Thursday, January 26, 2012

මගේ හිමි සඳූ.....














මගෙ හීනෙට පාට ගාපු
හිස් හදවත පෙමින් පුරපු
ජීවිතේට රටා මවපු
ම'හිමි නුඹයි ම'හිත දැකපු.......


දුක් හිත ලඟ සතුට තියපු
මගෙ නෙතු අග කඳුළු මකපු,
සරතැස් සිත පෙමින් නිවපු
හිමි සඳු නුඹ ම'පෙම විඳපු.........

රෑ මනමාලියකගේ පාපොච්චාරණය.......















බිං කළුවර ගෙට එනකොට ගෙට ඇදෙනා මතැත්තූ
රෑ යහනත තුරුලත හිඳ රස මීවිත කැළැත්තූ
උදෑසනම ලොවට බියෙන් මා හැර ගිය නැණැත්තූ
දිවා කළට නාඳූනන ලෙස මගෙ හදවත කෙණිත්තූ....


රෑ යහනත නිදි වරමින් හීන පවා වැළැක්කූ
යහනට ගොඩ වෙති මහතුන් හිත මත් බව රැගත්තූ
කළඹා තුණු රස විඳිමින් සිත කය දෙක සැතැප්පූ
මහත්වරුන් සුපුරුදු ලෙස , රඟ පා ලොව රැවැට්ටූ....


අඩ බැල්මෙන් මහ මඟ හිඳ යන එන දන නැවැත්තූ
දිවිගෙනයන්නට මුදලට , යහනත රස කැළැත්තූ
කුළියට ඇඟ මස ඉල්ලන දන හා පෙම් පැවැත්තූ
මගෙ වරදම හඬගා ලොව කියා පාති උගත්තූ........

Wednesday, January 25, 2012

මලිත්තිගෙ කතන්දර 04 (අපේ රට )

මලිත්තිගෙ ආච්චි මම්මයි, සීයා පප්පලයි, ආන්ටිලා ටිකයි ඔක්කොමලා ඉංග්‍රිසි පන්නෙට හැඩ ගැහුණු පල්ලි යන කට්ටියක් නිසා ඒ ගොල්ලො ලංකාවෙත් ඉන්ට හැදුවෙ එංගලන්තෙ ඉන්නවා වගේ තමයි.


ඉතිං මලිත්තිත් ඉන්නෙ අම්මයි තාත්තයි එක්ක ආච්චි මම්මලාගෙ ගෙදර නිසා මලිත්තිටත් මේව එච්චර අමුතු දේවල් උනේ නෑ.මලිත්ති කියලා අම්මා ආදරේට කිවුවට මලිත්තිගෙ නමත් ශෙනාලි නටාලියා කුමාරිහාමි ඩැනියෙල්ස් නේ. කුමාරිහාමි කියන නම එතෙන්ට ගැලපෙන්නේ නෑ වගේ තමයි ඒත් අම්මගෙ නමෙන් කොටසකුත් නමට එකතු කළේ තාත්තා.(මලිත්තිගෙ අම්මගෙ නමත් උත්පලා කුමාරිහාමි නේ) ආච්චි මම්මලා ආන්ටිලානම් ඒකට කැමති උණේම නෑ. ඒත් තාත්තා ඒ නම දැම්මා මලිත්තිට.


මලිත්තිගෙන් කවුරුහරි විස්තර ඇහුවාම කියන්නේ තමන්ගෙ රට එංගලන්තෙ කියලයි. ආන්ටිලත් හිනා වෙනවා ඇරෙන්ට ඒක නිවැරදි කළේ නම් නෑ. අම්මා දන්නා තරම් උත්සාහ කරලා මලිත්තිට කියලා දෙන්ට හැදුවා අපි ඉන්නේ ශ්‍රී ලංකාවෙ කියලා. මලිත්ති නෙමෙයි කණකටවත් ගත්තෙ.


දවසක් අම්මත් එක්ක ආත්තම්මලගෙ ගෙදර ගිය වෙලාවක ආත්තම්මා මලිත්තිව උකුලෙ තියාගෙන වෙන වෙන කතන්දර කියන ගමන්ම කිවුවා මෙහෙම.


"චූටි මැණීකේ දන්නවද ශ්‍රී ලංකාව ලස්සන රටක්, ලස්සන හඳු හෙල්, දිය ඇලි තියෙන, භූමි කම්පා , ගිණිකදූ මොනවත් නැති, ලස්සන රටක්.
අනිත් රටවල්වල වගේ කාන්තාර, හිම එහෙමත් නැති සෞම්‍ය දේශ ගුණයක් තියෙන , ඒ වගේම ආගන්තුක සත්කාර දන්න මිනිස්සු ඉන්න රටක්. අපි ඉපදිලා ඉන්නෙ ශ්‍රී ලංකාවෙ. අපේ රට ශ්‍රී ලංකාව. අපි ආඩම්බර වෙන්ට ඕන ශ්‍රී ලංකාවෙ ඉපදුන එක ගැන." 


මලිත්තිත් අහගෙන ඉන්නවා.


"තේරුනාද චූටි මැණිකේ?"


" ඔව්, ආත්තම්මා."


" හා... තේරුණා නම් කියන්ටකෝ බලන්ට මම මොනාද කිවුවේ?" 


"ආත්තම්මලාගෙ රට ශ්‍රී ලංකාව.ශ්‍රී ලංකාව ලස්සන රටක්, ලස්සන කඳු හෙල්, දිය ඇලි තියෙන, භූමි කම්පා , ගිණිකදූ මොනවත් නැති, ලස්සන රටක්.සෞම්‍ය දේශ ගුණයක් තියෙන , ඒ වගේම ආගන්තුක සත්කාර දන්න මිනිස්සු ඉන්න රටක්. ආත්තම්මලා ඉපදිලා ඉන්නෙ ශ්‍රී ලංකාවෙ.ඔයාලා ආඩම්බර වෙන්ට ඕන ශ්‍රී ලංකාවෙ ඉපදුන එක ගැන." 


මලිත්ති කියාගෙන කියාගෙන ගියා ගිරවියක් වගේ.


ආත්තම්මා ඇස් දෙකත් නලලෙ තියාගෙන කම්මුලට අතක් තියා ගත්තා


මේ කතාව මුල ඉඳලම අහගෙන හිටපු අම්මා හොඳටම හිනා උනා.



Friday, January 20, 2012

මලිත්තිගෙ කතා 03 - (හා පැටවු)


මලිත්ති අත්තම්මලාගෙ ගෙදර යනකොට අත්තම්මයි, අත්තප්පච්චියි දෙන්නම පේන්ට නැහැ.
" කෝ ඇසිලින් අම්මලා?" කියලා ගෙදර අත්උදවුවට හිටපු ගෑනු කෙනාගෙන් ඇහුවෙ මලිත්තිගෙ අම්මා.

"ඔන්න උඩහ ඉන්නවා සුදු මැණිකේ, පැළ වගයක් හිටෝනවා මයෙ හිතේ" ඇසිලින් උත්තර දුන්නා.

අම්මා මලිත්තිවත් ඉස්සර කරගෙන උඩහට ගියා.අත්තම්මයි අත්තප්පච්චියි පැළ හිටවනවා.

"ඔන්න චූටි මැණිකෙට ගෙඩි කන්න අපි අලිගැටපේර පැළ ටිකක් ඉන්ඳුවා."   අත්තප්පච්චි හිනා වෙවී මලිත්තිට කිවුවා.

"පැළ හිටෙව්වම මොකද වෙන්නේ අත්තප්පච්චි?"

"පැළ හිටවලා වතුර දැම්මම පැළ මුල් ඇදලා, දළු දාලා, ලොකු වෙනවා. ඒට පස්සේ මල් පිපිලා ගෙඩි හැදෙනවා."
අත්තප්පච්චි මලිත්තිට කියලා දුන්නා.මලිත්තිත් හොඳ කල්පනාවෙන් අහගෙන හිටියා.

"පැළ විතරද හිටවන්නේ අත්තප්පච්චි?"

"නෑ පුතේ, සමහර වෙලාවට අපි ඇට වර්ගත් හිටෝනවා."
" .. ඔයා ආව එක හොඳයි.යමුකෝ ගෙදර. මට තියෙනවා චූටි මැණිකෙට සතුටු හිතෙන දෙයක් පෙන්නන්ට"
අත්තප්පච්චි මලිත්තිගෙ අතින් අල්ලගෙන ගෙදර ගියා.

අත්තප්පච්චිලාගෙ ගෙදර හිටපු සුදු හාවිට පැටවු හම්බ වෙලා. චූටි බෝල පැටවු තුන් දෙනයි. මලිත්තිට හරි සතුටුයි.

"අනේ..... ෂෝයි...අත්තප්පච්චි."
මලිත්ති සතුටෙන් උඩ පැන්නා.
මලිත්තිට එහෙම්මම හා පැටවු දිහා බල බලා ඉන්ට ඉඩ ඇරලා අත්තප්පච්චි ගෙට ගියා. අතරෙ මලිත්ති හොඳ කල්පනාවෙන් හා පැටව් දිහා බලාගෙන ඉන්නවා අත්තප්පච්චි දැක්කා.

අම්මා කුස්සියේ, අත්තම්මත් එක්ක මොකක්දෝ බර කතාවක්.ඇසිලිනුත් පේන්ට නෑ වගේ. අත්තප්පච්චි ගෙට ගිහින් එනකොට මලිත්තිත් නෑ හා කූඩුව ලඟ. හා පැටවුනුත් නෑ.අත්තප්පච්චි කළබල උනා.වටපිට බලනකොට ඈත මලිත්තිගෙ දම් පාට ගවුම යන්තමට වගේ දැක්ක අත්තප්පච්චි ඉක්මන් ගමනින් එතෙනට යනකොටම ඇසිලින් මරහඬ දීලා කෑ ගහනවා ඇහුණා මලිත්ති හිටපු දිහායින්. අත්තප්පච්චි යනකොටත් ඇසිලින් "අනේ අපොයි" කිය කියා එක අතකින් හා පැටවු තුන් දෙනා දාපු කූඩෙකුයි, අනිත් අතින් මලිත්තිවයි අල්ලගෙන ගෙදර එනවා.

" මොකද ඇසිලින්?"

" අනේ.. අපොයි ඉතින් මම හොඳ වෙලාවට නොවැ උඩහ හිටියේ. අපේ චූටි මැණිකේ වලක් හාරලා මේ අසරණ සත්තු ඒකට දාල වහන්ට තැනුවා නොවැ" ඇසිලින් කිවුවා.

අත්තප්පච්චි බැළුවේ මලිත්ති දිහා. එතකොටත් එතනට ඇවිත් හිටපු අම්මයි අත්තම්මයි දෙන්නත් මලිත්ති දිහා බලාගෙන. අත්තම්මා කම්මුලේ අතකුත් තියාගෙන.

" නෑ...අත්තප්පච්චි.... මම තව ලස්සන හා පැටවු ගන්න මෙයාලව පැළ කරන්නයි හැදුවේ. එතකොට තව ගොඩාක් හා පැටවු හම්බ වේවිනේ"

මලිත්ති කිවුවා. එතකොට තමයි වෙලා තියෙන දේ හැමෝටම තේරුණේ.

" අනේ..පුතේ...එහෙම පැළ කරන්ට පුළුවන් ඇට වර්ගයි පැළ වර්ගයි විතරයි. පණ තියෙන සත්තුන්ට එහෙම කරන්ට බෑ.එතකොට එයාලට හුස්ම ගන්ට බැරුව මැරෙනවානේ. "
අත්තප්පච්චි කිවුවා.

" අනේ... අනේ... ඇසිලින් හිටිය එක හොඳට ගියා. නැත්තම් ඉතින් මෙයා හොඳ අකුසල කර්මයක් තමා කර ගන්නේ." අත්තම්මත් කීවා.

මලිත්තිත් ඉතින් එදා හොඳ පාඩමක් ඉගෙන ගත්තා.



Thursday, January 19, 2012

සරෝජා 03


"එයා සිරිමලී නේ මිස්"


සරෝ මුකුත් කියන්නත් කලින්ම මැද්දට පැන්නෙ මහේෂ්. 


" නෑ නෑ එයා සින්ඩරෙල්ලා" මෙහෙන් රවිඳු කෑ ගහනවා. ටීචර්ට හොඳටම කේන්තියි.


"හරි, හැමෝම තමන්ගෙ ගැන මට කියන්ට.ඔයාලට උගන්නන්ට කලින් මම ඔයාලව අඳුනගෙන ඉන්ට ඕනෑ."


ටීචර් කිවුවෙ තරහ පෙන්නන්නේ නැතුව. " අපි ඔය පිටිපස්සේ පේළියේ කොණේ ඉඳන් පටන් ගමු. කියන්ට ඔයාගෙ නම"


සරෝ වාඩි උණා.අසංක නැගිට්ටා. " මක්කේ " කොල්ලෝ එක එකපාරම කෑ ගැහුවා. අසංකට "මක්කේ" කියලා නම හැදුණේ A/L කරන්ට ආව අළුතම සුදුහුම්පළ ශාලාවෙ ටියුෂන් පන්තියෙදි. උගන්නන සර් ටිකක් සැරයි. පාඩමෙන් අවධානය වෙන තැනකට යවනවට එයා කැමති නෑ. දවසක් ක්ලාස් එක වෙලාවෙ අසංක බිම බලාගෙන ඩෙස්ක් එක යට මොකක්ද හොයනවා. සර් ටිකක් බලාගෙන හිටියා. නවතින පාටක් නෑ. නෝට් ලියන අතරෙදිත් අසංක තාම බිම බලාගෙන. සර් බලන් ඉන්න බව රවිඳු දැක්කා.


නවත්තපං ඕක. උඹ මොනාද හොයන්නේ? සර් බලන් ඉන්නේ" රවිට කියලා කට ගන්න ලැබුණේ නෑ.


"නැඟිටිනවා ඔය ලමයා... මොනාද හොයන්නේ?"
සර් ඇහුවෙ මයික් එකෙන් මුළු පන්තියටම ඇහෙන්න. ඒ විතරක් නෙවෙයි සර් මයික් එකත් අරන්ම ඇවිත් අසංක ලඟ හිට ගත්තා.


A/L කරන්න ආව අළුතමනෙ අසංකට බයටම ගොත ගැහුණා.


" ම... මක්කේ සර්...."


අසංක හය්යෙන්ම නොකිව්වුවට සර්ගෙ මයික් එකෙන් ඒ කියපු එක මුළු පන්තියටම ඇහුණා.


ආයෙ ඉතින් කියන්න දෙයක් තියෙයි යෑ. මුළු පන්තියම හිනා කට කපලා එකයි. සර්ටත් හිනා. සර් අසංකට අවවාද කරලා ඒක එතනින් ඉවර කළාට අසංකගෙ නම එදා ඉඳන් "මක්කේ" උණා. අසංක මක්කේ කියලා කිවුවෙ මකන කෑල්ලට. එහෙම නැත්නම් සිංහලෙන් ඉරේසර් එකට.


ඒක මතක් වෙලාද කොහෙදෝ ලමයි ටික ආයෙත් හිනා වෙන්න පටන් ගත්තා. ටීචර් ඒවා ඇහුනේ නෑ වගෙ එක එක ළමයගෙ නම් විතරක් අහගෙන අහගෙන ගියා.


ඊලඟට නැගිට්ටේ කුමාරි. නම කුමාරි උණාට හම නම් හද්දා කළුයි. නුවර කෙල්ලක් නෙවෙයි වගේ.ඒත්  කුමාරි නුවර වලව් පවුලක දඟ කෙල්ලක්. ඇඟ එහෙමත් හරි හැඩයි.කට තමා ටිකක් සැර. කුමාරිහාමි කියන නම කෙටි කරලයි ලමයි එයාට කුමාරි කිවුවේ
ඒත් ඉතින් හමේ පාට ටිකක් කළු නිසා කට කැඩිච්ච කොල්ලෙක් දෙන්නෙක් කුමාරිට විහිළු කළත් කුමාරිත් ඒකට කැපෙන උත්තරයක් දීලා හිනා උණා.


" ආ එයාගෙ නම මිස් මුරූ."
එක කොල්ලෙක් කෑ ගැහුවා.ඔයාලට මතකද මන්දා මුරූ. ඈන් එහෙම අපේ පුංචි පන්තිවල ඉංග්‍රිසි පොතේ පාඩම් වල හිටියා.


"එයානෙ මිස් මේ අවුරුද්දේ මිස් නයිජීරියා උනේ" ඒ තව කට කාරයෙක්.


" ඔව්.. ඔව්.. මම ලබන අවුරුද්දේමිස් වර්ල්ඩ් කන්ටෙස්ට් එකට යන්නයි ඉන්නේ" කුමාරිත් හිමින් සැරේ කියලා දැම්මා....


කොල්ලො ටික හුරේ දාන පටන් ගත්තා. 
"කමෝන් කුමා"
"කළුකුමා දිනේවා"
" ජය වේවා!"
"එහෙම කියන්ට එපා අප්පා. එයා කළු නැහැනේ. දැකුම් කළුයි"


පන්තියේ එකම ගෝසාවයි. හැබැයි ඉතින් වැඩේ වැරදුනා කියලා ලමයි සේරටම තේරුණා  ටීචර්ගෙ මූණ දැක්කම නම්........

Wednesday, January 11, 2012

සරෝජා - 02


"සරෝ.... එන්නකෝ ඉක්මනට. බස් එකට පරක්කු වෙළා........."


ගේට්ටුව ලඟ් ඉඳන් නිරූපමා කෑ ගහනවා.සරෝජා සීරුවට ගොතපු කොණ්ඩේ අගට කළු පාට රිබන්  පටිය ගැට ගහලා කණ්ණාඩියෙන් හැඩ බැළුවා. වටයක් කැරකිලා පොත් මිටියත් අරන් ඉක්මනින් ගේට්ටුව ලඟට ගියා.


" පෙනේද නැළවි නැළවි එන ලස්සන.දැනටමත් හොඳටම පරක්කුයි මැට්ටියේ..."


නිරූ තරහින් කියවගෙන යනවා. සරෝජා හිනාවෙවි නිරූට ඇද කලා. නංගිලා දෙන්නයි මල්ලියි ගෙදරින් ගිහින් දැන් ගොඩක් වෙලා. නංගිලා දෙන්නම පප්පා වැඩට යන ගමන් කණිශ්ඨෙට ඇරලවනවා.මල්ලි නම් බයිසිකලේ තමයි කොලෙජ් යන්නෙ.


දෙන්නම ඉක්මනින් මහ පාරට ආවෙ බස් එක වරදියි කියලා බයට. හෝල්ට් එක ලඟට යනකොටම ඈතින් බස් එක එනවා. මේ වෙළාවෙ බස් එකෙ ඉන්නෙ ඉස්කෝල ලමයි විතරයිම වගේ.ඒ නිසා ස්කූල් සර්විස් බස් එකක් නොවුනත් උදේ 7.10 ට යන මේ බස් එක නිකන්ම ස්කූල් සර්විස් එකක් වෙලා තිබුණා.ඇතුළෙ හරි ස්ද්දෙ. දෙන්නම බස් එකට නැගපු ගමන් බැළුවෙ දිනූශා ඉන්නවද කියලා.පිටිපස්සෙම ශීට් එකක ඉඳගෙන හිටපු දිනූ අතවනනවා දැක්ක හින්දා දෙන්නම ලමයි අතරින් තෙරපි තෙරපි පිටිපස්සටම ගියා.


" ගුඩ් මෝනින් සරෝ.ගුඩ් මෝනින් නිරූ! "


"ගුඩ් මෝනින් දිනූ " දෙන්නම සුබ පැතුවෙ එකටමයි.


මේ දවස් වල පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සව පැවැත්වෙනවා. ඒ නිසා උදේ කාල පරිච්චේද හතරම පිට්ටනියෙ ඒ වැඩ වලට තමයි වෙන් උනේ.


ආනන්ද, රාහුල, සීවලී, මහින්ද, තමයි ඉස්කෝලෙ නිවාස හතර. නිරුයි, දිනුයි දෙන්නම මහින්ද නිවාසෙ. සරෝ විතරක් සීවලී නිවාසෙ. ඒත් ඉතින් තනියක් නෑ. පන්තියේ යාළුවො කීපදෙනෙක් ඉන්නවා සරෝ එක්ක. පිරිමි ළමයිනුයි ගැහැණු ළමයිනුයි දෙගොල්ලම....නැතත් ඉතින් නිවාසෙ දිනවන්න හැමෝම වැඩ කරන්නේ සාමුහිකවනෙ.


හැමතැනම ගෝසාව.විවේකය ඉවර වෙලා පන්තියට ආවට කාටවත් ඉගෙන ගන්න නම් හිත නැති පාටයි.


"බඹර පහස ලබන මලක් දෝ...බඹර සුවය සොයන මලක් දෝ..."


රවිඳු, දිනේශ් කට්ටියම ඩෙස් වලට ගහ ගහ සින්ඳු කියනවා. කට්ටියක් නටනවා.කෙල්ලො ටික මේවා බල බල හිනාවෙනවා.


දැන් තියෙන්නෙ ඉංග්‍රීසි පීරියඩ් එක.ඉංග්‍රීසි වලට ඉන්නෙ අළුතින් ආපු මිස් කෙනෙක්.පළවෙනි පත්වීමද කොහෙද. හැබැයි මිස් හරිම ලස්සනයි.ඒත් ... අනේ මන්දා...


" good afternoon children"


" good afternoon teacher" 


ඒ අස්සේ කවුදෝ කියනවා ඇහුණා " good morning teacher " කියලත්...


"ඒ මොකද ඒ... කාටද තාම මෝර්නින්?? " ටීච ඇහුවෙ පිරිමි ළමයින්ගෙ පේළි ටික දිහා බලාගෙන.


" අපේ වචන දෙකක් නෑනෙ ටීචර්.. ඒකයි."
කටකාර රවි උත්තර දුන්නා.. පන්තියම හයියෙන් හිනාවුනත් ටීච රවලා බලපු නිසා ඉක්මනින් නිශ්ශබ්ද උණා.


" මම ඇහුවෙ ඔයාගෙන් නෙවෙයි. ඒක කියපු කෙනාගෙන් .ඔයාද ඒක කිවුවේ?"


" නෑ ටීචර් අසංක තමා කිවුවෙ. ඒත් ඉතින්.. උත්තරේ එකම නිසයි මම උත්තර දුන්නේ "
රවී ආයෙමත් කිවුවා.


ටීචර් රවිඳු දිහා රවලා බලලා අසංක පැත්තට හැරුණා.


" නෑ.. ඉතිං ටීච අපි ඔය හැමෝම කියන කියන දේම ගිරවු වගේ කියන්න හොඳ නෑනෙ ඒකයි " 
අසංකත් බයෙන් බයෙන් වගේ බොරුවට ඇඹරිලා උත්තර දුන්නා.
දැන් නම් ටීචර්ට හොඳටම තරහයි.මුළු පන්තියම හිනා වෙනවා මහ සද්දෙට.ටීචර්ට පන්තිය පාලනය කර ගන්නත් බැරි තරම්.


" අපේ පන්ති වලට එන අනිත් ටීචර්ලා නම් මෙහෙම නෑ නේද "කියලා දිනූ හෙමින් සරෝජාට කිවුවා.


" ඔව් බන්. අනිත් ටීචර්ලා විහිළු විහිළු විදියටම බාර අරන් ඒවා පාලනය කරන්නත් හොඳට දන්නවා. තුශාරි ටීච අළුත් නිසා වෙන්නැති මේ තරම් තරහ ගන්නෙ"


" මොකද ඔතන කුටු කුටුව... නැගිටිනවා ඔය ළමයා.. මොකක්ද නම? whats your name?..."


ටීචර් කෑ ගැහුවෙ සරෝජට...පිරිමි ළමයින් ගෙන් පිරිමහගන්න බැරි උණු තරහ ටීච සරෝජාගෙන පිරි මහන්න හදනවද මන්දා....
සරෝජා නැගිට්ටෙ එහෙම හිත හිතා...



Tuesday, January 3, 2012

ඔබ සැමට සාමය ,සතුට, සෞභාග්‍ය, සපිරි නිරෝගිමත් සුබ නව වසරක් වේවා!!!