Wednesday, May 30, 2012

පුනරාගමනය



හුඟ දවසකට පස්සෙ අදයි නිවාඩු පාඩුවේ බ්ලොග් එකට ගොඩ වෙන්න ලැබුනේ. පහුගිය දවස් වල රාජකාරි කටයුතුයි, පුද්ගලික දේවල් වලටයි විතරක් හිත යොදවන්න සිද්ධ උන නිසා හිතේ ගොඩගහගෙන හිටපු එක දෙයක් වත් ලියාගන්න බැරි උණා.


ඒත් ඉතින් සතියකට සැරයක් වත් ඇවිත් අනිත් අයගෙ බ්ලොග් වල තියෙන දේවල් කියවන එක නම් මට නොකර ඉන්ට බැරි උණා.ඒත් ඉතින් කොමෙන්ට් කරන්න නම් වෙලාවක් තිබුණෙ නෑ. මම නැති අතරෙ හුඟක් දේවල් සිද්ධ වෙලා. ඔබා මාමා අපි ඔක්කොමලා දාල යන්නම ගිහිල්ලා.මම හුඟක් ආසාවෙන් බලපු බ්ලොග් එකක්. ඒ වගේම හුඟක් හොඳ මනුස්සයෙක්. හිතේ හරි කණගාටුවක් තියෙනවා ඔහුව මතක් වෙද්දි.


පහුගිය දවස්වල කියවන්න වෙලාවක් නැතුව මග හැරුණු බ්ලොග් හුඟාක් තියෙනව. දැන් ඉතින් ටිකක් විතර වෙලාව තියෙන නිසා නිවාඩු පාඩුවේ ඒවා කියවන්නත් ඕනෙ.හිතේ එක එක විදියෙ කතන්දර ගොඩකුත් ගොඩ ගහගෙන ඉන්නවා පුලු පුලුවන් වෙලාවට ලියන්නත් ඕනෙ. මම මේ දැන් කියන්න හදන්නෙ අපේ ඔෆිස් එකේදි කෑම කන වෙලාවෙදී මගෙ යෙහෙළියක් කිවුව කතාවක්.


මගේ යෙහෙළිය මධු. එයාගෙ ස්වාමි පුරුෂයා දිනෙත්. ඒ ගොල්ලන්ගෙ ගෙවල් පැත්තෙ ඉන්නවා කැඩුම් බිඳුම් වෙද මහත්තයෙක්. එයා පළාතෙ ටිකක් ප්‍රසිද්ධ නිසා හුඟ දෙනෙක් එනවා දුර බැහැර ඉඳළත් ප්‍රතිකාර ලබා ගන්න. හැබැයි වෙද ගෙදරට යන්න බස් පාරෙ ඉඳන් ටික දුරක් තියෙනවා. බස් එකෙන් බහින තැනම ත්‍රීවීල් පාක් එකක් තියෙනවා. දුර ඉඳන් එන හුඟ දෙනෙක් බස් එකෙන් බැහැලා ත්‍රීවීල් එකක් හයර් කරගෙන තමයි වෙද ගෙදරට යන්නෙ.දිනෙත්ගෙ ඔෆිස් එක තියෙන්නෙ ගෙදර ඉඳලා මීටර් සීයක් විතර දුරින්. වැඩ ආරම්භ වෙන්නෙත් නවයට නිසා දිනෙත් උදේ ඔෆිස් යන්න කලින් පැයක් දෙකක් ත්‍රීවීල් පාර්ක් එකට ගිහින් හයර් යන්න පුරුදු වෙලා හිටියා.


පහුගිය දවසක කිලෝ මීටර ගානක් දුර බැහැර ඉඳලා අම්මෙකුයි දුවෙකුයි බෙහෙත් ගන්න ඇවිත් තිබුණා.දුව ලෙස්සලා වැටිලා අත පැනලා. ඒකට බෙහෙත් බඳින්නයි ඇවිත් තිබුනේ. කොහොම කොහොම හරි දිනෙත් වෙද ගෙදර ලඟට මේ දෙන්නව ඇරලලා එන්න ලෑස්ති වෙද්දී මේ දෙන්නා දිනෙත්ගෙ ෆෝන් නම්බර් එකත් ඉල්ල ගත්තලු ආපහු එඩ්ඩිත් කතා කරන්නම් කියලා. හුඟක් වෙලාවට මෙහෙම එන අය ආපහු එන්නෙත් ඒ වීල් එකේම නිසා නම්බර් ඉල්ල ගන්න හින්දා දිනෙතුත් දෙපාරක් හිතන්නෙ නැතුව ෆෝන් නම්බර් එක දීලා. ඔෆිස් එකට ගිහින් වැඩ කරකර ඉද්දි උදේ දහයට විතර එනවලු කෝල් එකක්. කවුද කියල බලද්දි උදේ හයර් එක ගිය ගෑණු ළමයා. මෙහෙමයි දෙබස


ගෑණු ළමයා : අය්යේ මෙහෙ හරි රස්නෙයිනෙ. පෝලිම හුඟක් ඉන්නවා ලෙඩ්ඩු බෙහෙත් බඳින්නත්....


දිනෙත් : ඉතින්.....


ගෑණු ළමයා :    අනේ මට හරි තිබහයි.කොකා කෝලා එකක් ගෙනත් දෙන්න බැරිද ඔයාට?


දිනෙත් : නංගි මම ඔෆිස් එකේ ඉන්නෙ.මට නම් එන්න වෙන්නෙ නෑ. 


එහෙම කියලා දිනෙත් ෆෝන් එක කට් කළාලු. ඊට පස්සෙ ඉතින් දෙක හමාරට විතර ආයෙ එනවලු ඒ නම්බර් එකෙන්ම කෝල් එකක්. උත්තර නොදී ඉන්නත් හදලා , ආපහු එන්න ද දන්නෙ නැහැ කියලා හිතලා දිනෙත් ෆෝන එක ආනසර් කළේ එහෙමනම් වීල් පාර්ක් එකේ වෙන කෙනෙක්ව එතෙන්ට යවන්නම් කියලා හිතාගෙනමයි.


ගෑණු ළමයා : අය්යේ මගෙ අතට බෙහෙත් බැන්දා.හරි රස්නෙයිනෙ.දාඩියයි හොඳටම අතත් රිදෙනවා. ඔයාට ටිකක් ඇවිත් යන්න බැරිද?


දිනෙත් : නංගි මම ඔෆිස් එකේ ඉන්නෙ.මට නම් එන්න වෙන්නෙ නෑ. ඔයාල ආපහු එන්න වෙන්න වෙති කියලා හිතලයි මම ගත්තේ. එන වෙලාව කියන්න මම වෙන වීල් එකක් එවන්නම්


ගෑණු ළමයා : අනේ නැහැ අය්යෙ. පුලුවන් නම් ඔයා එන්නකෝ.ඔයා ආවනම් මට පවන් ටිකක් හරි ගහ ගන්න තිබ්බා.


දිනෙත් : *@%**&#@!...... 




දිනෙත් ගෙදර ගිහින් මේ කතාව මධූට කියලා කිවුවේ  " මෙයා අපේ වීල් පාර්ක් එකේ හොඳ එකෙකුට අහුවෙන්නයි තිබ්බෙ. එහෙනම් ඔය අමාරුව යන්න පවන් විතරක් නෙවෙයි වෙන වෙන ඒවත් ගහ ගන්න තිබ්බා " කියලයි.


කතාව අහලා අපිට හිනාව නවත්ත ගන්න බැරි උණා. ඒත් ඉතින් අපි හිනා උණාට දිනෙත් කියපු කතාව කොයි තරම් දුරට ඇත්තද කියලත් හිතන්න වටිනවා. අමාරුවේ වැටෙන හුඟක් ගෑණු ළමයි අමාරුවේ වැටෙන්නේ විහින්මයි.ඊට පස්සෙ ඉතින් පිරිමින්ට විතරක් දොස් කියලා වැඩක් නෑ. තනි අතින් අප්පුඩි ගැහුවට මහ සද්දෙට අප්පුඩි ගහන්න බැහැනේ නේද..................?