝදියේ මම කුඹුර කොටා ගන්නම්. හොඳ එකී වගේ මේ ලමයි දෙන්නත් අරගෙන උඹ පලයන් ගෙදර" ගමරාල ඇඟට පතට නොදැනී ගම මහගේට කිවුවා. කට කොණකින් හිනාවෙච්ච ගම හාමිනේ ලඟ තිබුණු ඇලෙන් මුහුණ අතපය සෝදගෙන ළමයත් වඩාගෙන දෙවෙනි දරුවගෙත් අතින් අල්ලගෙන ගෙදර ගියා. සැනසුම් සුසුමක් හෙලපු ගමරාල කුඹුරට බැස්සේ වෙනදාටත් වඩා උනන්දුවෙන්...
************************
හි... හි ඊට පස්සේ මොනා වෙන්න ඇද්ද? ගම හාමිනේ මොන තරම් මහන්සියක් වෙන්න ඇද්ද ගමරාල යකා නටලා වගේ තිබ්බ ගේ පිළිවෙලක් කර ගන්න. අනිත් වැඩ කරන්න. හප්පා.. අර ලියන්නගේ පෝස්ට් එකේ තිබුන " උඹ වෙලාම බලපන්කෝ" කියන කතාව නම් ඇත්තක්ම තමයි. කාන්තාවන් ගැන විතරක් නෙවෙයි, වෙන ඕනෑම කෙනෙක් කරන වැඩක් හැමවෙලාවෙම තව කෙනෙකුට පේන්නේ තමන් කරන වැඩේට වඩා ලේසි වැඩක් විදියටයි. ඒත් ඒ වැඩය තමන්ට කරන්න සිද්ධ උණොත් තමයි තමන් කර කර හිටපු කාර්යය ගැනත් හරි අවබෝධයක් හුඟ දෙනෙකුට ලැබෙන්නේ....
Subscribe to:
Post Comments (Atom)
කතාව නම් හරියටම හරි තරූ,දකිනකොට පෙනෙන පහසුව නෑ....කරලම බලන්න ඕනැ
ReplyDeleteහිකිස්... ඒක තමා...
Deletehemeeta kiyawanna one..
ReplyDeletepasuwa ennam....
සහන් අද හුඟක් බිසි වෙලා වගේ
Delete
Deleteඔන්න දැනුයි විවේකයක් ලැබුණේ නිදහසේ කියවන්න.
ඔව් මේ ටිකේ මන් හිටියේ නැහැනේ , ඉතින් මග අරුණු
පෝස්ට් කියෙව්වා අරුන්දතී...
ඔතොකොට කුඹුරේ නියර හිටන් කඩලා , ඇළවල් හාල ,
දිය බෙදුම් කාල , කුඹුර විනාස කරපු ටික කෝ .......?
( සමස්ත පිරිමි වර්ගයා වෙනුවෙන් දාපු කමෙන්ට් එකක් ඈ :D)
අපොයි එව්වා කරන්නේ කුඹුර කෙටුවට පස්සෙනේ... :D
Deleteකථාඅ හරියට හරි. ඒ කාලේ අම්මල කොහොම කට්ටක් කන්න ඇද්ද කියල හිතෙනවා.
ReplyDeleteඒ කාලේ විතරක් නෙවෙයි අසර් අද කාලෙත් අම්මලා සෑහෙන කට්ටක් කනවා..
Deleteහා හා මම මෙතැනදී අදහස් කලේ අපි පොඩි කාලේ.
Deleteආ.. ඒක මිසක්..
Deleteපිස්සු... ඔය ගමරාලම කුඹුරෙ මායිමේ තිබුන ගහක් කපන්න ගිහිල්ලා, "හප්පෙ යකෙක් කන්න බඩගිනියි" කියපු ගමන්, ගහේ හිටපු යකා බයවෙලා ගමයට කිව්වලු, අනේ ගමරාල මහත්තයෝ ගහ කපන්න එපා, මම ඔහේ කියන ඕන දෙයක් කරන්නම් කියලා. එදා ඉඳන් ගමයයි, ගම මහගෙයි බොහොම සතුටින් කල් ගෙව්වලු. හැබයි ගමයගේ ළමයි, ගෙදරත් අවුරුද්දට එකා ගානේ පඩිපෙල වාගේ හිටියලු. ඒ වගේම ගමේ ගොඩාක් ගෙවල්වල ගමයගෙ මූණුවර තියෙන ළමයි උන්නලු.
ReplyDeleteඇහ්.. මාතලන් කතන්දර අච්චාරුවක් දාලා තියෙන්නේ...:D
Deleteහ්ම්ම් හ්ම්ම් එතකොට අර අමුඩ ලේන්සුව බැඳලා පිට්‍ටු තැම්බුවේ මෙයා නෙවෙයිද?
ReplyDeleteආ..හා.. ඒත් ගමරාල කෙනෙක් තමයි.. ඒ වගේ ගම කතා නම් හුඟක් තියෙනවා නේද?
Deleteඉතින් ඔන්න ගමරාල ළම්යි බලන් ගෙදර හිටියලු. එතකොට එයාට දිව්‍ය ලෝකේ යන්න හිතුනලු. අලියාගේ නැට්ටේ එල්ලිලා දිව්‍ය ලෝකේ යද්දී සෙල්ලම් පිට්ටනියක හිටිය කොල්ලෝ රැලක් කෑ ගැහැවලු කෑ ගහපු කොල්ලන්ට බනින්න බිමට බැහැපු ඉබ්බට හාවෙක් හම්බවුනාලු. ඊට පස්සේ දෙන්න එක්ක ඔට්ටුවට රේස් එකක් දුවද්දී හාවට නරියෙක් හම්බවෙලා ලබු කිරිබත් උයන්න කතා කරාලු.
ReplyDeleteඔන්න ඔහොමයි තරුවෝ උනේ... :D
හපොයි කුමාරිහාමි, අලියගෙ නැට්ටේ එල්ලිලා දිවියලෝකේ යන්න ගිය ගමරාල බිමට බැස්ස හැටියේ ඉබ්බෙක් උනේ කොහොමෙයි?
Deleteශෙල්ලම් නෑ ගෙදර රාජකාරිය..! ටිකක් ටිකක් දන්නවලු මාත් :)
ReplyDeleteඔය කතාවට හරි යන කවියක් තියනවා. මතක් වෙන්නේ නෑනේ. තව දිගටත් තියනවා විස්තරේ. දර පත්තු වෙන්නේ නැතුව ගේ අස්සේ දුම් පිරිලා, කැස්ස හැදිලා, ඇස් දැවිල්ල හැදිලා, ජංජාල ගොඩක් වෙනවා නේද..
අනේ ඔව් චන්දන.. මම ලියන්න පුලුවන් තරම් කෙටියෙන් ලිව්වේ මට මතක තියෙන විදියට...
Deleteඅයියෝ ගමරාළ... :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හි හි එසේම වේවා මහ රජ...
Deleteවිශේෂ ප්‍රාගුණ්‍ය නොවැ ඔතැන ගැටලුව :D
ReplyDeleteආ..හා.. එහෙමළු ද? :D
Delete:D කලින් අහලා තිබුණ කතාවක්.. ආයෙ මතක් කළාට ස්තූතියි අරුන්දතී...
ReplyDeleteමේක ඉතින් ලංකාවේ කොල්ලෝ සෙට් එකට කියවන්න දුන්නා නං හරි. :) කට්ටිය හිතාගෙන ඉන්නේ ඕවා හරි ලේසි වැඩ කියලනේ.
ReplyDeleteතරු ඇතුළු හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා..!
ReplyDeleteඅප්පේ මටත් ඔහොම හිතෙනවා ඉදලා ඉදලා ගෙද ඉන්න දවසට කෙල්ලෝ දෙන්නා එක්ක දගලලා කොන්ද රිදෙනකොට
ReplyDeleteතමන්ගෙ වැඩේ කරානම් ඉවරයිනෙ හරියට
ReplyDeleteපට්ට කතාව.
ReplyDeleteඅන් පලයන් මැටි ගොබ්බයෝ යන්න. හරියට ලොකු මිනිස්සු වගේ බ්ලොග් වල අති පණ්ඩිතකම් වාචාලකම් ලියන්නේ. උබලා මහ ලොකු මිනිස්සු කියලා හිතාගෙන වෙන්න ඇති. නිකම් පොඩි කොල්ලෝ අලි ලොකු කතා කරනවා.කණ පැලෙන්න දෙකක් දීලා පයින් ගහන්න හිතෙනවා සෙවල පප්පලාට
ReplyDeleteඔහොම යමු.. වෙලවක් අපු ගමන් කියවල යන්න එන්නම්..
ReplyDeleteඅද තමයි මුලින් ආවෙ. මේ කතාව තව ටිකක් දිගට මං අහල තියෙන්නෙ. කොච්චර කියෙව්වත් රසයෙ අඩුවක් නම් නෑ.
ReplyDelete