Monday, April 16, 2012

පිස්සී 2






" ඇයි කුසුම්, ඔයා කැමති නැද්ද අපි ගැන ගෙදරට කියනවට.....??"

"නැහැ, අකමැත්තකට නෙවෙයි... මට බයයි තාත්තා මොනවා කියාවිද කියලා. එයා අපේ සම්බන්ධෙට අකමැති වුණොත් මට ඔයාව නැති වේවි"

" බය වෙන්න එපා කුසුම්, අපි ඉස්සරවෙලා අපේ ගැන ගෙවල් වලට කියලා ඉමුකෝ. ඊට පස්සෙ තීරණය කරමු අපි මොකද කරන්නේ කියලා"

විජේ කුසුම්ට කිවුවේ එහෙම..

කොහොමින් කොහොම හරි විජේ සතස්යෙම ඉරිදා කුසුම් ගෙ අප්පච්චි මුණ ගැහෙන්න ගියා. විජේ හමුදාවෙ සේවය කරනවා කියලා මුලින් මුලින් කුසුම්ගෙ අප්පච්චි මේ සම්බන්ධෙට අකමැති උණත් විජේ ඇවිත් ගියාට පස්සෙ, විජේගෙ කතා බහ , හැසීරීම, පෙනුම වගේ දේවල් නිසා අප්පච්චිගෙ හිතත් පොඩ්ඩක් හෙලවිලා තිබුණා.

" ගමේ කමට හැදිච්ච, නිවිච්ච කොල්ලෙක් වගෙයි" ලොකු අය්යා කිවුවෙ එහෙම.

ඒත්....

හැමදේම ටිකින් ටික වෙනස් උණා. විජේගෙ පවුලෙ උදවියත් කුසුම්ට කැමති උණා.කුසුම්ගෙ අප්පච්චිගෙ විරෝධයත් ටිකින් ටික මඟ ඇරිල ගියා. කුසුම්ව බලන්න ඊට පස්සෙත් දෙතුන් වතාවක් කුසුම්ගෙ ගෙදර ගිහින් අප්පච්චිට කතා කරන්නත් විජේ අමතක කලේ නෑ.

ඔන්න ඔහොම හැම දේම හොඳ තත්වෙට ගෙනාවට පස්සෙයි විජේ තමන්ගෙ නෑදෑයොත් එක්ක සිරිතට වගේ අනාගත මනමාලි බලන්න ආවේ.
ඉතින් හරිම ඉක්මනට ලස්සන මඟුල් ගේකුත් අරගෙන, චාරිත්ර වාරිත්ර ඔක්කොම ඉෂ්ඨ කරලා විජේ කුසුම්ව තමන්ගෙම කියලා ගෙදරකට කැන්දගෙන ගියා.

විජේ කුසුම්ට ආදරේ කලත් තමන්ගෙ යාලුවෝ එක්ක පාටි දාන එක, විනෝද වෙන එක නම් නතර කලේම නෑ.ටිකෙන් ටික කාලෙ ගෙවිල ගියා.අවුරුදු හතරක් යනකොට කුසුම් පුංචි පුතෙකුගෙ අම්මා කෙනෙක්. විජේ ගෙදර ආවෙ සති අන්තෙ විතරයි. ඔහුව ඈත උතුරේ රාජකාරි සඳහා යොදවලා තිබුණු නිසයි.නමුත් කුසුම්ට තනිකමක් පාලුවක් දැනුණේ නෑ පුතු පැටියා නිසා.

මේ වෙනකොට කුසුම්ලට ආර්ථික ප්රශ්නත් නොතිබුණා නෙවෙයි.ඒත් ඒවා තරම් ලොකු දේවලුත් නෙවෙයි.කුසුම් කොහොම හරි අරපිරිමැස්මෙන් ජීවත් උණා.නිවාඩු ආවාම විජේ හැමදාම යාළුවෝ එක්ක පාටි දැමිල්ල අඩු කලා නම් තවත් ඉතුරුවක් වෙනවා කියලා කුසුම්ට හිතුනත් එයා බවක් විජේට කියන්න ගියේ නෑ.විජේත් පුතු පැටියාවත් සතුටින් තියන එක තමයි කුසුම්ගෙත් සතුට උණේ.

විජේ හැම මාසෙකටම සැරයක් ගෙදර ආවා.කුසුම්ට අනාදරයක් නොකළත් ආදරේ කළෙත් නෑ කියලයි කුසුම්ට හිතුණෙ. ඒත් කුසුම්ගෙ අප්පච්චි, සහෝදර සහෝදරියන්ට විජේ වෙනස්කමක් කළෙත් නෑ.හැමදාම නිවාඩුවට ආවාම එයාලව බලන්න යන්න අමතක කළෙත් නෑ.

එක දවසක් විජේ නිවාඩුවට එද්දි , විජේගෙ කෑම්ප් එකේ යාළුවෙක්වත් ගෙදර එක්ක ආවා.

" කුසුම්, මේ මගෙ යාළුවෙක්. දැන් රෑ වෙලා නිසා මූට ගෙදර යන්න බස් නෑ. හෙට උදේ යාවි.එයාටත් එක්ක කෑම හදන්න"

විජේ කුසුම්ට කිවුවේ එහෙම. ඒත් කෑම හදන්න කිවුවට දෙන්නගෙන් එක්කෙනෙක්වත් කෑම කන්න ආවේ නෑ. ගෙනාපු මත් පැන් බෝතලයක් හිස් කරන්න පටන් ගත්තේ කුසුම් කියලම හදාගත්ත කට ගැස්මක් එක්කමයි.හුඟක් රෑ උණා.පුතත් නිදා ගත්ත.

"අපි පස්සෙ කන්නම්. ඔයා කාලා මේසෙට කෑම ඇරලා තියලා නිදා ගන්න."

විජේ එහෙම කිවුවත් කුසුම් කෑවෙ නෑ. මේසෙට කෑම ඇරල තියලා බලන් හිටියෙ දැන් දැන් ගොල්ලො කෑම කන්න ඒවි කියලා හිතලයි.ඒත්....

"මම කඩේට ගිහින් සිගරට් පැකට් එකක් අරන් එන්නම්"

මහ රෑ හන්දියෙ කඩේට යන්න හදන විජේ දිහා කුසුම් බැළුවෙ පුදුම වෙලා.ඒත් කුසුම්ට ඔහුව නතර කර ගන්න බැරි උණා. ඉක්මනින් එන්නම් කියලයි විජේ කිවුවෙ.

"නංගි, මෙන්න මේ පිඟානට බයිට් ටිකක් ගෙනත් තියන්නකෝ.විජේ දැන් තව බෝතලයක් ගෙනේවි" විජේ නොපෙනී යනවත් එක්කම විජේගෙ යාළුවා නිශාන්ත ගෙට ආවෙ එහෙම කියාගෙන. නිශන්ත තම්න් දිහා බලපු බැල්ම තරම් හොඳ නොවෙන බව නම් කුසුම්ගෙ ගැහැණු හිතට නොදැණුණාමත් නෙවෙයි. ඒත් ඉතින් අක මැත්තෙන් උණත් කුසුම් කුස්සියට ගියේ බැදපු මාළු දීසියක් අරගෙන එන්න.

නිශාන්ත තමන්ගෙ පස්සෙන් කුස්සියට ඒවි කියලා කුසුම්  හිතුවෙ නෑ.නිශාන්තගෙ අත් දෙකට හිරවුනු කුසුම් ගැලවිලා යන්න දැඟළුවා. නිශාන්තට නොවඳිනා වැඳුම් වැන්දා තමන්ව අතාරින්න කියලා. බීමතින් විකල් වෙලා හිටිය නිශාන්තට මොකුත් අහන්න උවමනාවක් තිබුනේ නෑ.

"අනේ.. මාව අතාරින්න.දැන් විජේ ඒවි.ඔහේ යාළුවෙක් කියලා නම් එයාගෙන් බේරුමක් නැති වේවි.මට කරදර කළොත් නම්..." කුසුම් අන්තිම තුරුම්පුවත් පාවිච්චි කළා.

නිශාන්ත කළේ හයියෙන් හිනාවුණ එක විතරයි. "විජේ මේ සේරම දන්නවා.එයා මාව ගෙදර එක්කන් ආවෙ මේ නිසා තමයි.නැත්නම් මේ වෙලාවෙ එයා ඉන්න ඕනෙ ගෙදර නේද? කෝ ඉතින් දැන්? හන්දියට ගිහින් එන්න මේ තරම් වෙලා යනවද?"

නිශාන්තගෙ ප්‍රශ්න වලට කුසුම්ට උත්තර තිබුණෙ නෑ.ඒත් හිතට දැණුනේ කියාගන්න බැරි තරම් කම්පනයක්.එහෙමයි කියලා කුසුම්ට නිශාන්ත ගෙන් ගැළවීමක් තිබුණෙත් නෑ.විජේ ආවෙ පැය කීපෙකට පස්සෙ කුසුම් ඇඳට වැටිලා අඬ අඬ ඉද්දියි.කුසුම් විජේ එක්ක ඉසිස්සෙල්ලාම රණ්ඩු උණේ එදා. ලෝකෙ තියෙන හැම දෙයක්ම කියව කියව කෑ ගහපු කුසුම්ගෙ කට වහන්න විජේට බැරි උණා.අන්තිමට කුසුම්ට සිද්ධ උණෙ විජේගෙන් පහර කන්නයි. පහුවදා උදේම විජේ ආපහු ගියා.කුසුම් නෙමෙයි ඇහැ ඇරලවත් දිහා බැළුවේ.

ඒත්.... එතනින් පස්සෙ නිවාඩුවට එන විජේ හැමදාම කවුරු හරි යාළුවෙක් එක්ක එන එක පුරුද්දක් කර ගත්තා.කුසුම්ට මේක මානසික වදයක් උණා.විජේ සල්ලි හොයන්න අලූත් ජොබ් එකක් පටන් අරන් කියලයි කුසුම්ට හිතුණේ.අන්තිමට කුසුම් දරුවත් අරන් තමන්ගෙ ගෙදර යන්න තීරණය කළා.ගෙදර ගියා උණත් විජේ එක්ක ඉන්න බැරි නිසා ආපහු ආවා කිවුවා මිසක් කුසුම් වෙන විස්තරයක් ගෙදර අයට කියන්න ගියේ නෑ. සහෝදරයන්ට තියා සහෝදරියන්ටවත් ගැන කියා ගන්න බැරි තරමේ පිළිකුළක්, ලැජ්ජාවක් තමයි කුසුම්ගෙ හිතේ තිබුණෙ.

ඒත්.... කවුරුත් විශ්වාස කළෙ නෑ විජේ නරකයි කියලා. විජේ ඒකෙන් ප්‍රයෝජන ගත්තා.තමන්ගෙ අතිරේක ආදායම් මාර්ගය අහිමි වීම නිසා විජේ කොහොමත් හිටියෙ වියරු වැටිලා වගේ.දෙතුන් පාරක්ම කුසුම් ආපහු එක්ක යන්න විජේ උත්සාහ කරත් කුසුම්  ආපහු යන්න කැමති උණේ නෑ. අන්තිමේදි විජේ කුසුම්ගෙ ගෙදර අයට කිවුවෙ කුසුම් තමන්ගෙ හොඳම් යාළුවෙක් වුණු නිශාන්තත් එක්ක සම්බන්ධයක් පවත්වන නිසයි විජේව අතෑරලා ආවේ කියලයි. මේ කතාවට නිශාන්තගෙ උදවු විජේට ලැබුණා.


සහෝදර සහෝදරියො උණත් ඔක්කොමලා කිවුවේ දරුවා ගැන හිතලවත් ආපහු විජේ එක්ක එකතු වෙන්න කියලයි. ඒත්… දරු පැටියගෙ අනාගතේ ගැන හිතන්න නම් ආපහු විජේ ලඟට  ගිහින් බැරි බව කුසුම් දැන ගෙන උන්නා.

මේ අතරෙදි දරුවා තමන්ගෙ ලඟට ගන්න විජේ සැළසුම් කළේ ඒ නිසා වත් කුසුම් තමන් ලඟට ආපහු ගෙන්න ගන්න පුළුවන් වෙයි කියලයි. ඒත් කුසුම් ඒකට කැමති උණේ නෑ. අන්තිමේදි විජේ කුසුම්ට විරුද්ධව පොලිසියෙ පැමිණිල්ලක් දැම්මා දරුවා ඉල්ලලා. විජේ වෙනුවෙන් දරුවා හදාගන්න විජේගෙ අම්මා කැමති උණා. විජේ පොලිසියේදි නිශාන්තගෙ උදවු ඇතුව කුසුම් නරක ගෑණියෙක් කියලා ඔප්පු කරලා පෙන්නුවා.

මේ හැම දෙයක්ම දරා ගන්න බැරුව කුසුම්ගෙ තාත්තා හර්දයාබාධයකින් හිටි හැටියෙ නැති උණා. ඒකෙ වැරැද්දත් සහෝදරයෝ දැම්මේ කුසුම්ගෙ ගිණුමට. අනතිමට කුසුම් පිස්සියෙක් උණා. සහෝදරයෝ කුසුම්ව ගෙදර තියා ගත්තෙ නෑ. මානසික රෝහලට යොමු කෙරුණු කුසුම් ටික ටික සාමාන්‍ය තත්වයට පත් උණත්, තමන්ගෙ තාත්තා, දරුවා වගේම කටහඬත් කුසුම්ට අහිමි වෙලා තිබුණා. ටිකක් හොඳ වුණු හැටියෙ කුසුම් මානසික රෝහලින් පැනලා ආවා.

මේ විදියට කීප වතාවක්ම නෑදෑයන් විසින් කුසුම්ව මානසික රෝහලට යොමු කෙරුනත් කුසුම් ඒ හැම පාරම පැනලා ආවා. සහෝදර සහෝදරියෝ කුසුම්ව අත හැරලම දැම්මා. කුසුම් උණත් ආයෙ ගෙදර ගියේ නෑ.පාරෙ ජීවත් වෙන්න පටන් ගත්තා. ඒත් කුසුම්ට පාරෙ ජීවත් වෙන එකත් ලේසි උණේ නෑ.පාරෙ හිඟා කාලා ජීවත් වෙන, රෑට නගරේ චන්ඩි වුණු කරුමක්කාර මිනිස්සුන්ගෙන්, ඒ වගේම තිරිසන් මිනිස්සුන්ගෙන් කුසුම්ට ගැලවීමක් තිබුණේ නෑ.

කුසුම් කියන්නෙ කුසුම්ට වැඩිපුරම කරදර තිබුණෙ නිවාඩුවට එන ආමි එකේ පිරිමින්ගෙන් කියලයි.කුසුම් කියන විදියට කුසුම්ට තව දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම පරිවාස හා ළමා රක්ශක දෙපර්ථමේන්තුවේ ළමා නිවාසයේ හැදී වැඩෙනවා. කුසුම් මේ කරදර වලින් බේරෙන්න හොයා ගත්තු ලොකුම විසඳුම තමයි පිස්සු චරිතය වැඩි වැඩියෙන් රඟපෑම. තමන් රෑට නිදා ගන්න තැනත් දෙතුන්  පාරක් වෙනස් කරන එකත් දැන් කුසුම්ගෙ පුරුද්දක් වෙලා. ඒ වගේම පිස්සු වගේ රඟ පාලා, තමන්ට අවමන් කරන මිනිස්සු බය ගන්වලා, ලැජ්ජාවට පත් කරලා කුසුම් සතුටු වෙන බවත් මට හිතෙනවා.

මේ ළඟඳි සති කීපයකට උඩදී කුසුම් පේන්න හිටියෙ නෑ. ටවුන් එකේ මිනිස්සු නම් කිවුවෙ දුම්රියට පැනලා කුසුම් සිය දිවි නසාගෙන කියලයි. මගේ යෙහෙළියගෙ සාප්පුව පිටිපස්සෙ තිබුණා කුසුම් විසින් පාවිච්චි කරපු ඇඳුම් කැඩුම් අඩංගු බෑග් එකක්. කුසුම් සති කීපයක් තිස්සෙ ආපු නැති නිසත්, දුම්රියට පැන්නා කියන කතාව නිසත්, මගේ යෙහෙළිය මේ ඇඳුම් බෑග් එක නගර සභාවෙ කුණු ගෙනියන ට්‍රැක්ටරයට දීල තිබුණා.

නමුත් හදිසියෙම කුසුම් ආපහු ආවා. ඇඳුම් බෑග් එක විසි කළා කියල දැනගත්තම හොඳටම තරහ ගත්තත් ඇය මගේ යෙහෙළියට මොකුත් කියලා නෑ.මගේ යෙහෙළිය ඇය සතුව තිබුණු අළුත්ම ඇඳුම් කීපයක් කුසුම්ට ලබා දී හිත නිදහස් කර ගත්තා. තාමත් කුසුම් ඉන්නවා. කවදා කොහොම කොතැනක ඇයට සරණක් තියේවිද කවුරුවත් දන්නේ නෑ. කවුරුවත් ඇයව මායිම කරන්නේ නැතුවා වගේම දැන් ඇයත් කවුරුවත් මායිම් කරන්නේ නෑ…


වරද කාගෙද? කොහේද? කුසුම් එදා අන්තිමට මගේ යෙහෙළියට ලියලා දීලා තිබුණේ මෙහෙම.

“ මං මැරෙනකල් මෙහෙම ඉන්නවා, මගෙ සහෝදර , සහෝදරියෝ මාව විශ්වාස කළේ නෑ, මගෙ මිනිහා මාව විකුණුවා. ඒත් ඒ මිනිහා කියපු දේවල් හැමෝම විස්වාස කළා. ඒ නිසයි මම අද මෙතන ඉන්නේ. මගෙ ජීවිතේ විනාශ කළා.මම වෛරයි ඔය මිනිස්සු
 එක්ක හැමදාටම…..”