Friday, October 26, 2012

පෙරැස් මුඳුව.. 03

පෙරැස් මුඳුව 01

පෙරැස් මුඳුව 02


"කිමෙක්ද රඛිත නුඹ සිතුවේ මා අස්ථාන ගත වී ඇතැයි කියාද? , මා සොයා අසපුව දෙවනත් කරන්නට තරම් අදහසක් නුඹට පැමිණියේ කෙසේද?"
රථයට ගොඩ වී ගමන් පිණිස රථාචාර්යයා වෙත සන් කරන අතර තුර තම මුර සෙබළාගෙන් රජු විමසුවේ සරදම් ස්වරයකිනි.

රජු කෝපත් වී නොමැති බව වටහා ගත් සෙබළ රඛිතගේ සිතට සැනසුමක් දැණුන මුත් පිළිතුරු දීමට පළමු රජු රැගත් අස් රිය පිටත්ව ගියේය.

" දේවයන් වහන්ස, ඔබතුමාගේ පිරිවර රාත්‍රිය ගෙවනු පිණිස තපෝවනය ආරම්භයේ වනාන්තරය තුල කඳවුරු බැඳ තිබේ"

රථාචාර්ය චරිත පැවසූ මුත් රජුට එය ඇසුණු බවක් නොපෙනිනි. රජු නින්දෙන් අවදි වූවාක් මෙන වට පිට බලන්නට වූයේ තම පිරිස කඳවුරු බැඳ තිබූ බිමකඩ තුලට රථය ඇතුළු වනවාත් සමඟය. එසැනින්ම රජුගේ කුඩා කළ පටන් මිත්‍රයකු වන දැනට රාජසභාවේ ඇමති ධූරයක් උසුලන විදූශ නම් තරුණ අමාත්‍යවරයා රජු වෙත පැමිණියේ රජු වෙනුවෙන් ඉඳි වුණු තාවකාලික කූඩාරම වෙත රජු කැඳවාගෙන ගියේය.

"කිමෙක්ද මිත්‍රය, නුඹෙ මුහුණ අද වැහි වළාකුළු සහිත අහසක් මෙනි මාහට පෙනෙනුයේ" රජු විනෝදාත්මක අයුරින් විමසුවේය

" අහා.. එසේ නම් අසපුවට ගිය ගමන ඵල රහිත වී නොමැති හැඩයි. කිමෙක්ද තාපස කන්‍යාවන්ගේ රූමත් මුහුණු දුටු පසු අපගේ මුහුණු විරූපි ලෙස පෙනේද?"  විදූශ විමසුවේද එයටම සරිලන විනෝදාත්මක ස්වරයකිනි.

එම පැනයත් සමඟම රජුගේ මුහුණ ආලෝකවත් වනු දුටු විදූශ තමා පැවසූ දෙයට කිසියම් සමානකමක්  ඇති සිදු වීමක් සිදුවී ඇති බව වටහා ගත් මුත් කිසිත් නොඇසුවේ ය. 

"මගේ පමණක් නොවේ දේවයන් වහන්ස මේ සියළු පිරිසගේම මුහුණු දැන් කාල වර්ණ වී ඇති බවකුයි මට නම් හැඟෙන්නේ. ඔබ තුමා රජ මාලිගයෙන් පිට වී දැන් කොපමණ දිනක් ගෙවී ගොස්ද? සියළු දෙනාටම විඩාව දැනෙනවා නුඹ වහන්සේට හැර..."

" කිමෙක්ද නුඹ පවසන්නේ මිත්‍රය? දඩයම නොරිසිද නුඹ සැම?"

" නැත දේවයන් වහන්ස, එසේ නොවේ. දැන් අප සියළු දෙනාටම විඩාව දැනෙනවා. එක් දිනක් මෙහි නැවතී ගිමන් හැර ආපසු මාලිඟයට පිටත්ව ගියහොත් යහපතැයි ඔබ තුමාට නොසිතේද?"

" හා හා.... එසේනම් ඉතින් කුමක් කරන්නද? මිත්‍රයාගේ කියමන් ඉවත දැමීමට නොහැකි හෙයින් දඩ කෙළිය මෙතෙකින් නිමා කරමු. එය යහපත් නොවේද විදූශ? රජු විමසුවේ අඩක් සට කපට අයුරින් හා අඩක් හාස්‍යයෙන් යුතු වූ ස්වරයෙනි.

එකෙණෙහිම එතැනට සෙන්පති අඛිල පැමිණියේ පසු දින වෙනුවෙන් රජුගෙන් ලබා ගත යුතු නියෝග, රජු විවේක ගැනීමට පෙර ලබා ගැනීමටයි.විවේක ගන්නා අවස්ථාවන්හි ඉතා වැදගත් රාජ්‍ය කටයුත්තකට හැර වෙනත් කිසිඳු හේතුවකට තමා හට කරදර කිරීම රජු නොඉවසන බව හෙතෙම හොඳින් දත්තේය.

"කිමෙක්ද අඛිල? මේ විදූශට මෙන් නුඹටත් දඩ කෙළිය නො රිසිද?"

" නැත දේවයන් වහන්ස, අප විසින් වනය රැකවල් කර ඇත. ඔබ වහන්සේට හිරු උදාවත් සමඟ දඩ කෙළියේ යෙදීමට සියළු කටයුතු සූදානම් ව තිබේ."

" නැත නැත අඛීල, මා හෙට දින දඩ කෙළියේ නොයෙදීමට තීරණය කර ගතිමි.ඔබ සැමට හෙට දිනය විවේක ගත හැක. අප අසපුවක් අසබඩ රැඳී සිටින බැවින් වෙනත් කිසිවකුටත් දඩයමේ යෙදීම තහනම් බව දන්වා සිටිය යුතු." 
            පැවසූ රජු සෙන්පතියාට ඉවත්ව යන ලෙස සන් කෙළේය.

-------------------------------

මේ අතර තාපස කන්‍යාවන් තිදෙනා පසු වූයේ විමතියෙනි. ඉනුත් සකුන්තලාව පසු වූයෙ මඳ කල්පනාකාරි බවකිනි.

" අහෝ...  දුෂ්‍යන්ත මහ රජතුමා ... කිසි දිනෙක නොදැක උන් බැවින් හඳුනා ගැනීමට අපට අපහසු වූ හැටි."

" මා කීවා නොවේද එතුමා කවරෙකු වුවත් රාජකීය ගති ඇති තේජෝවන්ත පෙනුමක් ඇත්තකු බව?"

" කෙසේ උවත් මට නම් හැඟූනේ එතුමා අපගේ යෙහෙළිය සකුන්තලා වෙනුවෙන් අවශ්‍ය පමනටත් වඩා උනන්දුවක් දැක් වූ වගයි"

" අහා.. එසේනම් රජ මාලිඟාවට කැඳවීමක් අද හෙටම ලැබෙන තෙක් ඉවසා බලා හිදීමු. එසේ නොවේද සකුන්තලා."

මිතුරියන්ගේ කවට බස් හේතුවෙන් කෝපයට පත් සකුන්තලා , ගෞතමී ආර්යාව වෙත ගොස් ඇයගේ පූජා කටයුතු සඳහා සහයෝගය ලබා දුන්නීය.ගෞතමී ආර්යාව අසපුවේ වෙසෙන සියළුම යුවතියන් මවක් ලෙස රැක බලාගත් අතර , එයිනුත් සකුන්තලාව වෙත විශේශ ආදරයක් දැක්වූවේ ඇගේ මව වන මේනකා එතුමියගේ මිතුරියක් වූ බැවිනි. අසපුවේ සියළුම කටයුතු වලදී කාන්තාවන්ගේ මුල්තැන ගෞතමී ආර්යාවට ලැබුණු අතර කන්ව කුලපති තුමාගේ සියළුම ශිෂ්‍යයෝද අනෙකුත් තපස්වරයන්ද ඇයට ගරු සැළකිලි දැක්වූහ.

දුෂ්‍යන්ත රජු අසපුවට පැමිණි බව මේ වන විටත් ගෞතමී ආර්යාව දැන සිටියාය.නමුත් සකුන්තලාව තුල ඇතිවී තිබූ වෙනසට හේතුව එය බව කිසිවිටකත් ඇය සැක කළේ නැත. නමුදු, තම මිතුරියන්ගේ කවට බස් නිසා තමා කෝප වන්නේ ඔවුන් තමාගේ ඇතුළු සිත කියවතියි යන හැඟීම නිසා බව සකුන්තලාවට අවබෝධ වී තිබිණි.

සකුන්තලාව තාපස කන්‍යාවක් බවත්, ඇය කිසි විටෙකත් තමා සතු කර ගත් නොහැකි බවත් සිතමින් සිටි තරුණ රජතුමාගේ මනසේද ඇගේ මිතුරියන් කී බස් නැවත  නින්නාද වෙමින් පැවතුනි. 

" උතුමාණෙනි ඈ තාපස කන්‍යාවක්ම නොවෙයි. ඈව සුදුසු ස්වාමියකුට පාවා දීමයි කුලපතිතුමාගේ අදහස"
" උතුමාණෙනි ඈ තාපස කන්‍යාවක්ම නොවෙයි. ඈව සුදුසු ස්වාමියකුට පාවා දීමයි කුලපතිතුමාගේ අදහස" 
" උතුමාණෙනි ඈ තාපස කන්‍යාවක්ම නොවෙයි. ඈව සුදුසු ස්වාමියකුට පාවා දීමයි කුලපතිතුමාගේ අදහස" 

 ... නමුදු ඇය දැක ගත් යුතු යැයි කොපමණ සිතුවත් නැවත කුමන හේතුවක් නිසා අසපුව වෙත යන්නේදැයි රජුට අදහස් කරගත නොහැකි වූ බැවින් එම අදහස තම හද තුලම සඟවා ගත්තේය.එසේම තමා දුෂ්‍යන්ත බව දැන ගත් කෙණෙහි යුවතියන් බියපත් වූ බවද ඔහුට හොඳින් මතකයෙහි තිබිණි. එහෙත් තවත් වරක් ඇය දැක ගැනීමට ඇත්නම්....

රජුගේ මුහුණ දෙස බලා හුන් විදූශට හැඟුණේ රජු බලවත් කල්පනාවක් පිට පසු වන බවයි. පෙර දින අසපුවට ගොස් පැමිණි රජු අද දින දඩ කෙළිය නවතා දැමුවා පමණක් නොව සිතිවිල්ලෙහි ගිලී හුදෙකළාව පසුවෙයි. විදුශ ගේ සිතට බියක් දැනුණේ රජුගේ හිතට කුමක් හෝ පීඩාවක් දැයි සිතීමෙනි. 

" දේවයන් වහන්ස, ඔබ වහන්සේ කුමක් හෝ සිත් පීඩාවකින් පසුවන හැඩයි."

" නැත, විදූශ.. නුඹ නිසා අද දිනයේ දඩ කෙළියත් නැති විය. දැන් මාගේ සිතුවිල්ලත් නුඹ නැති කර දැමුවා නොවේද?

" ස්වාමිනී.. මා නිසා දඩ කෙළිය නැවැත් වූ බව ඔබ වහන්සේ පැවසුවත්, මා හට නම් හැඟෙන්නෙ දඩ කෙළිය නොපැවත්වීමට නුඹ වහන්සේ පෙර සිටම තීරණය කොට තිබූ බවයි." මඳ සිනා පෑ විදූශ පැවසුවේය

"එසේය විදූශ.. පෙර දින අසපුවේදී දුටු සකුන්තලාව නිසා මගේ හද මඳක් කැළඹී ඇති බවක් මට දැනේ.."

" තහනම් වස්තුවක් විදියට සළකන තාපස කන්‍යාවක් පතන බවක්ද ඔබතුමා මේ පවසන්නේ..."

" ඔබ එසේ පවසන්නේ ඇයව නොදුටු හෙයිනුයි මිත්‍රය.."

" නමුත් තහනම් වස්තූන්ට පුරු වංශයේ රජුන්ගේ හදවත ඇළුම් නොකළ යුතුයි නොවේද රජතුමනී..."

" එසේය මිත්‍රය.. එය එසේම විය යුතුයි"

" නමුත්... නමුත්... අන්ත:පුරයේ මෙතරම් ස්ත්‍රිරත්නයන්ම ඇසුරු කරන ඔබතුමාට ඇති වුණු මේ සිතුවිල්ල නම් මට ඇදහිය නොහැකියි මහ රජතුමනි. හැමදාම රට ඉඳි වළදන ඔබතුමාට සියඹලා වලත් රස බලන්නට හිතුණු හැඩයි.." මෙසේ පැවසූ විදුශ හඬ නගා සිනාසුනේය.

" ඔබ පළමුව ඔබේ දෙනෙතින්ම ඇයගේ රුව දැකිය යුතුයි.ඉන්පසුත් ඔබ ඔය පැවසූ අදහස ඔබගේ හිතට දැනෙනවාදැයි මට පවසන්න." තම මිතුරාගේ බසට කෝප නොගත් දුෂ්‍යන්ත පැවසුවේය.

" තාපසවරු මේ වන විටත් ඔබ තුමා හඳුනාගෙන තිබෙන බවයි පෙනෙන්නේ. කෙසේද ඔබ වහන්සේ ඇය මා හට දක්වන්නේ?"

" එසේය මිත්‍රය, අසපුවට නැවත කුමන කරුණක් උදෙසා යන්නේදැයි මට අදහස් කර ගත නොහැකිවයි මා පසුවන්නේ.."

එයට විදූශ පිළිතුරු දීමට පෙර , දොරටු පාලයන් දෙදෙනාගෙන් අයකු පැමිණ රජුට හා විඳූශ ඇමතිතුමාට අචාර කර සිටියේ  කුඩා තාපසවරු දෙදෙනෙකු රජු හමුවීමට පැමිණ ඇතැයි දැන්වීය.

--------------------------------------------------------------

Monday, October 8, 2012

පෙරැස් මුඳුව 02


තමා දුෂ්‍යන්ත රජු බව යුවතියන් දැනගත්විට කුමක් සිදු වේද..... එක් තීරණයකට එළඹීමට අපොහොසත් වූ රජතුමා තවත් මොහොතක් ඔවුන් දෙස බලා හුන්නේය.....

අබරණ හෝ රාජකීය කඩුව පැළඳ නොමැති බැවින්, තමා රජු ලෙස අනුමාන කිරීමට මිස හඳුනා ගැනීමට ඉඩක් නොවන බව විශ්වාස කළ රජු
 " කිමෙක්ද මේ කළබළය? කවුරුන් විසින් මේ පින්වත් තාපස කන්‍යාවන්ට හිරිහැර කෙරෙත්දැ"යි
සිනාසෙමින් විමසා යුවතියනගේ අවධානය තමා වෙතට යොමු කරවා ගත්තේය.

හදිසියෙන්ම ඇසුණු තේජෝවත් කටහඬින් තුෂ්නිම්භූත වූ යුවතියන් එකිනෙකාගෙ මුහුණු බලා ගත්තේ විමතියෙන් වුවත් අනසූයා ඉක්මනින් යථා තත්වයට පත් වූවා

 " නැත නැත උතුමාණනි, බිය විය යුතු කාරණාවක් නැත. අපගේ මිතුරිය මී මැස්සකුට බිය වී තිබේ. එපමණකි" පැවසුවාය.

" කොහොමද, තාපසවරු සුවෙන් වෙසෙත්ද?" රජතුමා සකුන්තලා දෙස හැරී විමසුවත් තවමත් පියවි සිහියට එළඹ නොසිටි ඇය පිළිවදන් නොදුන්නාය.

ඇයගේ විලාසය දුටු දුෂ්‍යන්ත රජතුමාට මඳ විස්මයක් පහළ වූයේ මෙවැනි රූ සපුවක් සහිත වූ මෙම යුවතිය කන්ව එසේත් නැතිනම් කාෂ්‍යප ඉසිවරයාගේ දුයණිය වන්නේ කෙළෙසදැයි සිතීමෙනි. ඇය මෙතරම් රූමත් වන්නට ඇගේ මව කවරෙක් විය හැකිද? ඇය මනුෂ්‍ය ස්ත්‍රීයක් නොවන්නේදැයි මඳ සැකයක්ද ඔහු තුල ක්ෂනයකින් ඇති වී නැති වී ගියේ හදවතෙහි කුකුසක් ඉතිරිකර තබමිනි.

කළබලයට පත් ප්‍රියංවදා  ''අපට මුණ ගැසුණෙ සම්භාවනීය අමුත්තකු හැඩයි. සකුන්තලාවනි, අසපුවට ගොස් පළතුරු හා උක් හකුරු සහිත සත්කාර බඳුන් රැගෙන එනු මැනවි, පා දෝවනය සදහා ජළය මේ අවටම තිබේ." යැයි පැවසුවාය

සකුන්තලා පිළිවදන් දෙන්නට පළමු අසපුව දෙසට පිය නැගූ අනසූයා පළතුරු පැසක් හා උක් හකුරු සමඟ ඖෂධීය පානය පිළියෙළ කොටගෙන ආවාය.

" මෙහි පැමිණ මෙම තුරු සෙවනෙහි පනවා ඇති ආසනයහි අසුන්ගත මැනවි උතුමාණෙනි,"

"ඔබලාත් අසුන් ගත හොත් නොමැනවිද? පැල සඳහා දිය ඉසීමෙන් ඔබලාටත් විඩා ඇති සැටි පෙනේ."

යෙහෙළියන්ද පසෙක වූ දැව අසුන් වල අසුන්ගත් අතර අමුත්තාට මැනවින් සත්කාර සංග්‍රහ කිරීමට උත්සුක වූවත් සකුන්තලා පසුවූයෙ කල්පනාවලියක වෙළෙමිනි. ''මේ තැනැත්තා කවුද? ඔහු දුටු විට මගේ හිතට දැනෙන හැඟීම කුමක්ද? එය තපෝවනයට නුසුදුසු හැඟීමකැයි මට සිතෙන්නේ කුමක් නිසාද?'' ඇගේ සිතෙහි මම කරුණු එකින් එක පෙළගැසෙමින් පැවතුනත් ස්වාභාවයෙන්ම ලජ්ජාශීලි වූ ඕ තොමො කිසිඳු පැනයක් නොනැඟුවාය.

" ඔබ තුමා කවරෙක්ද? කුමන රාජ පරම්ම්පරාවකට අයත් වන්නේද? බොහොම තෙජොවත් පෙනුමක් සහිත ඔබ තුමා මේ වනයට පැමිනීමට හේතුව වූයෙ කුමක්ද? ඔබගේ අවසර ලැබේ නම්, අප දැන ගැනීමට කැමැත්තෙමු."

අනසූයා විමසූ ප්‍රශ්නාවලිය සඳහා ලබා දෙන පිළිතුරු පිළිබදව සකුන්තලාව ඉතා නොඉවසිල්ලෙන් සවන් යොමා උන්නේ එම පැනයන් පෙර සිටම ඇගේ සිත තුලද පෙරළි කරමින් තිබූ බැවිනි.

"පින්වතිය , පුරු වංශාධිපති දුෂ්‍යන්ත රජු මාව ධර්මාධිකාරි තනතුරට පත් කළා. ඒ නිසා මම මම ස්ථානයට පැමිනියේ තවුසන්ගේ වත් පිළිවෙත් කිසිදූ අවහිරයකින් තොරව පැවතෙන්නේදැයි විමසා බැලීමටයි."

"අහා.. තවුස් රකින අයටත් මෙතැන් පටන් ස්වාමියෙක් ඉන්නා හැඩයි" ප්‍රියංවදා කිකිණි හඬින් හිනැහුණාය.

" මම අසා ඇති සැටිය සැබෑ නම්, කාෂ්‍යප මුණි තුමා ජීවිත කාළයම බඹසර රැකි උතුමෙකු බවයි ප්‍රසිද්ධ. එසේනම්... ඔබලාගේ මිතුරිය එතුමාගේ දියණිය වන්නේ කෙසේද?"

"එසේය, නමුත් කාෂ්‍යප මුණි තුමා  මෙතුමියගේ සැබෑ පියතුමා නොවෙයි.මෙතුමියගේ සැබෑ පියතුමා කුඩා කළම මැය හැරදමා ගොස් සිටියදී හදා වඩාගත් පියතුමා තමයි කාෂ්‍යප මුණි තුමා"

"එසේනම් සැබෑ පියතුමා කවරෙක්ද?"

" ඔබතුමා අසා ඇතිකෞෂික නම්, බොහොම බල සම්පන්න රාජ ඉර්ශීන් වහන්සේ කෙනෙකු ඉන්නා බව. එතුමා තමයි සකුන්තලාවගේ පියා. බොහෝ කාලයකට පෙර මෙම ඉසිතුමා යමුණා ගඟ අසබඩ උග්‍ර තපස්දමක් පුරමින් සිටියා.මෙම තපස ගැන සැකයක් උපදවාගත් දෙවිවරු එතුමාගේ තපසට බාධා කිරීම සඳහා මේනකා නම් ඉතාම රූමත් දිව්‍ය අප්සරාව යමුණා ගං ඉවුරේ අසපුව වෙත යවා තිබෙනවා."

" ඉතින්....?"

"ඉතින් ... වසන්ත උත්සව කාළෙ හදවතත් උමතු කරවන තරම් සුන්දර ඇගේ රූප සෞන්දර්යය දැකලා තපසට බාධා කරගත්තු ඉසිතුමාට දාව මේනකා නම් එම අප්සරාවගෙන් උපන් කුමරිය තමයි අපගේ මේ සුන්දර මිතුරිය..."

" ඔහෝ.... එහෙනම් එයයි ඇගේ මේ රූමත්කමේ රහස"

පැවසූ රජු විමසිලිමත් නෙතින් සකුන්තලාව දෙස බැලූවද ඇය තවමත් පසුවූයේ බිම බලාගත් ගමන්මය.

ඇයගේ විලාසය හා තරුණ අමුත්තාගේ නොනවතින ප්‍රශ්නාවලිය කවට කමට ගත් මිතුරියෝද

" උතුමාණෙනි ඈ තාපස කන්‍යාවක්ම නොවෙයි. ඈව සුදුසු ස්වාමියකුට පාවා දීමයි කුලපතිතුමාගේ අදහස" යනුවෙන් පවසා සිනාසුණහ.

" මම යන්නෙමි.. නුඹලා කිසිඳු තේරුමකට නොමැති අනවශ්‍ය දෑ අමුත්තන් හා පවසන බවට ගෞතමී ආර්යාව වෙත ගොස් පැමිණිලි කරන්නෙමි."

 හිස ඔසවා මිතුරියන් වෙත කෝප දීප්ත නේත්‍රයෙන් බැලූ සකුන්තලා කුමරිය තර්ජනය කළාය.

ඇයගේ විලාසය දුටු රජුගේ මුවට සිහින් සිනාවක් නැංගේය. "මෑ නම් නියම රජ කුමරියක්ම තමා. ඇය සුදුසුවන්නේද රජ මැඳුරකටැයි" හෙතෙම තමන්ටම මතුරා ගත්තේය.

" මිතුරිය මෙවන් උසස් අමුත්තකුට සත්කාර නොකර හිතුමතේ මඟ හැර යාම යුතු නොවේ"

" පින්වතියනි, ඔබලාට බොහෝ වෙහෙස හැඩයි. කාෂ්‍යප කුලපති තුමාත් අසපුවේ වැඩ නොසිටින බැවින් මාද දැන් යා යුතුයි"

රජු පැවසුවේ තමා හා දඩ කෙළියේ පැමිණි පිරිවර තමා සොයා පැමිණියහොත් තපෝ වනයේ වාසීනට බාධා ඇතිවන බවත්, යම් ප්‍රමාදයකින් තමා කවුදැයි හෙළි වුවහොත් යුවතියන්ද බියට පත්වන බවත් සළකාගෙනය.

එකෙනෙහිම එතනට සැපත් වූ එක් හේවායෙකු, තම ස්වාමියා වූ රජු දුටුවෙන් ලහි ලහියේ රජු වෙත විත් ආචාර කර සිටියේ යුවතියන් තිගස්වමිනි.

" අපටත් අසපුවට යන්නට ඉතින් අවසර රජතුමනි"
සිතේ තැතිගැන්ම මඳක් වසන් කරගත් ප්‍රියංවදා වෙවුලනසුළු කටහඬින් අයැද සිටියාය.

සිනාසුණු රජ තෙමෙ තමශ්‍රී හස්ථය ඔසවා ඔවුනට ආචාර කොට පසු නොබලා ආපසු ගමන් කළේ තම සෙබළාට මුවින් නැතත් හදවතින් බැණ වදිමිනී. තමා සොයා ආ සෙබළ රඛිත තමාට බෙහෙවින් ලැදි පුද්ගලයකු බව රජු දනී.එහෙයින් ඔහුට දොසක් කියන්නට රජුගේ දිව නො නැමුණේය.

-----------------------------

ඔයාලා හුඟ දෙනෙකුගේ දිරි ගැන්වීම මත ඔන්න පෙරැස් මුඳුව කතාවේ දෙවෙනි කොටසත් ලිව්වා. වැරදි අඩුපාඩු හදා ගන්න අදහසක් දක්වලා යන්න පුළුවන් නම් හුඟාක් වටිනවා.

Thursday, October 4, 2012

පෙරැස් මුදුව....


මුව පොව්වාට මානන ලද දුනු දිය පහත හෙලූ දුෂ්‍යන්ත රජ තෙමේ වටපිට බැලූයේ තමා සමඟ දඩ කෙළියේ යෙදුණු තම පිරිවර දැක ගැනීමේ අටියෙනි. එහෙත් තමා සමඟ සිටින්නේ තම රථාචාර්යයා වන චරිත පමණක් බව දුටු රජ තෙමේට තමා මුව පොව්වාට අවධනය යොදා ඌ පසුපස හඹා එන අතරතුර තම පිරිවර මග හැරී ඇති බව නිරායසයෙන්ම කල්පනා විය. එසේම තමා නොදැනුවත්වම වනය තුල බොහෝ දුරක් පැමිණ ඇති බවද දුටු රජතුමා වටපිට බැලූයෙ මේ කුමන ඉසව්වක්දැයි තේරුම් ගැනීම සඳහාය. ඒ අතරම තමා ලුහුබැඳ පැමිණි මුව පොව්වා අත නුදුරේම සිටිනු දුටු දුෂ්‍යන්ත රජ නැවතත් දුනු දිය මෑනුවේ මෙතෙක් දුර තමා ගෙන අවුත් වෙහෙසට පත් කළා වූ මුව පොව්වා දඩයම් කර ගන්නා අටියෙනි.

" හා .. හා.. දේවයන්වහන්ස.. මේ අසපුවේ මුවෙක්. නොමරනු මැනවි..නොමරනු මැනවි.. "

ඒ හඬින් තිගැස්සුණු රජ තෙමේ හිස ඔසවා බැලූ මුත් ඇසට අසුවන මානයේ කිසිවෙකුත් දැක ගත නොහී කුහුළෙන් තම රියැදුරු දෙස බැලීය. ඒ බව තේරුම් ගත් චරිත

" දේවයන්වහන්ස..ඔබ තුමාටයි, ඊ වැටෙන මානෙ ඉන්න මුවාටයි අතර තවුසන් සිටින හැඩයි." යනුවෙන් පැවසීය.

එසැනින්ම පරිවාර තවුසන් දෙදෙනෙකු සමඟ එතැනට පිවිසි වෛඛානස නම් තවුස් තෙමේ ,

"දේවයන්වහන්ස.. මේ අසපුවේ මුවෙක්. නොමරනු මැනවි."

 දුනු දිය පහත හෙලූ දුෂ්‍යන්ත රජ "සමාවුව මැනවි. ඒ බවක් නොදත්තෙමි. "  පවසා තවුසන්ගේ පාද අභිවාදනය කෙලේය.

" පුරු වංශයට ආලෝකයක් වූ ඔබ තුමාට එය මනාව හොබනේය"
පැවසූ තවුස්වරු

"ඔබට සක්විති පුත් රුවනක් ලැබේවා" ආශිර්වාද කළහ.

" ඔබ තුමන්ලාගේ ආශිර්වාදය පිළිගනිමි." හිස නැමූ රජතුමා 

"ඔබතුමන්ලා මේ කොහේ වඩිනා ගමන්ද? මේ අසපුව කා හට අයත් දැයි" ගෞරව පෙරදැරිව විචාලාහ.

" රජ තුමනි, අප මෙහි පැමිණියේ ගිණි දැල්වීම සඳහා දර සෙවීමටයි. තෙළ පෙනෙන මාලිනී හෙවත් මන්දාකිණි ඟඟ අසබඩ පවත්නේ "කන්ව" කුළපති තුමාගේ අසපුවයි. ඔබතුමාට බොහෝ ගමන් විඩාව දැනෙනවා ඇති. එබැවින් ඔබේ කටයුතුවලට අවහිරයක් නොවේ නම් අසපුවට යහපත් වී ආගන්තුක සත්කාර විඳිනු මැනවි"

" කුළපති තුමා දැන් අසපුවේ වැඩහිඳින්නේද?"

"නැත.. දෙවයන් වහන්ස, එතුමා අගන්තුක සත්කාර කිරීම තම දියණිය වන සකුන්තලාහට පවරා, ඇගේ අපල උපද්‍රවයක් සඳහා සෙත් ශාන්තිකර්මයක යෙදීමට සෝම තීර්ථය වෙත ගමන් කළේ අද උදැසනමයි "

"එසේද? එසේනම් මම ගොස් ඈව මුණ ගැසෙන්නමි. සත්තකින්ම ඈ මගේ භක්තිය පිළිබඳව කුළපතිතුමාට සැළ කරනු ඇති "

" යහපති, අපත් දැන් පිටත් වෙන්නෙමු" පැවසූ තවුසන් තිදෙනාද නික්ම ගියහ.

" රියැදුර, තපෝවනයේ වාසින්ට කරදර කිරීම යුතු නොවේ. නුඹ රථය තෙළ පෙනෙන ගස් සෙවන යට තබා ගෙන මඳක් විවේක ගනු. මා අසපුව වෙත පා ගමනින් ම යන්නෙමි"

 කඟපත , දුණු හී හා පැළඳ සිටි අබරණ ලිහා රියැදුරු අතට දුන් රජ තෙමේ සැහැල්ලු හදවතින් හා ලීලාවෙන් අසපුව තුලට ඇතුළු වූ මුත්, ඔහු නෙත ගැටුන දසුණින් ඔහුට දැනුනේ හදවත නැවතත් බර වූවාක් වැනි හැඟීමකි.

චාම් ඇඳුමෙන් පැළඳුමෙන් සැරසුණු තාපස කන්‍යාවන් කිහිපදෙනෙකු තම උකුළේ තැබූ කළගෙඩි වලින් ගෙනා ජළය මල් පැළ මතට ඉසිමින් සත්කාර කරමින් සිටියහ. ඒ අතර කන්ව ඉසිවරයාගේ දියණිය සකුන්තලා හා ඇගේ යෙහෙළියන් වන ප්‍රියංවදා හා අනසූයා ද වූහ.

"සකුන්තලා, මගේ හැඟීම නම් , නුඹෙ පියා නුඹට වඩා  මේ ගහ කොළ පැළෑටි වළට ආදරය කරනා බවයි. එනිසයි දෑ සමන් වැළක් වාගේ බොහොම සියුමැළි ඔබටත් මේ ගස් වැල් වළට ජළය ඉසින්නට නියම කර ඇත්තේ" අනසූයා සිනාසෙමින් එසේ පැවසුවේ , ඇයගේ සැබෑ හැඟීම එය නිසා නොව,සකුන්තලාවන් කෝප ගන්වන අදහසින් පමණකි.

" පියාණන් ගේ නියමයම නොවෙයි අනසූයා.මාත් මේ ගහකොළට සොහොයුරන්ට වාගේ ආදරෙයි"  පැවසූ සකුන්තලා සිනාසුනාය.

ප්‍රියංවදා අනසූයා දෙසට ඉඟි කරමින් සිනාසුණේ සකුන්තලාවන් අනසූයාගේ වදන් වලින් කෝපයට පත් නොවූ බැවිණි.

මේ අතරතුර කොහොඹ රුකක් සෙවණට වී සුළඟේ පහස ලබමින් සිටි තරුණ දුෂ්‍යන්ත රජතුමාගෙ සවණට නිරායාසයෙන්ම පතිත වූ දෙබසින් හෙතෙම වටහා ගත්තේ මෙම තරුණියන් අතුරෙන් වඩාත්ම සුන්දර තරුණිය ලෙස ඔහුගේ හදවත නතර කරලන්නට සමත් වූ යුවතිය කන්ව ඉසිතුමාගේ දුහිතෘ සකුන්තලාවන්ම වන බවයි.

"මිතුරිය සකුන්තලා මෙහි එනු මැනවි. ඔබ විසින් ඉමහත් ආදරයෙන් සත්කාර කරන ලද සමන් වැළෙහි කැකුළු මතු වී තිබේ. අහෝ... කෙතරම් සතුටට කරුණක්ද මේ..."

" හැබෑමයි, මී අඹ තුරෙහි එතී මෙතෙක් කල් රැකුණු සමන් වැළ මල් කැකුළු දැරීමෙන් සුන්දරව පෙනේ. මේ වසත් කළ ඇරඹුමත් සමඟ  ළපටි කොළ වල කොළ පැහැයෙන් දිදුලන මී අඹ රුකෙහිද කැකුළු මතුවී ඇති හැඩයි.." 

" මිතුරිය ප්‍රියංවදා.. සකුන්තලා කුමරිය මී අඹ රුකත්, සමන් වැළත් දෙස බලාගෙන භාවනාවක හැඩයි."

" හ්ම්.. එතුමිය ප්‍රාර්ථනා කරනවා ඇත්තේ සමන් වැළට වැළඳ ගැනීමට සුදුසු රුකක් ලැබුණු ලෙසින්ම ඇයටත් ගැළපෙන ස්වාමියෙකු ලැබේවා කියා විය හැකියි"

" ඒ නම් පැවසුවේ ඔබේ හදවතේ තිබූ ප්‍රාර්ථනාව විය හැකියි ප්‍රියංවදා "

එසේ පැවසූ සකුන්තලා සමන් වැල වෙත ඉමහත් උවමනාවෙන් ජළය ඉසීමෙහි නිරත වූවේ තම පැහැපත් වක්ත්‍රය රත් පැහැ කරගනිමිනි.

සමන් වැළෙහි මල් කැකුළු අතර සරමින් සිටි බිඟුන් කීප දෙනෙකු ජළය ඉසීම නිසා කළබල වූයේ සකුන්තලාව වටා කැරකෙන්නට වූයේ ඒත් තවත් පියුමක් යැයි වරදවා වටහා ගැනීමෙන්යැයි සිතිවිල්ලක් පහළවූ තරුණ රජතෙමේගේ මුවඟට නිතැතින්ම සිනාවක් නැංඟේය.

මී මැස්සන්ට බියපත් වූ සකුන්තලා යා යුතු අතක් නොදත්තේ තම යෙහෙළියන්ගේ පිහිට පතමින් කෑ ගෑවාය.

යෙහෙළියන් දෙදෙනාද මෙය සිනාවට කාරණයක් කර ගත්තෝ " ඔබ ආරක්ෂා කර ගැනීමට අපහට කෙසේ හැකියාවක් ඇත්ද? තපෝ වනය ආරක්ෂා කළ යුත්තේ දුෂ්‍යන්ත රජතුමාය. ඉඳින් එතුමා බැණවූයේ නම් යහපතැයි" කියූහ.

මෙවදන් කණ වැකුණු දුෂ්‍යන්ත රජතුමාගේ තේජවන්ත පැහැපත් මුහුණ ආඩම්බරය හා ලජ්ජාව නිසා මඳක් පැහැය වෙනස් වී ගියද , වත පුරා වැවූ දළ රවුල හේතුවෙන් එය පිටතට දැක්වුණේ මද වශයෙනි.

එකෙනෙහිම ඔහුගේ සිතට පැමිණි සිතුවිල්ල වූයේ යුවතියන් වෙත තමා හට ඉදිරිපත් වීම සඳහා නිරායාසයෙන්ම අවස්තාවක් ලැබී ඇති බවකි. නමුත්..... තමා දුෂ්‍යන්ත රජු බව යුවතියන් දැනගත්විට කුමක් සිදු වේද..... එක් තීරණයකට එළඹීමට අපොහොසත් වූ රජතුමා තවත් මොහොතක් ඔවුන් දෙස බලා හුන්නේය.....

----------------------------------------------------------

පසු වදන....

මම මේ ලියන්න හදන්නේ අතිශයින්ම ජනප්‍රිය ඉතිහාසගත ප්‍රේම කතාවක් වන දුෂ්‍යන්ත රජතුමාගේ හා සකුන්තලා කුමරියගේ ප්‍රේම වෘතාන්තය ගැනයි. ඒත්... ටිකක් දිග කතාවක් විදිහට ලියැවෙන  මේ කතාව මම සාර්තක විදියට ලියනවද කියලා තීරණය කරන්න ඕනෙ ඔයගොල්ලොයි. ඉතින් මේ කොටස කියවලා ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර මත ඉතුරු කොටස් ලියන්නම්... අදහස් දක්වන එක වටිනවා. මම මෙ විදියට කතාවක් ලියන්නේ පළමු වතාවට නිසා. රජ කාලෙ බස් වහර පාවිච්චි කරන්නත් උණා ලියන්නේ ඒ කාලෙ කතාවක් නිසා . සාර්ථකද මන්දා.... :D