Friday, March 23, 2012

පිස්සී.....




මුලින්ම කියන්නෙ මේක සත්‍ය කතාවක්. ඉතින් මම දැන් මේක ලියනවා  වගේ අනාගතේ දවසක වෙන කවුරුහරි මේ කතාව ලිවුවොත් මම පුදුම වෙන්නේ නෑ. මොකද මේක සත්‍ය කතාවක් නිසා. නමුත් ලියන පුද්ගලයා අනුව මේ කතාවෙ සුලු සුලු වෙනස් කම් සිද්ධ වෙන්නත් පුලුවන්.


ඇය...... අවුරුදු 38ක 40ක පමණ වයසේ වූ ගොළු කාන්තාවක්. ගොළු කාන්තාවක් උණත් ඇයට කන් ඇහීමේ අඩුවක් තිබුණේ නෑ.අනිත් අය කියන දේවල් හොඳින් තේරුම් ගැනීමේ හැකියාවක් ඇයට තිබුණා.සාමාන්‍ය ප්‍රමාණයේ සිහින් හැඩැති ඇඟපතක් තිබුණු ඇය මුහුණින් උණත් විරූපී කාන්තාවක් නෙවෙයි.ඉන්න හිටින්න නියම ස්තානයක් නැති ඇය කඩ පිල් වල නිදා ගත්තා. කඩවල් වල ඇය ගැන දන්න මිනිස්සුන්ගෙ අනුකම්පාව ඇයට හිමි උනා.ගොඩක් වෙලාවට කෑම බීම ඇඳුම් පැළඳුම් වගේ දේවල් ඇයට දුන්නෙ ටවුමෙ කඩ සාප්පු හිමියෝ.පිරිසිදුව ඉන්න කැමැත්තක් දක්වපු ඇය එක පාරක් හරි කවුරු හරි ඇඳපු පරණ ඇඳුමක් උණත් බාර ගත්තේ නෑ.ඒ වගේම කවුරු හරි කඩ හිමියෙක් ඇයට බැණ වැදුණා නම්, දොස් කිවුවා නම්, එතැනින් මඟ හැර යන ඇය මතු කිසිම දවසක එම පුද්ගලයා ලබා දෙන කිසිම දෙයක් බාර නොගැනීමට කටයුතු කළා. 

ඒවා කොහොම උණත් හැමෝගෙම අනුකම්පාව ඇයට හිමි උණේ නෑ.ත්‍රීවීල් පාක් වල උදවිය ඇයව අවුස්සලා විනෝද උණා. ඒ වගේම නගරයේ මිනිස්සු අතර ඇය ප්‍රසිද්ධව හිටියේ පිස්සු හැදිච්ච වල් ගෑණියක් විදියටයි. ඒකට හේතු උණෙත් මෙම කාන්තාවගේ එක්තරා ක්‍රියාවක් නිසයි. බස් හෝල්ට් වල ඉන්න හරි, එහෙමත් නැත්නම් පාරේ යන පිරිමි කෙනෙක් (බොහෝ විට තරුණ වයසේ පිරිමි උදවිය) දුටු ගමන් ඔහු වෙත යන මෙම කාන්තාව ඔහුගෙ අතින් අල්ලාගෙන විවිධ ඉඟි බිඟි පානවා. බොහෝ විට ඇය ගොළු බාසාවෙන් කියන්නේ ඇයත් එක්ක යමු කියලායි. පිරිමි තැනැත්තා එක්ක ඔහුගේ බිරිඳ හෝ පෙම්වතිය ඉන්නවානම් මේ ඉඟි බිඟි පෑම තවත් වැඩි වෙනවා. ඒ නිසාම මේ කාන්තාව දකින පිරිමි ඉක්මනින් ඇයව මඟ හැර යනවා. බේරෙන්නම බැරි අවස්ථා වල අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු පසු මෙම කාන්තාව නිසොල්මනේ ආපසු යනවා.නමුත් ඇය ආමි එකේ වැඩ කරණ බව පෙනුණු තරුණයන්ට නම්  තද අකමැත්තක් පෙන්නුවා.ඔවුන්ව මඟ හැර ගියා.

නගර මධ්‍යයේ වෙළඳ සැලක් පවත්වාගෙන යන මගේ යෙහෙළියක් ඉන්නවා.මේ යෙහෙළිය අර කාන්තාවටආනුකම්පාව නිසා බොහෝ විට ආහාර සහ ඇඳුම් පැළඳුම් ලබාදී තිබෙනවා. ඒ නිසාම පෙර කී කාන්තාව මගේ යෙහෙලිය සමඟ බොහෝ හිතවත් වී තිබෙනවා.මගේ යෙහෙලියට ඇය ගැන විස්තර කිසිවකු විසින් පවසා තිබුණු බැවින් ඇය ඒ පිළිබඳව අදාල කාන්තාවගෙන් විමසූ විට ඇය කොලයක් හා පෑනක් ඉල්ලා තිබෙන අතර මගේ යෙහෙළිය ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු ඇය පැහැදිලි සිංහල අකුරින් ලියාදී තිබෙනවා. එසේම ඇගෙ ජීවිත කතාවද යම් පමණකින් විස්තර කොට තිබෙනවා. මම මේ ඔබ වෙත දක්වන්නට යන්නේ මගේ යෙහෙලිය අසා දැනගත් ඇගේ ජීවිත කතාවේ සංක්ෂිප්තයයි.

කුසුම ලතා... මලක් තරම්ම ලස්සන නොවුණත් මලක් වගේ මෙළෙක් හිතක් තිබූ තරුණියක්. දරුවන් අට දෙනෙකුගෙන් යුතු වැදගත් පවුලක සය වැන්නිය ලෙස ඇය උපත ලබා තිබුණා.සොයුරන් සිවු දෙනෙකු හා සොයුරියන් සිවු දෙනෙකුගෙන් යුතු පවුලේ සියළු දෙනාම මේ වන විට ඉහල ඉගෙනීමක් ලබා රටේ වැදගත් යැයි සම්මත රැකියා වල නිරතව සිටිනවා. පියා සහ මව මියගොස්.  කුසුමලතාට පමණක් මෙසේ වූයේ ඇයි?? කතාව මම කියන්නම්.ඇයට වැරදුණෙ කොතැනකද යන්න ඔබලා තීරණය කරන්න.....

සොයුරියන් සමඟ පාසැල් ගිය කුසුම්ට නගරයේ ආරක්ෂක රාජකාරි වල නියුතු හමුදාභටයකුගේ සිත ඇදී ගියේ එය ඇය වෙතද නොසඟවමින්. දුටු මතින් නොවුණත් නිතර දැකීමෙන් හා සිනාසීමෙන් කුසුම්ගේ හිතත් ඔහු වෙත ඇදී ගියේ ඇයටත් හොරාමයි...අපි ඔහුට විජේසුන්දර යැයි කියමු.කුසුම්ගෙ පාසල් කාලය අවසන් උණත් විජේව අමතක කරන්න කුසුම්ට බැරි උණා.හැමෝටම හොරෙන් මේ ආදර කතාව දිගටම ගලාගෙන ගියා. ඒත් ඉතින් හැමදාම රහස්, රහස් විදියට තියෙන්නේ
නැති බව සනාථ කරමින් මේ සම්බන්ධය කුසුම්ගෙ පොඩි අය්යාට ආරංචි වුණෙ කුසුම්ගෙ හිත සසල කරවමින්. පොඩි අය්යා රහසින් විජේ ගැන හොයලා බැලුවා. තමන්ගෙ තත්වෙට නොගැලපීමක් විජේගෙ තිබුණේ නෑ.නමුත් විජේ තමන්ගෙ යාළුවෝ එක්ක එකතු වෙලා මත්පැන් සාද පවත්වන බව නම් පොඩි අය්යා හොයාගෙන තිබුනා. පොඩි අය්යා තමන් හොයාගත්තු විස්තර ලොකු අය්යා හරහා තාත්තාට දැන්නුවත් තාත්තා ඒ සම්බන්දෙට අකමැති උණේ විජේ රැකියාව කළේ ආමි එකේ නිසයි.

ඔය අතරෙ තමයි විජේ තිරණය කරන්නේ කුසුම්ගෙ අප්පච්චි හමුවෙලා , ඔවුන් දෙදෙනාගෙ ප්‍රේම ස්ම්බන්ධය ගැන ප්‍රකාශ කරලා කුසුම් විවාහ කරගන්න කැමති බව දැනුම් දෙන්න.....කුසුම් නම් හිටියෙ හොඳටම බය වෙලා.

" ඇයි කුසුම්, ඔයා කැමති නැද්ද අපි ගැන ගෙදරට කියනවට.....??"

"නැහැ, අකමැත්තකට නෙවෙයි... මට බයයි තාත්තා මොනවා කියාවිද කියලා. එයා අපේ සම්බන්ධෙට අකමැති වුණොත් මට ඔයාව නැති වේවි"

" බය වෙන්න එපා කුසුම්, අපි ඉස්සරවෙලා අපේ ගැන ගෙවල් වලට කියලා ඉමුකෝ. ඊට පස්සෙ තීරණය කරමු අපි මොකද කරන්නේ කියලා"

විජේ කුසුම්ට කිවුවේ එහෙම....

කතාව දිග වැඩියි වගේ.. තව කොටස් දෙකකින් ඉතිරි ටික පළ කරන්නම්. දැනට මේ  ලියපු ටික ගැන ඔයාලට හිතෙන දේ කියන්නකෝ......